සෞරබ් නෙත්‍රවල්කාර් : කෝලිගේ සහ ෂර්මාගේ කඩුලු දවා ගත් හිටපු ඉන්දීය පන්දු යවන්නා

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියට කෝඩුකාර කණ්ඩායමක් ලෙස එක්වූ ඇමෙරිකානු කණ්ඩායම මේ දක්වා තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් ව තිබේ.
ප්‍රබල පකිස්ථාන කණ්ඩායමට එරෙහිව ලද ජයග්‍රහණය ඇමෙරිකානු ක්‍රීඩකයින්ට පමණක් නොව ප්‍රේක්ෂකයින්ට ද කලකට අමතක නොවන තරගයක් වුයේ එහි සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කළ ඉන්දියාවේ උපන් පන්දු යවන්නා නිසාය.
පකිස්ථානයට පරාජයක් ගෙන දෙමින් සුපිරි පන්දු වාරය යැවු සෞරබ් නෙත්‍රවල්කාර් කව්ද ? මේ ඔහු පිළිබඳව කළ සොයා බැලීමකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නෙත්‍රවල්කාර් ගේ ක්‍රිකට් ගමනේ ආරම්භය
1991 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනිදා ඉන්දියාවේ, දකුණු දිග මුම්බායි හි මලාඩ් ප්‍රදේශයේ දී උපත ලැබූ සෞරබ් නෙත්‍රවල්කාර් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන්නේ ඔහුට වයස අවුරුදු 10 දීය.
තරුණ ක්‍රීඩකයෙකු ලෙස නෙත්‍රවල්කාර් ක්‍රිකට් පිටියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට 2010 වසරේ නවසීලන්තයේදී පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් වීමට අවස්ථාව උදාවිය.
එම ලෝක කුසලාන තරගාවලියේදී තරග 06 කට පමණක් ක්‍රීඩා කරමින් ඔහු කඩුලු 09ක් දවා ගැනීමට සමත් වුයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වෙමින්ය.
ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද එකසේ දස්කම් දැක්වූ සෞරබ් නෙත්‍රවල්කාර් 2013 වසරේදී ඉංජිනේරුවරයෙකු ලෙස සිය උපාධිය ලබා ගැනීමට සමත්ව තිබේ.
උපාධිය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දෙවසරක කාලයක් වෙන් කළ සෞරබ් නෙත්‍රවල්කාර් ගේ බලාපොරොත්තුව වුයේ මුම්බායි කණ්ඩායමටත් ඉන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායමේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමය.
"මම මුම්බායි සංචිතය සඳහා තේරුණා. නමුත් මට එහි ස්ථානයක් තහවුරු කර ගැනීමට හැකිවුණේ නැහැ. අවම වශයෙන් IPL තරගාවලියේවත් ස්ථානයක් හිමිවුනේ නැහැ." සෞරබ් නෙත්‍රවල්කාර් බීබීසී සමග කළ සම්මුඛ සාකච්ජාවේදී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්‍රිකට් දිවියට සමුදීම සහ සරසවි ගමන
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වෘත්තීය ජීවිතය ඔහුගේ වයස අවුරුදු 23 වන විට ආරම්භ වන පසුබිමක නෙත්‍රවල්කාර් සිය ක්‍රීඩා දිවියට තිත තැබීමට තීරණය කළේය.
“මම හිටියේ දෙසිතක සිර වෙලා. ඒ, මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු විය යුතුද නැතිනම් අධ්‍යාපනයට අවධානය යොමු කළ යුතුද? යන කරුණු දෙක ගැනයි” ඔහු කියා සිටියේය.
ඉන්දියාවේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස සිටියදී සෞරබ් නෙත්‍රවල්කාර් විසින් දැනටමත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රීඩාව පිළිබද කරුණු විශ්ලේෂණය කිරීමට උපකාර වන යෙදුමක් වන CricDeCode නිර්මාණය කළේය.
2015 දී සෞරබ් නෙත්‍රවල්කාර් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පටන් ගත්තේය.
“එය දුෂ්කර තීරණයක්,” ඔහු පැවසීය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටියද ක්‍රිකට් ක්‍රීඩාව ගැන තිබු උනන්දුව නම් අඩුවක් නොවු බව නෙත්‍රවල්කාර් කියා සිටියේය.
අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටියදීම ඔහු සිය සරසවියේ සිසුන් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දුටු බැවින් අන්තර් විද්‍යාලීය තරගාවලි සඳහා සහභාගී වීමට ක්‍රීඩා සමාජයකට ද සම්බන්ධ විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දුෂ්කර කාල පරිච්ජේදය
උපාධිය ලැබීමෙන් පසු පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන Oracle හි රැකියාවක් ලබාගත් සෞරබ් නෙත්‍රවල්කාර් කැලිෆෝනියාව බලා ගියේය.
එහිදී ක්‍රීඩා සමාජයකට එක්වූ ඔහු සෑම සති අන්තයකදීම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගන්නා ලදී.
“මම සතියේ දින පහක් රැකියාවේ නිරත වෙලා සති අන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න සැන් ෆ්‍රැන්සිස්කෝ බලා යනවා." ඔහු පැවසුවේය.
"සැන් ෆ්‍රැන්සිස්කෝ හි වෘත්තීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට හැකි තණ තීරුවක් තිබුණේ නැහැ. එතැන තිබුනේ කෘතීම තණ තීරුවක්. නමුත් නිව්යෝර්ක්වල උද්‍යානයක පස් වලින් සෑදුව තණ තීරුවක් තිබුණා හරියට මුම්බායි මයිදාන් උද්‍යානයේ තිබෙනවා වගේ." ඔහු පැවසුවේය.
ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහු කෙතරම් ආදරය කලාද කිවහොත් සෑම සති අන්තයකම පැවැත්වෙන ක්‍රිකට් තරග ක්‍රීඩා කිරිම සඳහා සෞරබ් නෙත්‍රවල්කාර් ඔහු රැකියාව කරන සැන් ෆ්‍රැන්සිස්කෝ හි සිට නිව්යෝර්ක් බලා පැය 6ක දුරක් වාහනයේ පදවා ගෙන යන්නට එන්නට විය.
"ලොස් ඇන්ජලීස්වල මම ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජයේ සිටිය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අයයි. මම එතැනදී දැන ගත්තේ ඇමෙරිකාවේ ක්‍රිකට් කණ්ඩායමක් තියෙනවා කියලා." නෙත්‍රවල්කාර් පැවසීය.
"දීර්ඝ සති අන්තවල ඔවුන් රටේ විවිධ තැන්වල ක්‍රිකට් තරග සංවිධානය කරනවා. විශේෂයෙන්ම ෆ්ලොරිඩාවල. එහෙ තරග තියන කොට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඒ තරග සඳහා ක්‍රීඩා කරන්න පැමිණෙනවා." නෙත්‍රවල්කාර් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සැබෑවූ ජාතික කණ්ඩායම් සිහිනය
එම ක්‍රිකට් තරග හොඳ පසුබිමක් සකස් කර දුන්නද ඇමෙරිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සෞරබ් නෙත්‍රවල්කාර් සිහින මැව්වේ නැත .
"මුලින් ශිෂ්‍ය වීසා බලපත්‍රයක සිටි මම පසුව රැකියා වීසා බලපත්‍රයකට මාරු වුණා. ඒ නිසා ඇමෙරිකානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.” නෙත්‍රවල්කාර් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නම් සෞරබ් නෙත්‍රවල්කාර්ට එරට ස්ථිර පදිංචිකරුවෙක් ලෙස වසර 07ක් ජීවත්ව සිටිය යුතු බවට වන නීතියක් ද ක්‍රිකට් පරිපාලනය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීතියේ ඇතුළත්ව තිබුණි.
නමුත් 2018 වසරේ දී එම නිතිය වෙනස් වූ අතර ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට නෙත්‍රවල්කාර් තෝරා ගන්නා ලදී.
2019 වසරේ දී, ඇමෙරිකාව ඇතුළුව සියලුම ආශ්‍රිත රටවල් සඳහා ජාත්‍යන්තර T20 වරම් ලබා දීමට කටයුතු කෙරුණි.
"බොහෝ අය සිතන්නේ දුර්වල ලෙස සලකනු ලබන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කිරීම පහසුයි කියලා" ඔහු පවසයි.
“නමුත් එහි තිබෙන අරගලය ඊටත් වඩා දුෂ්කරයි. මූලික යටිතල පහසුකම් නොමැති නිසා ඇමෙරිකාව වගේ ක්‍රිකට් ක්‍රීඩාවට අලුතෙන් එක්වන රටවල් සඳහා ක්‍රීඩා කිරීම දුෂ්කරයි." ඔහු පැහැදිලි කළේය.
ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ට පූර්ණ කාලීන රැකියා මෙන්ම සිය පවුල් වල වගකීම් ද දැරීමට සිදුවේ.
"අපි සවස 7-9 සිට දක්වා කාලයේදී ගෘහස්ථ ක්‍රීඩාංගණයක පුහුණු වන්නේ."ඔහු පැවසුවේය.
දුරස්ථභාවය හේතුවෙන් විවිධ ප්‍රාන්තවල වෙසෙන ක්‍රීඩකයින්ව එකට එකතු කර ගැනීම ද අභියෝගයක් විය.
ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට දින 10 කට පෙර ක්‍රීඩකයින් එකට එක්වී සිය පුහුණුවීම් කටයුතු සිදුකරයි.
මෙම සියලු බාධක ජය ගනිමින් ආශ්‍රිත කණ්ඩායම් අතර පැවති ක්‍රීඩා තරගාවලියේ ඉහළින් සිටීමට ඇමෙරිකානු කණ්ඩායම සමත් වූ අතර ඔවුන් මෙම වසරේ T20 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම 2026 වසරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටී.
ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවක් ලබා ඇති බව නෙත්‍රවල්කාර් පැවසුවේය.
ඉන්දියාව සමග පැවති තරගය
සෞරබ් නෙත්‍රවල්කාර් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන විට එහි සිටි ක්‍රීඩකයින් කීහිප දෙනෙකුට වර්තමානයේ දී එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවී තිබුණි..
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී සෞරබ් නෙත්‍රවල්කාර්ට ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කරමින් තමන් උපන් රට වූ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය.
එහිදී ඔහු පන්දු යවමින් ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් වන නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලිය.
"ඔවුන් සමග නැවත සම්බන්ධවීමට ලැබීම සතුටක්." ඔහු කියා සිටියේය.
නැවත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට කිසිම බලාපොරොත්තුවක් තමා තුළ නොතිබූ බවද ඔහු සඳහන් කළේය.
"මට නැවත ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවක් හෝ නැවත අවස්ථාවක් ලැබෙයි කියා හෝ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ,” ඔහු බිබීසීය සමග කළ සම්මුඛ සාකච්ජාවේදී පැවසුවේය.
පෙරලියක් සිදුකරන ඇමෙරිකානු කණ්ඩායම
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වදින ඇමෙරිකානු කණ්ඩායම මේ වන විට එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවේ.
ඔවුන් ප්‍රබල පකිස්ථාන කණ්ඩායම මෙන්ම තරගාවලියේ පළමු තරගයේදීම කැනඩාවට එරෙහිව තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 07ක පරාජයක් ලැබුවද ඔවුන් එහිදී ද හොඳ තරගයක් ලබා දීමට සමත් විය.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ICC පුර්ණ සාමාජිකත්වය දරන බංගලාදේශ කණ්ඩායම සමග පැවති විස්සයි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් ගෙන එන බවට වන අනතුරු ඇඟවීමේ සංඥාව ලබා දෙමින්ය.












