වසර 11කට පසු අලුත් වූ වාර්තාවක් සමග පකිස්ථානයට එරෙහිව ඉන්දියාවට දැවැන්ත ජයක්

පකිස්ථානයට එරෙහිව ඉන්දියාවට දැවැන්ත ජයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී පකිස්ථානය පරාජය කරමින් ලකුණු 228ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දියාව අද (සැප්තම්බර් මස 11 වෙනිදා) සමත් විය.

ඊයේ (සැප්තැම්බර් මස 10 වෙනිදා) තරගය අතර මැද දී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අතිරේක දිනයක් ලෙස නම් කළ අද දිනයේදී තරගය නැවත ආරම්භ කළේ පස්වරු 4.30 න් පසුවය.

ඒ, අද සවස් කාලයේදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඇතුළු ප්‍රදේශයට වර්ෂාව ඇද හැලිම හේතුවෙනි.

ඊයේ තරගයේ ආරම්භයේ දී කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාව පිටියට පිවියේය.

විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් විසින් අද තරගයේදී පන්දු 194 කදී ලකුණු 233 ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් විසින් අද තරගයේදී පන්දු 194 කදී ලකුණු 233 ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.

සාර්ථක ආරම්භයක් ගත් ආරම්භක පිතිකරුවන්

ඉන්දීය කණ්ඩායම අද තරගය සඳහා පැමිණියේ වෙනස්කම් දෙකක්ද සමගින්ය. ඒ ඔවුන් සිය කණ්ඩායමට ජස්ප්‍රීට් බුම්රා සහ කේ.එල්. රාහුල් කැඳවීමට ගත් තීරණයත් සමගයි.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති පළමු වටයේ තරගයේදී පකිස්ථාන පන්දු යවන්නන්ගේ ග්‍රහණයට හසුවූ ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් මෙම තරගයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

ශුබ්මන් ගිල් සහ නායක රෝහිත් ෂර්මා පළමු පන්දු වාර 10 තුලදී ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.

ශුබ්මන් ගිල් සහ රෝහිත් ෂර්මා විසින් පකිස්ථාන ආරම්භක පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිති ප්‍රහාරයක් දියත් කළේ ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 13.2 කදී ලකුණු 100 සීමාවට රැගෙන එමිනි.

මෙම තරගයේදී ශුබ්මන් ගිල් සහ රෝහිත් ෂර්මා අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

එක ළඟ බිද වැටුණු කඩුලු

ඉන්දීය ඉනිමේ 17 වැනි පන්දු වාරයේදී ලකුණු 56ක් රැස් කරගෙන සිටි නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට ශදාබ් ඛාන් සමත් විය.

ඉන් අනතුරුව 18 වැනි පන්දු වාරයේදී ලකුණු 58ක් රැස් කර ගෙන සිටි ශුබ්මන් ගිල් ගේ කඩුල්ල දවා ගැනීමට ෂහින් අෆ්රිඩි සමත් විය. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 123ක් ලෙසයි.

ආරම්භක පිතිකරුවන්ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් ක්‍රමයෙන් ඉන්දීය ඉනිම නැවත ගොඩ නැගීමට සමත්වූහ.

කෙසේ වුවත් තරගයේ 25 වන පන්දු වාරයේ ආරම්භයත් සමග ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ඉන්දියාවේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 147 කට කඩුලු 2ක් ලෙසයි.

ඒ අනුව අතිරේක දිනයේදී තරගය පෙර දිනයේදී නතර වූ තැන සිට නැවත ආරම්භ කෙරුණි.

විරාත් කෝලි සිය 47 වන එක්දින ශතකය රැස් කිරීමට සමත් විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විරාත් කෝලි සිය 47 වන එක්දින ශතකය රැස් කිරීමට සමත් විය

කෝලි - රාහුල් සුසංයෝගය

පකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙකු වන හැරිස් රාවුෆ් අද දිනයේදී ක්‍රීඩා කිරීම සඳහා පිටියට නොපැමිණියේ ඊයේ දිනයේදී ඇතිවූ ආබාධ තත්ත්වයක්‌ හේතුවෙනි.

අද දිනයේ දී විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් පකිස්ථාන පන්දු යවන්නන් කිසිවෙකුට ස්ථාවර වීමට ඉඩක් නොදෙමින් ප්‍රහාරත්මක පිතිකරණයක නිරත විය.

එහිදී විරාත් කෝලි සිය 47 වන එක්දින ශතකය රැස් කිරීමට සමත් වූ අතර ආබාධයක් නිසා දිගු කලකට පසු කණ්ඩායමට කැඳවූ කේ.එල්. රාහුල් ද සිය 6 වන එක්දින ශතකය වාර්තා කළේ ය.

 කුල්දිප් යාදෙව් විසින් ලකුණු 25 කට කඩුලු 5ක් දවා ගනු ලැබුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කුල්දිප් යාදෙව් විසින් ලකුණු 25 කට කඩුලු 5ක් දවා ගනු ලැබුවේය.

11 වසරකට පසු අලුත් වූ වාර්තාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් විසින් අද තරගයේදී පන්දු 194 කදී ලකුණු 233 ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.

එම සබඳතාවය මෙතෙක් ආසියානු කුසලාන තරගාවලියකදී පිතිකරුවන් දෙදෙනෙකු තැබූ හොඳම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

2012 වසරේ ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී පකිස්ථානයේ නසීර් ජම්ෂෙඩ් සහ මොහොමඩ් හෆීස් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 224ක් රැස් කරමින් එම වාර්තාව තබා තිබුණි.

ඒ අනුව ඉන්දියාව සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 356ක් රැස් කළේය.

මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් විසින් රැස් කළ සිව්වන වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් විය.

ලකුණු 357ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි පකිස්ථාන පිතිකරුවන්ට ඉන්දියානු පන්දු යවන්නන්ගෙන් එල්ල වුයේ ප්‍රබල තර්ජනයකි.

ඒ අනුව ඉමාම් උල් හක් ලකුණු 9 කට සහ බාබර් අසාම් ලකුණු 10කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. ඒ වන විට පකිස්ථාන කණ්ඩායම රැස් කර සිටියේ ලකුණු 43ක් පමණි.

කෙසේවෙතත් පකිස්ථාන ඉනිමේ 11 වන පන්දු වාරයේදී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

නැවත තරගය රාත්‍රී 9.30න් පසුව ආරම්භ කෙරුණි.

කුල්දිප් හමුවේ අසරණ වූ පකිස්ථානුවෝ

ඉන්දියාව විසින් ලබා දුන් ඉලක්කය හඹා යෑම සඳහා පකිස්ථාන පිතිකරුවන්ට කිසිදු ඉඩක් නොලැබුණි.

ඒ අනුව පන්දු වාර 32ක් අවසානයේදී පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 128ක් පමණි.

පන්දු යැවීමේදී කුල්දිප් යාදෙව් විසින් ලකුණු 25 කට කඩුලු 5ක් දවා ගනු ලැබුවේය.

ඊට අමතරව ජස්ප්‍රීට් බුම්රා, හර්දික් පාන්ඩ්යා සහ ශරාඩුල් ඨාකුර් එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබූහ.