අරගලයෙන් පසු බංග්ලාදේශය: පක්ෂ අතර මතභේද හමුවේ අන්තර්වාර රජයේ නායක මහාචාර්ය යූනුස් ඉල්ලා අස්වීමට සැරසෙයි

Yunus

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පලවා හැරීමෙන් පසු පිහිටවූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වූ මහාචාර්ය මොහොමඩ් යූනුස් එම කටයුතුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා පළ වී තිබේ.

ඒ පිළිබඳව වාර්තා පළ වීමෙන් පසු බංග්ලාදේශයේ ජාතික පුරවැසි පක්ෂයේ කැඳවුම්කරු නහීඩ් ඉස්ලම්, මහාචාර්ය මොහොමඩ් යූනුස් හමුවූ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

බීබීසී බංග්ලා සේවය වාර්තා කළේ, බ්‍රහස්පතින්දා (මැයි 22) සවස මෙම හමුව සිදුවූ බව ය.

ඒ බව, නහීඩ් ඉස්ලම් බීබීසී බංග්ලා සේවයට තහවුරු කර තිබේ.

"රටේ පවතින තත්ත්වයත් එක්ක සර් ඉල්ලා අස්වෙන්න යනවා කියලා අපට දැන ගන්න ලැබුණා. ඒ නිසා ඒ ගැන කතා කරන්න මම ඔහු හමුවෙන්න ගියා."

රටේ වත්මන් තත්ත්වය යටතේ තවදුරටත් වැඩ කිරීමට නොහැකි වනු ඇතැයි ප්‍රධාන උපදේශකවරයා කනස්සල්ල පළ කළ බව ඔහු පැවසීය.

"මට මේ විදිහට වැඩ කරන්න බැහැ. ඕගොල්ලන්ගේ ඔක්කොම දේශපාලන පක්ෂවලට එක මතයකට එන්න බැරි ද?" යනුවෙන් මහාචාර්යවරයා ප්‍රශ්න කළ බව ඉස්ලම් පැවසීය.

ජන අරගලයෙන් පසු අලුතින් පිහිටවූ ජාතික පුරවැසි පක්ෂයේ නායකයා මහාචාර්යවරයාගෙන් ඉල්ලා ඇත්තේ, ඉල්ලා අස්වීම වැනි තීරණයක් නොගන්නා ලෙස ය.

"ජාතික ආරක්ෂාව සහ රටේ අනාගතය සඳහා වන අපගේ අරමුණෙහි සෑම අංශයකින්ම ඔහු ශක්තිමත්ව සිටිනු ඇති. ඔහු සියලු පක්ෂ සමග එකමුතුව වැඩ කරාවි. සියලු දෙනා ඔහු සමග සහයෝගයෙන් වැඩ කරයි කියල මම බලාපොරොත්තු වෙනවා," නහීඩ් ඉස්ලම් පැවසීය.

"විශ්වාසයක් සහ රැකවරණයක් ලැබෙන්නෙ නැති තැනක කොහොම ද ඔහු තවදුරටත් ඉන්නේ?" ඉස්ලම් ප්‍රශ්න කරයි.

ඒ අනුව, ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් "සිතා බලමින් සිටින" බව මහාචාර්ය මොහොමඩ් යූසුෆ් පවසා තිබේ.

මේ වන විට, බංග්ලාදේශයේ දේශපාලන පක්ෂ කිහිපයක් අතර මතභේද පවතින අතර ජාතික ආරක්ෂක උපදේශකයින් දෙදෙනෙකුට ඉල්ලා අස්වන ලෙස බංග්ලාදේශ් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ.

ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූසුෆ් ඉල්ලා අස්වීමට සැරසෙන්නේ මෙවැනි වාතාවරණයක් තුළ ය.

yunus

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ප්‍රධාන උපදේශකවරයාගේ 'ඉල්ලා අස්වීමට' බලපා ඇති දේශපාලන මතභේද මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බ්‍රහස්පතින්දා දවස පුරා විවිධ සිදුවීම්වලින් පසුව, බංග්ලාදේශ් ජාතික පක්ෂය දහවල් මාධ්‍ය හමුවක් පවත්වා අන්තර්කාලීන රජයේ මතභේදාත්මක උපදේශකවරුන් කිහිප දෙනෙකු ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

බංග්ලාදේශ් ජාතික පක්ෂයේ ස්ථාවර කමිටු සාමාජික කන්දකර් මුෂාරෆ් හොසේන් පැවසුවේ, "අන්තර්කාලීන රජයේ මධ්‍යස්ථභාවය පවත්වා ගැනීම සඳහා, රජයේ ප්‍රතිරූපයට හානි කරන ප්‍රකාශ සහ ක්‍රියා සිදුකළ මතභේදාත්මක උපදේශකයින් ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා," යනුවෙනි.

රජයේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සේවයෙන් පහ කළ යුතු බව පවසමින් ඔහු පැවසුවේ, "ෆැසිස්ට් හිතවාදීන් වන ඇතැම් උපදේශකයින් ඉවත් කරන ලෙස අපි අතීතයේ බොහෝ වාරයක් ඉල්ලා ඇත්තෙමු," යනුවෙනි.

එදින රාත්‍රියේ, Islami Andolan Bangladesh නමැති සත්‍යාපනය කරන ලද (verified) ෆේස්බුක් පිටුවේ සටහනක සඳහන් වූයේ, ඉස්ලාමි අන්දෝලන් බංග්ලාදේශ්, ඝන අධිකාර් පරිෂාද් සහ ජාතික පුරවැසි පක්ෂය ඇතුළු පක්ෂ 5ක හදිසි රැස්වීමක් ඊයේ පැවති බව ය.

ජූලි අරගලයට නායකත්වය දුන් තරුණ පක්ෂය වන අලුතින් පිහිටුවන ලද ජාතික පුරවැසි පක්ෂයේ (NCP) දකුණු කලාප ප්‍රධාන සංවිධායක හස්නාත් අබ්දුල්ලා ඊයේ ඔහුගේ සත්‍යාපිත ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණේ, රටේ සහ ජාතියේ යහපත වෙනුවෙන් අනපේක්ෂිත බෙදීම් නතර කළ යුතු බව ය.

මේ අතර, පළාත් පාලන උපදේශක අසිෆ් මහමුද් ඊයේ ෆේස්බුක්හි සටහනක් තබමින් පැවසුවේ, "බංග්ලාදේශ් අවාමි ලීගයට සම්බන්ධ වීම හරහා ඔබ ආරාධනා කරන කිඹුලා ඔබව කනු ඇත," යනුවෙනි.

ඔහු තවදුරටත් මෙසේ ලිවීය, "අපට මරණයට බියක් නැත, පාඩුවක් නැත. එක ම කනගාටුව නම් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය හෝ ඉරණම ධනාත්මක දිශාවකට නොයාම යි. සිහින දැකීමේ සහ සිහින බිඳ දැමීමේ වේදනාව බොහෝ විට මේ රටේ ඉරණම විය හැකි ය."

රජයේ ප්‍රතිචාර

තොරතුරු උපදේශක මහෆුස් අලාම් සමාජ මාධ්‍ය ෆේස්බුක්හි ලියා ඇත්තේ, "පෙර පැවති ඕනෑ ම භේදකාරී ප්‍රකාශ සහ වචන" සඳහා සමාව අයදින බව ය.

"දේශප්‍රේමී බලවේගවල එකමුතුකම, එහිදී රට තනි පුද්ගල පරමාදර්ශ, ගෞරවය සහ හැඟීම්වලට වඩා විශාල යි. භේදකාරී වූ පෙර ප්‍රකාශ සහ වචන සඳහා මම අවංකව ම සමාව අයදිමි," යනුවෙන් අලාම් ලියා තිබිණි.

ඩකා දකුණු නගර සභාවේ නගරාධිපති ලෙස බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක ඉෂ්රාක් හොසේන් දිවුරුම් දීමට සමගාමීව ඉෂ්රාක් හොසේන් සහ ඔහුගේ ආධාරකරුවන් තොරතුරු උපදේශක මහෆුස් අලාම් සහ පළාත් පාලන උපදේශක අසිෆ් මහ්මුද් ඉල්ලා අස්විය යුතු බවට බල කරති.

"අනාගත රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී සහ සියල්ලන් ඇතුළත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, පැරණි සටන් පාඨ බෙදීම් සහ ලේබල් ගැසීමෙන් වැළකී සිටියහොත් පමණක් එය කළ හැකි යැයි මම බලාපොරොත්තු වෙමි, එය විශාල ජන කණ්ඩායම් මරා දැමිය හැකි තත්ත්වයක් නිර්මාණය කරනු ඇති. බංග්ලාදේශයේ සතුරන් එක්සත් මෙන් ම ආක්‍රමණශීලී ය."

ස්වෛරීභාවය සහ සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තර්ජනයට ලක්ව ඇති බව අලාම් සඳහන් කළේ ය.

ජූලි නැගිටීමේදී එක්සත් වූ ජනතාව මුහුණ දිය යුතු පරීක්ෂණයක් ඇති බව ද අලාම් ලිවීය, "මෙම පරීක්ෂණය එක්සත්කම සහ ඉවසීම යි. මෙම පරීක්ෂණය ජය ගත යුතු යි," උපදේශකයා ලිවීය.