T20 ලෝක කුසලානය: සුපිරි 8 වටයේ ඇරඹුම සහ මූලික වටයේ සුවිශේෂී සිද්ධි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය අදින් (ජූනි 19) ඇරඹෙයි.
මෙවර සුපිරි කණ්ඩායම් 8 අතරට මීට පෙර පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා සිටී.
ඒ, ඉන්දියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව යි.
මේ අතර, මීට පෙර ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය මූලික වටයෙන් ම ඉවත්වීම විශේෂත්වයක් විය.
මූලික වටයේ ඒ ඒ කාණ්ඩවලින් සුපිරි 8 වටයට පිවිසි කණ්ඩායම් මෙසේ ය.
A කාණ්ඩය: ඉන්දියාව සහ ඇමෙරිකාව
B කාණ්ඩය: ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය
C කාණ්ඩය: බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානය
D කාණ්ඩය: දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය
සුපිරි 8 වටයේ තරග
සුපිරි කණ්ඩායම් 8 වටයේදී කණ්ඩායම් 8 කාණ්ඩ දෙකකට බෙදා තිබේ.
එම කාණ්ඩ දෙකට අයත් කණ්ඩායම් පහත දැක්වේ.
A කාණ්ඩය: ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය
B කාණ්ඩය: ඇමෙරිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව
සුපිරි 8 වටයේ තරග සියල්ල බටහිර ඉන්දීය කොදෙව් දූපත් වන ඇන්ටිගා හා බාබියුඩා, බාබඩෝස්, සේන්ට් ලුසියා සහ සේන්ට් වින්සන්ට් හා ග්‍රෙනාඩින්ස් යන දූපත්වල පිහිටි ක්‍රීඩාංගණවල පැවැත්වේ.
මෙම වටයේදී එක් කාණ්ඩයකට අයත් සියලු කණ්ඩායම් සෙසු සියලු කණ්ඩායම් සමග තරග කරයි.
ඒ අනුව, එක් කණ්ඩායමක් සුපිරි 8 වටයේදී තරග 3කට සහභාගි විය යුතු ය.
මූලික වටය අවසානයේ ක්‍රීඩකයින් දක්වා ඇති දක්ෂතා
මූලික වටය අවසානයේදී වැඩි ම ලකුණු රැස් කර සිටින පිතිකරුවා ලෙස පෙරමුණ ගෙන සිටින්නේ, ඇෆ්ඝනිස්ථානයේ රමනුල්ලා ගුර්බාස් ය. ඔහු තරග 4කදී ලකුණු 167ක් රැස් කර තිබේ.
දෙවන ස්ථානයේ පසු වන කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ලකුණු 164ක් සහ තෙවන ස්ථානයේ පසු වන ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනිස් ලකුණු 156ක් රැස් කර සිටිති.
පන්දු යැවීමේදී ද වැඩි ම කඩුලු බිඳ හෙළා ඇත්තේ, ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නෙකු වන ෆසල්හක් ෆාරුකි වන අතර ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 12කි.
දෙවන ස්ථානයේ පසු වන ඇඩම් සැම්පා (ඔස්ට්‍රේලියාව), අකීල් හොසේන් (කොදෙව්), අල්සාරි ජෝසෆ් (කොදෙව්), ඔන්රික් නොකියේ (දකුණු අප්‍රිකාව), ටැන්සිම් හසන් (බංග්ලාදේශය) සහ ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) කඩුලු 9 බැගින් බිඳ හෙළා තිබේ.
කිසිදු ශතකයක් නොමැතිව මූලික වටය නිමවෙයි
මෙවර මූලික තරග වටයේදී කිසිදු පිතිකරුවෙකු ශතකයක් වාර්තා කිරීමට සමත් නොවීම විශේෂත්වයකි.
ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව 98ක් වන අතර එය රැස් කළේ, කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ය.
දෙවන ස්ථානයේ සිටින ඇමෙරිකාවේ ඒරන් ජෝන්ස් නොදැවී ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය.
ලොකී ෆර්ගසන්ගේ දුර්ලභ වාර්තාව
පැපුවා නිව් ගිනියා සහ නවසීලන්තය අතර පැවති තරගයේදී ජූනි 17 වන දා පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගසන් දුර්ලභ වාර්තාවක් තැබීමට සමත් විය.
ඒ, පන්දු වාර 4කදී කිසිදු ලකුණක් නොදී කඩුලු 3ක් බිඳ හෙළමිනි.
අවසන් පූර්ව වටය සහ අවසන් තරගය
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් සංඛ්‍යාව 4කි.
එම කණ්ඩායම් 4 තෝරා ගනු ලබන්නේ, එක් කාණ්ඩයක වැඩි ම ජයග්‍රහණ හිමි කර ගන්නා කණ්ඩායම් 2ක බැගිනි.
එලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 අතර පැවැත්වෙන තරග දෙක ජූනි 27 වන දා පැවැත්වේ.
අවසන් තරගය ජූනි 29 වන දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00ට පැවැත්වේ.













