කුමාර් ධර්මසේනගේ තීන්දුවක් දැඩි විවේචනයට

Third Ashes Test
ඡායාරූප ශීර්ෂ වැකිය, එය සිය ජීවිතයේ දුටු වැරදි සහගතම තීන්දුවක් බව ඕස්ට්‍රේලියාවේ අගමැති කෙවින් රඩ් පවසයි

එංගලන්තයේ පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් ශූරතාවලියේ තුන්වැනි ටෙස්ට් තරඟයේදී කුමාර් ධර්මසේන විනිසුරුවරයා ලබා දුන් තීන්දුවක් ක්‍රිකට් ලෝකයේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

තරඟයේ තුන් වැනි විනිසකරු ලෙසින් ක්‍රියා කරන කුමාර් ධර්මසේන, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උස්මාන් කවාජා පිතිකරු දැවී ගිය බවට දුන් තීන්දුව සිය ජීවිතයේ දුටු වැරදි සහගතම තීන්දුවක් බව ඕස්ට්‍රේලියාවේ අගමැති කෙවින් රඩ් ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.

කවාජා ගේ පිත්ත පන්දුවේ ගැටුණු බව පිටියේ සිටි විනිසුරුවරයා තීන්දු කළ නමුත්, පිත්ත පන්දුවේ නො ගෑවුණු බවයි රූපවාහිනී තිරයේ ප්‍රති විකාශනය කිරීමේදී පැහැදිලිව පෙනී ගියේ.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විචාරකයන් ධර්මසේන විනිසුරුවරයා ගේ තීන්දුව දැඩි විවේචනයට ලක් කොට තිබේ.

එම තීන්දුව පිළිබඳව කරුණු පහදන මෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ද ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කොට තිබේ.