'මම ගියේ පුතාට මනාලියක් බලන්න.මම ආපහු එනකොට මගේ පුතා නැතිවෙලා කියලා ආරංචි වුණා'

පසුගිය සතියේ ඩකාහි තුවාල ලැබූ විරෝධතාකරුවෙක් - ආරක්ෂක හමුදාවන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක් වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට රෝහල් අසීරු කාර්යයක නිරත විය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සතියේ ඩකාහි තුවාල ලැබූ විරෝධතාකරුවෙක් - ආරක්ෂක හමුදාවන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක් වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට රෝහල් අසීරු කාර්යයක නිරත විය
    • Author, ශෞමිත්‍ර ශුබ්‍රා, තරෙකුසමන් ශිමුල් සහ මරියම් සුල්තානා
    • Role, බීබීසී බංග්ලා, ඩකා

රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් බංග්ලාදේශයේ පොලිසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර රට පුරා ගැටුම් හටගෙන තිබේ. ඉන් අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මිය ගොස් ඇති අතර ලේ වැගීරීම්වලට මැදි වූ ඇතමෙකු සිදු වූ දෑ පිළිබඳව බීබීසියට පවසා ඇත.

එක් සිසුවෙකු පැවසුවේ, ඩකා අගනුවර විරෝධතාකරුවන්ට සාමකාමීව රැලියක් පැවැත්වීමට අවශ්‍ය වූ නමුත් ඒකරාශි වෙමින් සිටි ඔවුන්ට පහර දී පොලිසිය එය "විනාශ කර" දැමූ බව ය.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශිෂ්‍ය නායකයෙක්, පොලිසිය යැයි කියා ගන්නා පුද්ගලයින් කණ්ඩායමක් තමාගේ දෑස් බැඳ වධ හිංසා පැමිණවූ ආකාරය විස්තර කළේ ය.

මේ අතර, ගැටුමේ උච්චතම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල ලැබූ තරුණයින් විශාල ගණනක් ගෙන ආ බැවින් රෝහල් ධාරිතාව ඉක්මවා ගිය බව හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයෙක් පැවසීය.

පමණ ඉක්මවා බලය භාවිත කළ බවට ආරක්ෂක හමුදාවන්ට චෝදනා එල්ල වන නමුත් රජයේ රැකියා සඳහා කෝටා පැනවීමෙන් පසු ඇති වූ මෙම නොසන්සුන්තාවට රජය දේශපාලන විරුද්ධවාදීන්ට දොස් පවරා ඇත. මේවායින් බොහොමයක් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත ඉවත් කර තිබේ.

හමුදා සෙබළුන් දහස් ගණනක් යොදා ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර බ්‍රහස්පතින්දා සිට රට පුරා පවතින ඉන්ටර්නෙට් අවහිරයක් තොරතුරු ගලායාම සීමා වී ඇත.

බැංකු, තාක්ෂණ ආයතන සහ මාධ්‍ය ආයතන වැනි සමාගම්වලට ප්‍රමුඛත්වය දෙමින් අඟහරුවාදා රාත්‍රියේ සීමිත සම්බන්ධතාවක් නැවත ලබා දෙනු ලැබිණි. පවුල් සහ මිතුරන් අතර හුවමාරු වන වට්ස්අප්‍ පණිවිඩවලින් ජංගම දුරකතන නාද වීම ඇරඹුණු නමුත් පරිශීලකයන් පවසන්නේ, ඉන්ටර්නෙට් වේගය අඩු බව ත් ජංගම දුරකතන හරහා ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වීම සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම අත්හිටුවා ඇති බව ත් ය.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා, එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ විසින් වර්ජනය කරන ලද මතභේදාත්මක මැතිවරණයකදී, එනම් ජනවාරි මාසයේදී පැවති මැතිවරණයෙන් සිව්වන වරටත් අගමැති ධූරයට පත් වූ 76 හැවිරිදි ෂෙයික් හසීනාට වසර ගණනාවකදී එල්ල වූ බරපතළ ම අභියෝගය යි.

අවවාදයයි: මෙම ලිපියේ ඇතැම් පාඨකයින් කම්පනයට පත් කළ හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විස්තර අඩංගු වේ.

පෞද්ගලික BRAC විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන රායා (ඇයගේ සැබෑ නම නොවේ) බීබීසී බංග්ලා වෙත පැවසුවේ, ඇය ප්‍රථම වරට ජූලි 17 බදාදා විරෝධතාවලට සම්බන්ධ වූ නමුත් පොලිසිය සමග ඇති වූ ගැටුම් "ඇත්තට ම බිහිසුණු" බවට පත්වූයේ ඊට පසු දා බව ය.

"පොලිසිය ශිෂ්‍යයින්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ උදේ 11.30න් පස්සේ. ඒ වෙලාවේ, ශිෂ්‍යයින් කිහිප දෙනෙක් කඳුළු ගෑස් උණ්ඩ අහුලලා අරගෙන පොලිස් නිලධාරීන් දෙසට විසි කළා," ඒ, ඇය තත්ත්වය විස්තර කළ ආකාරය යි.

පසුව පොලිසිය රබර් උණ්ඩ භාවිත කිරීමට පටන් ගත් බව ත්, එක් අවස්ථාවකදී සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ සිර කර, දරුණු ලෙස තුවාල ලැබූවන් රෝහල්ගත කිරීම පවා නතර කළ බව ත් ඇය පැවසුවා ය.

අනතුරුව දහවල් වන විට ඔවුන්ට පිටව යන ලෙස පොලිසිය නියෝග කළේ ය.

"එදා අපට අවශ්‍ය වුණේ සාමකාමී රැලියක් පවත්වන්න. නමුත් ඒ කිසි දෙයක් කරන්න කලින් පොලිසිය හැමදේ ම ම විනාශ කළා," රායා පැවසීය.

Riot police at the scene of protests in Dhaka

ඡායාරූප මූලාශ්‍රය, BBC Bangla

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අතර ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදු විය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බොහෝ මරණ සිදු වූ ජූලි 19 වන දින තත්ත්වය තවත් අඳුරු විය.

පෙරවරු 10:00 වන විට, විරෝධතාකරුවන් සිය ගණනක් දැන් යුද්ධ කලාපයක් ලෙස දිස්වන, තානාපති කාර්යාල රැසකට නිවහනක් වන, සාමාන්‍යයෙන් ආරක්ෂාව තර කර ඇති ප්‍රදේශයකට නුදුරු රාම්පුරා අසල නෝතුන් බජාර්හි පොලිසිය සමග සටන් කරමින් සිටියහ.

විරෝධතාකරුවන් වෙඩි ප්‍රහාර, කඳුළු ගෑස් සහ ශබ්ද අත්බෝම්බවලින් (sound grenades) ප්‍රතිප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් වෙත ගඩොල් සහ ගල් ප්‍රහාර එල්ල කරමින් සිටි අතර හෙලිකොප්ටරයක් ​​ගුවනේ සිට වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටියේ ය.

සෑම තැනක ම පාහේ සිදුවන ගිනි ගැනීම්, පුළුස්සා දැමූ සහ පාරේ දමා ගිය වාහන,පොලිසිය මෙන් ම විරෝධතාකරුවන් විසින් දමන ලද බාධක, බිම පෙරළා දමා ඇති වානේ මාර්ග බාධක සහ පාරේ විසිරී ඇති කැඩුණු අතු කැබලි ආදිය බීබීසී වාර්තාකරුවන්ට දැකගත හැකි විය.

ඉක්මනින් අවසන් වෙමින් තිබූ පතරොම් සඳහා මෙන් ම අමතර සහය සඳහා පොලිසිය ඉල්ලීම් කරන අයුරු දැකගත හැකි විය.

මේ වන විට නගරයේ රෝහල්වල වෙත තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් කිරීම ආරම්භ වෙමින් තිබුණු අතර ලෙයින් නැහැවුණු බොහෝ දෙනෙක් පා ගමනින් ම පැමිණෙමින් සිටියහ.

කෙටි කාලයක් තුළ රෝගීන් සිය ගණනකගෙන් පිරී යාම නිසා හදිසි ප්‍රතිකාර අංශවල ධාරිතාව ඉක්මවා ගියේ ය.

"අපිට මෙහේ කළමනාකරණය කර ගන්න බැරි නිසා බරපතළ තුවාල ලැබූ රෝගීන් ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලට යොමු කළා," නම හෙළි කිරීමට අකමැති වූ එක් වෛද්‍යවරයෙකු බීබීසී බංග්ලා වෙත පැවසුවේ, මියගිය බොහෝ දෙනෙකුට වෙඩි තබා ඇත්තේ රබර් උණ්ඩවලින් බව ද පවසමිනි.

එසේ ම, නිර්නාමිකව සිටීමේ කොන්දේසියක් මත අදහස් දක්වමින්, රජයේ රෝහලක තවත් වෛද්‍යවරයකු පැවසුවේ, සෑම විනාඩියකට ම තුවාල වූ අයෙකු රෝහල්ගත වූ බවක් පැය කිහිපයක් පුරා පෙනෙන්නට තිබුණු බව ය.

“බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බොහෝ රෝගීන් ආවේ වෙඩි වැදිලා සිද්ධ වුණු තුවාල සහිතව," වෛද්‍යවරයා පැවසීය. "බ්‍රහස්පතින්දා අපි පැය හයක වැඩ මුරයක සැත්කම් 30ක් කළා."

"ඒක පළපුරුදු වෛද්‍යවරයෙකුට පවා හිත වංචල කරනවන තත්වයක්... තුවාල වුණු තරුණ තරුණියන් විශාල ගණනකට ප්‍රතිකාර කරද්දී මගේ සමහර සගයන් සහ මම ඇත්තට ම කලබලයට පත් වුණා."

සිකුරාදා සවස් වන විට රජය රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර හමුදාව මහා මාර්ගවලට යෙදවීම ත් සමග තත්ත්වය වඩා ත් නරක අතට හැරිණි.

Nahid Islam

ඡායාරූප මූලාශ්‍රය, BBC Bangla

ඡායාරූප ශීර්ෂ වැකිය, තමාට වධ හිංසා පැමිණවූ බවට චෝදනා කිරීමෙන් පසු නහීඩ් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්තේ ය

ශිෂ්‍ය නායකයෙකු වූ නහීඩ් ඉස්ලාම් අතුරුදන් වූයේ සිකුරාදා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් පසුව ය.

ඔහුගේ පියා පැවසුවේ, සිකුරාදා මධ්‍යම රාත්‍රියේ ඔහු මිතුරෙකුගේ නිවසක සිටියදී රැගෙන ගොස් ඇති බව ත් නැවත ඔහු දුටුවේ පැය 24කට වඩා වැඩි කාලයකට පසු බව ත් ය.

පසුව තමාව රැගෙන නිවසක කාමරයකට ගෙන ගොස් ප්‍රශ්න කර රහස් පරීක්ෂකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් පිරිසක් විසින් කායික හා මානසික වධ හිංසාවලට ලක් කරන ලද ආකාරය නහීඩ් විසින් ම විස්තර කරනු ලැබී ය.

තමා ක්ලාන්ත වී සිටි බව ත් සිහිය පැමිණියේ ඉරිදා අලුයම බව ත් ඔහු පැවසීය. ඒ, ඔහු නිවසට පැමිණ තම උරහිස් දෙකේ සහ වම් පාදයේ තිබූ ලේ කැටි ගැසීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත් අවස්ථාව විය.

ඔහුගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රවෘත්ති අමාත්‍ය මොහොමඩ් අලි අරෆත් බීබීසීයට පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන නමුත් තමන් එය යම් අයෙකු පොලිසිය අපකීර්තියට පත් කිරීමට උත්සහ කළ "කඩාකප්පල්කාරී ක්‍රියාවක්" යැයි සැක කරන බව ත් ය.

"මගේ ප්‍රශ්නය තමයි, ආණ්ඩුවේ කෙනෙක් ගියා නම්, ඇයි එයාව උස්සගෙන, පැය 12ක් රදවාගෙන කොහෙන් හරි නිදහස් කරන්නේ, ආපහු ඇවිත් එහෙම පැමිණිල්ලක් කරන්න පුළුවන් විදිහට?"

මියගිය අය ගැන ද ප්‍රශ්න තිබේ. ඔවුන්ගෙන් ඇතැමෙකු විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ බවට සාක්ෂියක් නොමැති බව පෙනේ.

සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු ඩකාහි රැකියාවක් සොයමින් සිටි 21 හැවිරිදි මරුෆ් හුසේන්ගේ ඥාතීන් සමග බීබීසී බංග්ලා සේවය සංවාදයක යෙදුණේ ය.

ඔහුගේ මව පැවසුවේ, විරෝධතා අතරතුර පිටතට නොයන ලෙස තමා ඔහුට පැවසූ නමුත් සටනෙන් බේරීමට උත්සහ කිරීමේදී ඔහුගේ පිටුපසට වෙඩි වැදී තිබුණු බව ත් පසුව ඔහු රෝහලේදී මිය ගිය බව ත් ය.

මියගිය අයගෙන් තවත් අයෙකු වන ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කම්කරුවෙකු වන සෙලිම් මැන්ඩල්, ඔහු රැකියාවේ නිරත වූ සහ දිවි ගෙවූ ස්ථානය පිහිටා තිබූ ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ඉරිදා අලුයම ඇතිවූ ගින්නකට කොටු විය.

ඔහුගේ පිළිස්සී ගිය සිරුර තවත් දෙදෙනකුගේ සිරුරු සමග හමු වී තිබිණි. ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මියගිය 27 හැවිරිදි හසිබ් ඉක්බාල් විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයෙකු බව පැවසුව ද ඔහු ඊට දැඩි ලෙස සම්බන්ධ වූ අයෙකු නොවිය. ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ, ඔහු සත්‍ය වශයෙන් ම එහි කොටස්කරුවෙකු නොවන අතර ඔහු මිය ගියේ කෙසේදැයි ඔවුන් නොදන්නා බව ය.

සිකුරාදා යාච්ඥාවට ගිය තම පුතුගේ මරණය දැනගත් පියා කම්පාවට පත් විය. "අපි එකට යාච්ඥාවට යන්න හිටියේ, නමුත් මම ටිකක් පරක්කු වුණ නිසා ඔහු තනියම පල්ලියට ගියා," රසාක් මහතා බීබීසී බෙංගාලි වෙත පැවසීය.

රසාක් මහතා පසුව ඔහුව සෙවීමට පිටතට ගිය නමුත් ඔහු මියගොස් ඇති බව දැන ගත්තේ ඊට පැය ගණනකට පසුව ය. ඔහුගේ මරණ සහතිකයේ සඳහන් වූයේ, ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවකින් මිය ගිය බව නමුත් ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී ඥාතීන් ඔහුගේ පපුවේ කළු පැහැති පැල්ලම් තිබෙණු දැක තිබිණි.

රසාක් මහතා පොලිසියට පැමිණිලි කිරීමට අදහස් නොකරයි. "මගේ පුතා කවදාවත් ආපහු එන්නේ නැහැ."

"මගේ එක ම පුතා," ඔහු පැවසීය. "මං හීනෙකින්වත් හිතුවෙ නෑ එයාව මෙහෙම නැතිවෙයි කියලා."