ෂකිබ් අල් හසන්: බලයෙන් පහ කළ මන්ත්‍රී ජනතා විරෝධය නොතකා යළිත් ටෙස්ට් ක්‍රිකට් පිටියට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, නික් මාර්ෂ්
- Role, බීබීසී
මහජන විරෝධතා මගින් තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය බලයෙන් නෙරපා හැරීමෙන් පසුව ද බංගලාදේශයේ නෙරපා හරින ලද මන්ත්‍රීවරයෙකු වන ක්‍රිකට් ක්‍රීඩකයෙකු යළිත් ක්‍රිකට් පිටියට පැමිණ තිබේ.
37 හැවිරිදි ෂකීබ් අල් හසන්ට පකිස්ථානය සමග බදාදා ආරම්භ වූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට මුහුණ දීම සඳහා බංගලාදේශයේ නව අන්තර්වාර රජය පසුගිය සතියේ අවසර ලබා දුන්නේ ය.
හිටපු නායිකා ෂෙයික් හසීනාට පක්ෂපාතී බවට චෝදනා කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් මීට පෙර කළ ඉල්ලීම් නොතකා හිටපු මන්ත්‍රීවරයා ක්‍රීඩා කර තිබේ.
මේ මස මුලදී ෂෙයික් හසීනාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යාමට සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෂකීබ් අල් හසන් සැලකෙන්නේ, බංගලාදේශයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස ය. ෂකීබ් ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 67කදී ලකුණු 4,505ක් රැස් කර තිබේ. ඊට අමතරව, දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහු කඩුලු 237ක් දවා ගෙන සිටින අතර බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම ටෙස්ට් කඩුලු ලාභියාගේ වාර්තාවට හිමිකම් කියයි.
ඉකුත් ජනවාරි මාසයේදී ඔහු බංගලාදේශයේ එවක පාලක පක්ෂය වූ අවාමි ලීගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
බංගලාදේශයේ උද්ගත වූ දේශපාලන අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් සිය ගණනක් ආරක්ෂක අංශ සමග පැවති ගැටුම්වලදී මිය ගොස් තිබියදීත් ඔහු මේ දක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබේ.
ෂෙයික් හසීනාට පක්ෂපාතී බවට චෝදනා කරමින් ඇතැම් බංගලාදේශ වැසියන් මේ මස මුලදී එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව ඩකා නුවරදී විරෝධතාවල නිරත වූහ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
විශේෂයෙන් ම, ෂකීබ්ගේ විවේචනයට ලක් කරනු ලැබුවේ, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සාමාජික රෆිකුල් ඉස්ලාම් විසිනි.
“ශිෂ්‍යයන් මරල දානකොට එයා කිසි විරෝධයක් පළ කළේ නැහැ. මේ සිසුන්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට සැලකුවේ ජාතික සංකේතයක් විදිහට. ඔහු මුලින් ම කරන්න ඕනෙ රටට ඇවිත් ඔහු නිහඬව සිටියේ ඇයි කියලා පැහැදිලි කරන එක," රෆිකුල් ඉස්ලාම් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
කෙසේ වෙතත්, රටේ නව ක්‍රීඩා අමාත්‍ය 26 හැවිරිදි ශිෂ්‍ය නායකයෙකු වන අසීෆ් මහමුද් පැවසුවේ, කණ්ඩායම "දක්‍ෂතාව මත" සකස් කළ යුතු බව ය.
තරගාවලියට පෙර බංගලාදේශයේ ක්‍රිකට් කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ කියා සිටියේ දේශපාලන අර්බුදය ෂකීබ්ගේ දස්කම්වලට බලනොපාන බව ය.
“ඔහු දීර්ඝ කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙන නිසා ඔහුගේ භූමිකාව සහ ඊට සූදානම් වෙන විදිහ ගැන ඔහු හොඳින් දන්නවා. මම ඔහුගේ දේශපාලන ජීවිතය ගැන සිතන්නේ නැහැ. අපි හැමෝම ඔහුට සලකන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස යි,” නජ්මුල් හොසේන් ෂැන්ටෝ මාධ්‍ය හමුවකදී පැවසීය.
"මේ තරගාවලියේදී ඔහු විශේෂ දෙයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා" ඔහු වැඩිදුරටත් පැවසීය.
ෂකිබ් පසුගිය සතියේ පකිස්ථානයේදී බංගලාදේශයේ සංචිතයට එක් වූයේ, කැනඩාවේ පැවති Global T20 League තරගාවලියට සහභාගී වීමෙන් පසුව ය. එහිදී, ද ඔහුට එරෙහිව බංගලිදේශ ජාතිකයින් ද සටන් පාඨ කියමින් විරෝධය පළ කර තිබිණි.
මීට මාස අටකට පෙර බංගලාදේශයේ විරුද්ධ පක්ෂය විසින් වර්ජනය කරන ලද මැතිවරණයකට තරග කරන ලද ශකීබ් අල් හසන් තම උපන් නගරය වන මගුරා හිදී තරග කර ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගත්තේය.
එහෙත්, මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමයට එරෙහිව බංගලාදේශයේ ආරම්භ වූ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ශකීබ්ගේ කෙටි දේශපාලන දිවිය මේ මස මුල දක්වා පමණක් සීමා විය.
හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට සහ ඇගේ අවුරුදු 15ක පාලනයට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මාරාන්තික අවස්ථා දක්වා වර්ධනය විය. සති කිහිපයක් ඇතුළත, පාලක අවාමි ලීග් පක්ෂය විසුරුවා හරින ලද අතර එහි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවලින් නෙරපා හරින ලදී.
ඩකා නගරයේ ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්වලට බාධා එල්ල වූ අතර, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ට දින 4කට පෙර පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණේ, බංග්ලාදේශ කණ්ඩායමට පෙර සූදානම සඳහා කාලයක් නොතිබූ හෙයිනි.
අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත ය.












