2023 ලෝක කුසලාන ක්‍රිකට් විනිසුරන් අතරට තේරුණු ලංකාවේ 'උනන්දුවා'

Umpire Handunnettige Dharmasena signals a no ball during the Semi-Final match of the ICC Cricket World Cup 2019 between Australia and England at Edgbaston on July 11, 2019 in Birmingham, England

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම්කර තිබේ.

තරගාවලිය සඳහා විනිසුරුවරුන් 16 දෙනෙකු නම්කොට ඇති අතර, ඊට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද ඇතුළත් ය.

ලබන ඔක්තෝම්බර් මස පස්වෙනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේ විනිසුරුවරයෙකු ලෙස ඔහු නම්කර තිබේ.

කුමාර් ධර්මසේන, 2019 වසරේ දී එංගලන්තයේ පැවති අවසන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ ද ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේ ය.

කුමාර් ධර්මසේන යනු කවුද?

හඳුන්නෙත්තිගේ දීප්ති ප්‍රියන්ත කුමාර් ධර්මසේන 1971 අප්‍රේල් මස 24 වෙනිදා කොළඹ දී උපත ලැබීය.

ජනාධිපති විද්‍යාලයේ සහ කොළඹ නාලන්ද විදුහලේ ආදී සිසුවෙකු වන ඔහු 1993 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගනු ලැබීය.

ඒ මෙරට නියෝජනය කරමින් බිහිවූ 59 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස යි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව හිමිවීම ගැන ඔහු වරක් සහභාගී වූ සම්මුඛ සාකච්ජාවක දී මෙසේ පැවසීය.

"අද වගේ නෙමෙයි, ඒ කාලේ අපේ ජාතික සංචිතයට එන්න හැමෝටම පුළුවන් වුණේ නැහැ. මගේ තාත්තා රාජ්‍ය සේවකයෙක්. ඉතින් ඒ වගේ පවුලක ළමයෙක් ක්‍රිකට් ක්‍රීඩා කරලා ජාතික තලයට එන එක අමාරු දෙයක්. නමුත් මගේ උනන්දුව යි, දක්ෂකම යි එක්ක මට ඒ දේ කරන්න හැකි වුණා," ඔහු එම සාකච්ජාවේ දී පැවසුවේ ය.

කුමාර් ධර්මසේන

ක්‍රිකට් පිටියේ ‘උනන්දුවා’

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1993 වර්ෂයේ දී ජාත්‍යන්තර වරම් දිනූ කුමාර් ධර්මසේන ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2005 වර්ෂයේ දී ය.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 31ක් සහ එක්දින තරග 141ක් ක්‍රීඩාකර ඇත.

එහිදී ඔහු කඩුලු 207ක් දවාගනු ලැබ ඇති අතර අර්ධ ශතක හතක් ද සමගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 2090කි. පන්දු රැකීමේ දී ඔහු උඩ පන්දු 48ක් රැකගැනීමට සමත් ව ඇත.

1996 වසරේ එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන කුමාර් ධර්මසේන, ක්‍රීඩා පිටියේ දී කා අතරත් ජනප්‍රියවී ඇත්තේ 'උනන්දුවා' යන අන්වර්ථ නාමයෙනි.

මෙම අන්වර්ථ නාමය ගැන වරක් කුමාර් ධර්මසේන මෙසේ පැවසීය:

"හැමෝම මට 'උනන්දුවා' කියද්දී මටම පොඩි කුතුහලයක් ආවා. මම පස්සේ මම ක්‍රීඩා කළ තරගවල වීඩියෝ පට නැවත බලද්දී මට තේරුණා ඇයි මට මිනිස්සු අර වගේ නමක් කියන්නේ කියලා. මොකද මම මැච් එකේ දී තනියම කතා කරනවා. කවුරු හරි බෝල් කරද්දී බැට්ස්මන් හතරක් ගැහුවත් ළඟට ගිහින් ඒ බෝල් දාපු කෙනාට කතා කරනවා. මම නෙමෙයි ටීම් එකේ කැප්ටන්. කැප්ටන් කළේ අර්ජුන අයියා. නමුත් මට ඕනකම තිබුණේ කොහොමහරි මැච් එක ගොඩ දාගන්න. ඒ නිසයි මම අර විදිහට හැසිරිලා තියන්නේ."

'මම හිතුවා ඒ චැලේන්ජ් එක භාරගන්න ඕන කියලා'

2005 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරිමට අවශ්‍යව තිබුණත් අවසානයේ දී ක්‍රිකට් විනිසුරුවරයෙකු බවට පත්වීමට ඉලක්කයක් ඔහු තුළ ඇතිවූ බව කුමාර් ධර්මසේන සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් වරෙක පවසා සිටියේ ය.

විනිසුරුවරයෙකු බවට පත්වී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග විනිසුරුවරුන්ගේ මණ්ඩලය (Elite Panel of ICC Umpires) වෙත ඇතුළුවීම සිය අභිලාෂය වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

"මොකද ICC එකේ විනිසුරුවරයෙක් වෙන්න ලොකු චැලේන්ජ් එකක් තිබුණා. මම හිතුවා ඒ චැලේන්ජ් එක භාරගෙන කරන්න පුළුවන් කියලා. ගොඩක් සතුටු වෙනවා, මම ඒක කරලා දෙවැනි අවුරුද්ද වෙනකොට ලෝකයේ ප්‍රථම ස්ථානයට ආවා. ලෝක කුසලාන අවසන් මහ තරග තුනක දී විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව හිමිවුණා," ඔහු එම සාකච්ජාවේ දී සඳහන් කළේ ය.

ඔහුට ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කෙදිනකවත් ලෝක කුසලාන තරගයක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවේයැ යි නොසිතු බව පැවසූ කුමාර් ධර්මසේන, ටෙස්ට් ක්‍රිකට් තරග 100ක විනිසුරුවරයෙකූ ලෙස කටයුතු කිරීමෙන් පසු ක්‍රිකට් විනිසුරු දිවියෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බව ද එම සාකච්ජාවේ දී වැඩිදුරටත් පැවසීය.

ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස තැබූ වාර්තා

ලෝක කුසලාන අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ සහ ලෝක කුසලාන අවසන් මහ තරගයක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති ලොව එකම පුද්ගලයා ලෙස කුමාර් ධර්මසේනගේ නම වාර්තා පොත්වලට එක්ව ඇත.

ඔහු 2015 සහ 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරග දෙක මෙන්ම 2022 විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

2012 වසරේ දී සහ 2018 වසරේ දී ඔහු හොඳම ක්‍රිකට් විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍රවිය.

කුමාර් ධර්මසේන මේ දක්වා ටෙස්ට් තරග 79ක්, එක්දින තරග 118ක්, විස්සයි 20 තරග 42ක් සහ එක් කාන්තා එක්දින තරගයක් සඳහා විනිසුරුවරයෙකු ලෙස දායකත්වය ලබාදී තිබේ.