සමලිංගිකයින්ට හිරිහැර වන ශ්‍රී ලංකාවේ නීති ඉවත්කිරීමට මුලික පියවර තබයි

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto
2021 මාර්තු 21 වැනිදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ටුවිටර් පණිවිඩයක් වෙත මෙරට සමරිසි ප්‍රජාවගේ අවධානය යොමු විය.
වෙනස්කොට සැළකීම මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනය සැමරීමට සමගාමීව එදින ඔහු නිකුත් කළ ටුවිටර් පණිවිඩය හරහා එවකට ජනාධිපතිවරයා දක්වා තිබුණේ, වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත පදනම් නොවී සෑම පුද්ගලයකුටම අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවටයි.
එහෙත් එය හුදු වචන කිහිපයකට පමණක් සීමාවිය. එය යථාර්ථයක් බවට පත්වන නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් ඔහු විසින් ගෙන තිබුනේ නැත.
ඔහු පමණක් නොව විවිධ රජයන් විටින් විට සමලිංගික හා සමරිසි ප්‍රජාව හිරිහැරයට පත්වන නීති වෙනස්කරන බවට විවිධ අවස්ථාවන් හීදී පොරොන්දු වුවත් ඒවා පොරොන්දුවලට පමණක් සිමා වී ඇත.
1995 වසරේ එම නීති ලිහිල් කිරීමට දැරූ උත්සාහය අවසන්වුයේ එතෙක් පිරිමි පුද්ගලයින්ට පමණක් වූ එම නීති කාන්තාවන්ද ඇතුලුව සියලුම පුද්ගලයින්ට බලපාන ලෙසට වෙනස් කිරීමකිනි.
නමුත් සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් කටයුතු කර තිබේ.
දිවංගත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීරගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය යෙදී ඇති අද දිනයේ එම කෙටුම්පත ඔහු විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදීමට නියමිත බවට ඔහු පවසයි.
සියලු ආකරයේ වෙනස්කොට සැළකිම් ඉවත් කිරීමටත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය ඔහුගේ කැමැත්ත පරිදි පවත්වාගෙන යාමට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් දීර්ඝ කාලයක් තිස්සෙ හඬ නැගූ මංගල සමරවීරගේ නාමයට උපහාරයක් පිණිස මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දොළවත්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදන සංශෝධනය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ සමලිංගිකයින්ට හිරිහැර වන නීති මොනවාද?
ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ (1883) 365 සහ 365අ වගන්ති වලට අනුව "ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය" සාපරාධී වරදක් වන අතර ඒවා "තදබල අශෝභන ක්‍රියා" ලෙස හඳුන්වනු ලබයි.
එම වගන්තියෙන් යොදාගෙන ඇති පදවලට දණ්ඩ නිති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නොතිබුණද එකඟතාවය මත ඇතිවන ලිංගික සබඳතාද සාපරාධි කරණය කිරීමට මෙම වගන්ති දෙකම යොදාගෙන තිබේ.
මෙම අපරාධයකට වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි ය.
දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය හරහා "ස්ත්‍රී පුරුෂ සමාජභාවය වසන් කිරීම" සාපරාධීකරණය කරනු ලබන අතර මෙය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට එරෙහිව නිතර භාවිත කරනු ලබන්නේ ජනතාව නොමඟ යැවීමේ චෝදනාවට එරෙහිව නඩු පැවරීමේ කටයුතුවලදීය.
මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්මතයන් හා නොගැලපෙන බාහිර පෙනුම ඇති පුද්ගලයින් බිය වැද්දීම ඔවුන්ගෙන් කප්පම් ගැනීම, රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම සඳහා පාදඩ ආඥා පනතේ (1842) අයාලේ හැසිරීමට අදාළ විධිවිධානද බොහෝ විට යොදා ගෙන තිබේ.
මෙම දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතින් කරන යෝජනා
ප්‍රධාන ප්‍රඥප්තිය 365 වගන්තියේ "යම් පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ යන වචන ඉවත් කර එම වගන්තිය මෙයින් සංශෝධනය කිරීම."
ප්‍රධාන ප්‍රඥප්තිය 365 අ වගන්තියේ " ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමඟ, " යන වචන වලට පසුව "පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අයත් පරිවේශන යටතේ, එනම් : -
අ. ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව :
ආ. අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව:
ඇ. ඒ අනෙක් තැනැත්තා නීත්‍යාණුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරන බය හෝ තුවාල සිදු කිරීමේ බය ඇති කිරීමෙන් හෝ ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව :
ඈ. අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.
ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදනද සංශෝධනය කිරීමට මෙම පනත යෝජනා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍යයන්ගෙන් ලද උරුමය
සමලිංගිකත්වයට එරෙහි නීති සහිත එකම පැරණි යටත් විජිතය ශ්‍රී ලංකාව නොවන අතර එයට සමාන නීති ආසියාවේ, සිංගප්පූරුව, අප්‍රිකාවේ සහ ඕෂනියාවේ බොහෝ ප්‍රදේශවල තවමත් පවතී.
එය 19 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාවට බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් නීතියක් වන අතර, එමඟින් "ඕනෑම මිනිසෙකු, කාන්තාවක් හෝ සතෙකු සමඟ ස්වභාවධර්මයට එකඟ නොවන ලෙස සිදු කෙරෙන ලිංගික සංසර්ගය" තහනම් කර තිබේ.
බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ පාලනය යටතේ පැවති අනෙක් යටත් විජිතවල අපරාධ නීති සංග්‍රහයන් සකස් කරන ලද්දේ ඔවුන් ඉන්දියාව සඳහා සකස් කළ දණ්ඩ නීති සංග්‍රහය පදනම් කරගෙන වීම නිසා එය ඉතා ඉක්මනින් අනෙකුත් රටවල් කරා ද ව්‍යාප්ත විය.
ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, කෙන්යාව, මැලේසියාව සහ මියන්මාරය වැනි පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත කිහිපයක් ම තවමත් මෙම නීතියේ අනුවාදයක් පවත්වාගෙන යති.
එහෙත් වසර ගණනාවක් තිස්සේ පැවති උණුසුම් විවාදවලින් පසුව පසුගිය දා සිංගප්පූරුවද පැවසුවේ ඔවුන් සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන බවයි, එමඟින් සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බාධක නීත්‍යානුකූලව ඉවත් වනු ඇත.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය "ස්වභාවධර්මයට එකඟ නොවන ලෙස සිදු කෙරෙන ලිංගික සංසර්ගය" අපරාධයක් ලෙස සළකන අතර ඒ සඳහා වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය.
සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අන්තර් ලිංගික (LGBTI) පුද්ගලයින්ට වෙනස් කොට සැළකීම ව්‍යවස්ථා විරෝධී බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවයේ විධිවිධාන යටතේ LGBTI පුද්ගලයින් ආරක්ෂා කර ඇති බවත් 2014 දී රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇත.
මෙම වසර 135 ක් පැරණි බ්‍රිතාන්‍ය යටත්විජිත නීතිය සමලිංගික ක්‍රියාවන් අපරාධයක් බවට පත් කිරීම පොත්වල පවතී; කෙසේ වෙතත්, මෙම නීතිය භාවිතා නොකරන අතර නිද්‍රා නීතියක් ලෙස ශ්‍රී ලංකාව තුළත් පවතින බවට නීතිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පවසා ඇත.
එහෙත් සමලිංගික හැසිරීම් පිළිබඳ සාක්ෂි සැපයීමේ උත්සාහයක් ලෙස ශ්‍රී ලංකා බලධාරීන් 2017 සිට අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකුට බලහත්කාරයෙන් ගුදමාර්ගය පරීක්‍ෂා කිරීම සහ බලහත්කාරයෙන් යෝනි පරීක්‍ෂා කිරීම ඇතුළත් ශාරීරික පරීක්ෂණවලට ලක් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සහ ඊක්වල් ග්‍රවුන්ඩ් 2020 වසරේදී ප්‍රකාශ කළේය.
2017 වර්ෂයේ දී මානව හිමිකම් කවුන්සිලය පැවැති විශ්වීය ආවර්තිතා සමාලෝචන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දී තිබුණි.
කෙසේ වෙතත් එවකට කැබිනට් මණ්ඩලයෙන් පැනනැගි විරෝධය හමුවේ ලිංගික දිශානතිය ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය සහ ප්‍රකාශනය පිළිබඳව ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ විය.
දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යයන් මේ පිළිබඳව ගනු ලැබූ ප්‍රගතිශීලී පියවරයන් තිබේ. ඉකුත් වසර වල දී ඉන්දියාව සහ භූතානය යන රාජ්‍යයන් දෙකම එකඟතාවය මත හටගන්නා සමලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකාව තුළ තුළ සමලිංගික භීතිකාව මූලික වශයෙන් ම අර්ථ දැක්වූයේ සංස්කෘතික ගැටලුවක් වශයෙන් බවට සමාජ විශ්ලේශකයින් පවසයි.
නමුත් දැන් තත්ත්වය වෙනස් වෙමින් ඇත.
සම රිසි රිසරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවය පුද්ගලයින්ගේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කිරීමට මාධ්‍ය තුළ දැන් විවිධ ඉඩප්‍රස්ථා සැකසී තිබේ.
2004 වසරේ දී තරම් ඈත කාලයක දී සම්මත කරන ලද වෙනස් කොට සැලකීමේ නීතියක් පවා අහෝසි කර දැමීමට අසල්වැසි භූතානයට හැකි වූයේ නම් නිසැකවම යටත් විජිත ය ම යටත් විජිත යුගයේ පැනවූ විලංගු වලින් මිදී සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් හට සමානාත්මතාව සහතික කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි ඇයි? යනුවෙන් සමාජ විශ්ලේශකයින් ප්‍රස්හන්කර සිටියි.













