T20 ලෝක කුසලානය 2024 : ඉන්දු - පකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන සිදුවීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් සේ සලකන ක්‍රීඩා ලෝලීන් සිටින රටවල් දෙකක් ලෙස ඉන්දියාව සහ පකිස්ථානය සැලකේ.
වසර ගණනාවක් පුරා පවතින දේශපාලන කෝන්තර නිසා දෙරට අතර පැවැත්වෙන ක්‍රීඩා තරග ද ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයක් යනු ඉතා සුවිශේෂී එකක් වන්නේ මේ පසමිතුරුකම් හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු - පකිස්ථාන ඉතිහාසය
2007 වසරේදී ආරම්භ වූ T20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී ඉන්දියාව සහ පකිස්ථානය අතර මේ දක්වා පවත්වා ඇති මුළු තරග සංඛ්‍යාව 07කි.
ඉන් තරග පහක් ඉන්දියාව ද, එක් තරගයක් පකිස්ථානය ද ජයග්‍රහණය කර තිබේ.
එක් තරගයක ලකුණු සමවී ඇත.
ඉන්දු - පකිස්ථාන ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් මොනවාද ?
1 . බෝල් අවුට් අවස්ථාව
2007 වසරේදී ආරම්භ වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති පළමු තරගය ඉතා තියුණු මුහුණුවරක් ගන්නා ලදී.
දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී පැවැත්වුණු එම තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීමට පකිස්ථානය තීරණය කරන ලදී.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 141ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දියාව වෙනුවෙන් රොබින් උත්තප්පා ලකුණු 50ක් සහ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 33ක් රැස් කිරීමට සමත් වූහ.
පකිස්ථාන වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් ආසිෆ් ලකුණු 18 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.
ජයග්‍රාහි ලකුණු 142ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායම ද තම පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 141ක් පමණි.
පකිස්ථානය වෙනුවෙන් මිස්බා උල් - හක් ලකුණු 53 කට දැවී ගිය අතර ඉන්දියාවේ ඉර්ෆාන් පතාන් ලකුණු 20 කට කඩුලු දෙකක් දවා ගන්නා ලදී.
මෙම තරගයේ ලකුණු සම වීම හේතුවෙන් ජයග්‍රාහක කණ්ඩායම තෝරා ගැනීම සඳහා 'බෝල් අවුට්' අවස්ථාව ලබා දෙන ලදී. ඒ තරගාවලියේ කොන්දේසි වලට අනුවය.
එහිද කණ්ඩායමකින් ක්‍රීඩකයින් පස් දෙනෙකු තෝරා ඔවුන් කඩුල්ල ඉලක්ක කරමින් පන්දු යැවිය යුතුය. එහිදී වැඩිම කඩුලු වාර ගණනක් බිඳින කණ්ඩායම ජයග්‍රාහකයින් ලෙස තෝරා ගනු ලැබේ.
මෙහිදී අවස්ථා 3-0ක් ලෙස ඉන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2 . අමතක නොවන අවසන් මහ තරගය
2007 වසරේ පැවති පළමු විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී.
ඒ නැවත වරක් ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයක් එවර ලෝක කුසලාන තරගාවලියේ දී පැවැත්වීම සහ එය අවසන් මහා තරගය ද වීම නිසාවෙන්ය.
කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් පන්දු වාර 20 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දියාව වෙනුවෙන් ගෞතම් ගාම්භීර් ලකුණු 75ක් රැස් කරනු ලැබූ අතර පකිස්ථානය වෙනුවෙන් උමාර් ගුල් ලකුණු 28 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූයේය.
ලකුණු 158ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි පකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 19.3ක් අවසානයේදී රැස් කිරීමට හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 152ක් පමණි.
පකිස්ථානය වෙනුවෙන් මිස්බා උල් - හක් ලකුණු 43ක් රැස් කළ අතර ඉන්දියාව වෙනුවන් R.P සිං සහ ඉර්ෆාන් පතාන් කඩුලු 03 බැගින් දවා ගන්නා ලදී.
ඒ අනුව පළමු T20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
3. ඉන්දියාව අසරණ කළ බාබර් - රිස්වාන් යුගලය
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තා කළ එකම ජයග්‍රහණය වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුයේ 2021 වසරේ දීය.
එම තරගයේ දී පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන ලදී.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහිදී විරාත් කෝලි ලකුණු 57ක් රැස් කිරීමට සමත් වූ අතර පකිස්ථානය වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 31 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය එකදු කඩුල්ලක් හෝ නොදැවී සිය ඉලක්කයට ළඟා වීමට සමත් වන ලදී.
මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79ක් සහ බාබර් නොදැවී ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය.













