'වාහන යද්දි ගල් දෙක ආවේ, කාර් එකක් පුදුම විදිහට බේරුණේ': මහනුවර ඇතුළු ප්‍රදේශ රැසකට අධික වැසි

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
"පහමාරට හයට විතර වාහන යද්දි ගල් දෙක ආවේ, කාර් එකක් පුදුම විදිහට බේරුණේ" යැයි මහනුවර පේරාදෙණිය, හල්ඔලුව මාර්ගයේ වවුල්ගල ප්‍රදේශයේ මාර්ගයට ගල් පෙරළීම ගැන අදහස් දක්වමින් ප්‍රදේශවාසීයෙක් බීබීසී සිංහල වෙත පැවසීය.
ඊයේ සවස 6 පමණ ආරම්භ වූ අධික වර්ෂාව පැය තුනකට වැඩි කාලයක් පැවති බවත්, වර්ෂාවත් සමග ගන්නොරුව - හල්ඔලුව මාර්ගයට ගල් පෙරලී ඇති අතර පස්කඳු කඩා වැටී ඇතැයි ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලීයව පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රිත්ක කිහිපයකට තදවැසි සහිත කලගුණ තත්ත්වයක් බලපා ඇති අතර, අධික වර්ෂාව හේතුවෙන් ආපදා තත්ත්වයක් වාර්තා වී තිබේ.
දැනට ලැබී ඇති දත්තවලට අනුව පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ, රත්නපුර ඇහැලිගොඩ ප්‍රදේශයෙනි.
එම අගය මිලිමීටර් 171කි.
අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කෙරේ
ඊයේ රාත්‍රිය පුරා ඇඳහැලුණු අධික වාර්ෂාවත් සමග අවදානම් ප්‍රදේශවලින් පුද්ගලයින් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
මහනුවර, බඹරබැද්ද ප්‍රදේශයෙන් පවුල් 40ක් ඉවත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.
කෑගල්ල - කොවිල්කන්ද ප්‍රදේශයෙන් පවුල් දෙකක් ඉවත් කර තිබේ.
මාතලේ අඹන්ගඟකෝරලේ කළුගල්තැන්න ප්‍රදේශයෙන් පවුල් 5ක පුද්ගලයින් ඉවත් කර ඇතැයි ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.
අවහිරතා නිසා වසා දැමුණු මාර්ග
- මහනුවර: ගොහාගොඩ හල්ඔලුව හරහා පේරාදෙණිය මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
- පැණිදෙණිය - දිවුරගල මාර්ගය පැණිදෙණිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දමා තිබේ.
- මුරුතලාව - ගන්නෝරුව මාර්ගය ගල් පෙරලීම නිසා තාවකාලිකව වසා දමා තිබේ.
මේ හේතුවෙන්වි කල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ
- මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර, දොළුව,උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළය
- කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට,කෑගල්ල,දෙහිඕවිට,අරණායක සහ මාවනැල්ල
- මාතලේ දිස්ත්‍රික්කය: රත්තොට, අඹන්ගඟ කෝරළය, ලග්ගල - පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මහැවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුරක්
මහැවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුරක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ඉදිරි පැය 24ක කාලය තුළ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව, හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.
මීට අමතරව මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් හා සෝමාවදී රජමහා විහාර පිවිසුම් මාර්ගය හා රජමහ විහාරස්ථානය අවට ප්‍රදේශයේදී සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් උදැසන කාලයේදීද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මහනුවර ආශ්‍රිතව ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසීය.
අද දිනයේ මහනුවරට වැසි සඳහා වැඩි අවස්ථාවක් ඇතැයි ඔහු සඳහන් කළේය.
ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපර් 8 වටයේ තරය අද මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
හෙටින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


































