ෂෙයික් හසීනා: ඒකාධිපතියෙකු බවට පත් වූ ප්‍රජාතන්ත්‍ර හිතැති සංකේතය

Propelled by the pro-democracy movement in the 1980s and early 1990s, Ms Hasina became a national icon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1980 දශකයේ සහ 1990 දශකයේ මුල් භාගයේ ප්‍රජාතන්ත්‍ර හිතවාදී ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලැබූ හසීනා එහි ජාතික සංකේතයක් බවට පත්විය.
    • Author, අන්බරසන් එතිරාජන් සහ ටෙසා වොන්ග්
    • Role, බීබීසී පුවත්

බංගලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා වාසෙඩ් ඉල්ලා අස්වී රටින් පිටව ගියේ සති ගණනක් ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා රටපුරා මාරාන්තික නොසන්සුන්තාවක් දක්වා පැතිරීමෙන් පසුවය.

76 හැවිරිදි ඇය සඳුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පලා ගිය බව වාර්තා වන අතර, දහස් ගණනක් විරෝධතාකරුවන් ඩකා අගනුවර පිහිටි ඇගේ නිල නිවසට කඩා වැදී ඇත.

මෙය වසර 20කට වැඩි කාලයක් මුළුල්ලේ රට පාලනය කළ බංගලාදේශයේ දීර්ඝතම අගමැති ධුරයේ රාජ්‍ය පාලනයට අනපේක්ෂිත අවසානයක් ගෙන දී තිබේ.

දකුණු ආසියාවේ ආර්ථික ප්‍රගතිය ඉහළ දැමීමෙහිලා ගෞරවයට පාත්‍ර වූ හසීනා ප්‍රජාතන්ත්‍ර හිතවාදී සංකේතයක් ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළාය.

කෙසේ වෙතත්, මෑත වසරවලදී ඇය අත්තනෝමතික බවට පත් වූ බවටත්, ඇගේ පාලනයට එරෙහි ඕනෑම විරෝධයයක් මර්දනය කරනා බවටත් චෝදනා එල්ල විය.

'ව්‍යාජයක්' ලෙස පසුගිය ජනවාරි මාසයේදී විවේචකයින් විසින් පුළුල් ලෙස ප්‍රතික්ෂේප කරන ලද මැතිවරණයේදී ඇය පෙර නොවූ විරූ අන්දමින් සිව්වන වරටත් එරට අගමැතිනිය ලෙස ජයග්‍රහණය කළාය.

ෂෙයික් හසීනා බලයට පත් වූයේ කෙසේද?

1947 දී නැගෙනහිර බෙංගාලයේ මුස්ලිම් පවුලක උපත ලද හසීනාට දේශපාලනය තම ලේ උරුමයක්ව තිබුණි.

ඇගේ පියා 1971 දී පකිස්තානයෙන් නිදහස ලබාගෙන එහි පළමු ජනාධිපති බවට පත් වූ බංගලාදේශයේ "ජාතියේ පියා" වූ ජාතිකවාදී නායක ෂෙයික් මුජිබර් රහ්මාන් ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ වන විට හසීනා ඩකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කීර්තියක් අත්කර ගෙන සිටියාය.

1975 හමුදා කුමන්ත්‍රණයකින් ඇගේ පියා ඔහුගේ පවුලේ බොහෝ සාමාජිකයන් සමඟ ඝාතනය විය. ඒ වන විට විදේශ ගතව සිටි හසීනා සහ ඇගේ බාල සොහොයුරිය පමණක් දිවි ගලවා ගත්හ.

ඉන්දියාවේ පිටුවහල්ව ජීවත් වූ හසීනා 1981 දී නැවත බංගලාදේශයට පැමිණි අතර ඇගේ පියා අයත් වූ අවාමි ලීගයේ දේශපාලන පක්ෂයට නායකත්වය දුන්නාය.

ජෙනරාල් හුසේන් මුහම්මද් එර්ෂාඩ්ගේ හමුදා පාලන සමයේදී ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී වීදි විරෝධතා පැවැත්වීමට ඇය අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ අත්වැල් බැඳගත්තාය. මහජන නැගිටීම නිසා හසීනා ඉක්මනින්ම ජාතික සංකේතයක් බවට පත්විය.

ඇය මුලින්ම බලයට පත් වූයේ 1996 දීය. ඉන්දියාව සමඟ ජලය බෙදාගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීම සහ රටේ ගිනිකොණ දෙසින් ගෝත්‍රික කැරලිකරුවන් සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇය ගෞරවයට පාත්‍ර විය.

එහෙත් ඒ සමගම, ඇයගේ රජය බොහෝ දූෂිත ව්‍යාපාරික ගනුදෙනු සහ ඉන්දියාවට ඕනෑවට වඩා යටත් වීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය.

පසුව ඇය 2001 දී බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ඇගේ හිටපු සටන් සගයාව සිට පසුව සතුරා බවට පත් වූ බෙගම් ඛලීඩා සියාට පරාජය විය.

දේශපාලන පවුල්වල උරුමක්කාරයන් වන මෙම කාන්තාවන් දෙදෙනාම දශක තුනකට වැඩි කාලයක් බංගලාදේශ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ අතර ඔවුන් හඳුන්වනු ලබන්නේ "සටන් කරන බෙගම්වරියන් " ලෙසිනි. 'බෙගම්' යන්නෙන් අදහස් කරන්නේ උසස් නිලයක් දරන මුස්ලිම් කාන්තාවන්‍ ය.

නිරීක්ෂකයින් පවසන්නේ ඔවුන්ගේ දැඩි එදිරිවාදිකම් නිසා බස් බෝම්බ, අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන නිරන්තර සිදුවීම් බවට පත්ව ඇති බවයි.

2009 දී භාරකාර රජයක් යටතේ පැවති මැතිවරණයෙන් හසීනා නැවත බලයට පත් වූවාය.

දේශපාලනයේදී සැබෑ ලෙසම දිවි ගලවාගත්තියක වූ ඇය, විපක්ෂයේ සිටියදී අත්අඩංගුවට ගැනීම් රාශියක් මෙන්ම 2004 දී ඇයගේ ශ්‍රවණ බාධා ඇති කළ කළ ඝාතන තැත් කිහිපයක් ද විඳදරා ගත්තාය. ඇය පිටුවහල් කිරීමට බලකිරීමේ උත්සාහයන්ගෙන් සහ ඇයට එල්ල වී ඇති දූෂණ චෝදනා නඩු ගණනාවකින් බේරී ඇත.

Ms Hasina has overseen Bangladesh's economic progress but critics say she has also turned autocratic

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හසීනා බංගලාදේශයේ ආර්ථික ප්‍රගතිය නංවා ඇති නමුත් විචාරකයින් පවසන්නේ ඇය අත්තනෝමතික ඒකාධිපතියෙකු බවට පත්ව ඇති බවයි.

ඇය අත්පත්කරගෙන ඇත්තේ කුමක්ද?

හසීනා යටතේ බංගලාදේශය එකිනෙකට ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් මවා පායි.

කලක් ලෝකයේ දුප්පත්ම රටක් වූ මුස්ලිම් බහුතර ජාතියක් වූ එය 2009 සිට ඇයගේ නායකත්වය යටතේ විශ්වසනීය ආර්ථික සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත.

එය දැන් එහි යෝධ අසල්වැසි ඉන්දියාව පවා අභිබවා යමින් කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකි.

පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර පසුගිය වසර 20 තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බවට ලෝක බැංකුව ගණන් බලා ඇත.

මෙම වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් බංගලාදේශයේ සමස්ත අපනයනවලින් අතිමහත් බහුතරයකට දායක වන ඇඟලුම් කර්මාන්තය මගින් පෝෂණය වී ඇති අතර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ආසියාවේ වෙලඳපොලවල් වෙත එය මෑත දශක කිහිපය තුළ වේගයෙන් ව්‍යාප්ත වී ඇත.

රටේම අරමුදල්, ණය සහ සංවර්ධන ආධාර භාවිතා කරමින්, හසීනාගේ රජය ගංගානම් ගඟ හරහා ඩොලර් බිලියන 2.9 ක පද්ම පාලම ඇතුළු දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති සිදු කර ඇත.

ඇය වටා ඇති මතභේදය කුමක්ද?

මෑතකාලීන විරෝධතා හසීනා බලයට පත්වීමෙන් පසු මුහුණ දුන් බරපතලම අභියෝගය වූ අතර, දැඩි මතභේදාත්මක මැතිවරණයකින් පසුව ඇයගේ පක්ෂය සිව්වන වරටත් පාර්ලිමේන්තු වාරය සඳහා නැවත තේරී පත් විය.

ඇයට ඉල්ලා අස්වන ලෙස වැඩි වන ඉල්ලීම් මධ්‍යයේ, ඇය නොසැලී සිටියාය. ඇය උද්ඝෝෂකයන් "ත්‍රස්තවාදීන්" ලෙස හෙළා දැකි අතර "මෙම ත්‍රස්තවාදීන් දැඩි හස්තයකින් මර්දනය කිරීමට" සහාය දෙන ලෙස ඉල්ලා සිටියාය.

ඩකා සහ වෙනත් ස්ථාන වල මෙම මෑතකාලීන නොසන්සුන්තාව ආරම්භ වූයේ සිවිල් සේවා රැකියා සඳහා වන කෝටාව අහෝසි කිරීමේ ඉල්ලීමක් සමඟින් නමුත් එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත් විය.

කොරෝනා වසංගතයෙන් පසුව, බංගලාදේශය ඉහළ යන ජීවන වියදම සමඟ අරගල කරමින් සිටියි. උද්ධමනය අහස උසට නැඟී ඇති අතර, එහි විදේශ විනිමය සංචිත ශීඝ්‍රයෙන් පහත වැටී ඇත. 2016 සිට එහි විදේශ ණය දෙගුණ වී තිබේ.

විවේචකයින් විසින් හසීනාගේ රජයේ වැරදි කළමනාකරණයට දොස් පවරන අතර, එහි මුල්බැස ගෙන ඇති දූෂණය හේතුවෙන් බංගලාදේශයේ පෙර ආර්ථික ජයග්‍රහණය උපකාර වී ඇත්තේ හසීනාගේ අවාමි ලීගයට සමීප අයට පමණක් බව පවසති.

රටේ ප්‍රගතිය අත්කරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම්වල පිරිහීමෙන් බව පවසන ඔවුන් හසීනාගේ පාලනය ඇගේ දේශපාලන විරුද්ධවාදීන්ට, විරුද්ධවාදීන්ට සහ මාධ්‍යයට එරෙහිව මර්දනකාරී ඒකාධිපති ක්‍රියාමාර්ගවලින් සලකුණු කර ඇති බවට චෝදනා කරයි.

රජය සහ හසීනා එවැනි චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

නමුත් මෑත මාසවලදී, බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) බොහෝ ජ්‍යෙෂ්ඨ නායකයින්, රාජ්‍ය විරෝධී විරෝධතාවලින් පසුව දහස් ගණන් ආධාරකරුවන් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී - එය වරක් බහු-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කළ නායකයෙකුගේ චරිතයේ වී ඇති කැපී පෙනෙන පෙරළියකි.

2009 වසරේ සිට ආරක්ෂක අංශ විසින් කරන ලද චෝදනා එල්ල වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සහ අත්තනෝමතික ඝාතන සිදුකිරීම් සිය ගණනක් සම්බන්ධයෙන් අයිතිවාසිකම් කණ්ඩායම් ද සිය කනස්සල්ල පළ කර ඇත.

එවැනි අපයෝජනයන් පිටුපස සිටින්නේ තමන් බවට කරන ප්‍රකාශයන් හසීනාගේ රජය තරයේ ප්‍රතික්ෂේප කළ නමුත් හසීනාගේ රජය එවැනි චෝදනා විමර්ශනය කිරීමට කැමති විදේශීය මාධ්‍යවේදීන්ගේ සංචාරයන් ද දැඩි ලෙස සීමා කර තිබුණි.