T20 ලෝක කුසලානය 2024: ඇමෙරිකාව පෙරලියක් කරයිද ?

ඡායාරූප මූලාශ්‍රය, Bangladesh Cricket
ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි පළපුරුදු බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලියේදී පෙරළිකාර ජයග්‍රහණයක් ලැබීමට ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම (මැයි 23 වැනිදා) සමත් විය.
ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය ආරම්භ වීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී බංගලාදේශ කණ්ඩායම දක්වන දක්ෂතා සම්බන්ධයෙන් එරට ක්‍රීඩා ලෝලීන් තුළ සැක සංකා මතුවී ඇත.
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී ඇමෙරිකානු කණ්ඩායම සෙසු කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් ගෙන දෙනු ඇති බවට මේ වන විට ක්‍රිකට් කේෂ්ත්‍රය තුළ කතා බහට ලක්වෙමින් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Bangladesh Cricket
බංගලාදේශයට මොකද වුණේ ?
ඇමෙරිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායම 2-0ක් ලෙස පරාජය විය.
පළමු විස්සයි 20 තරගයේදී ඇමෙරිකාව විසින් බංගලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 5 කිනි.
දෙවැනි විස්සයි 20 තරගයේදී ඇමෙරිකාව බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 06 කිනි.

ඡායාරූප මූලාශ්‍රය, Bangladesh Cricket
ප්‍රේක්ෂකයින් ගේ ප්‍රතිචාරය
ඇමෙරිකාවට එරෙහිව ලද විස්සයි 20 තරගාවලියේ පරාජයත් සමග බංගලාදේශ ක්‍රිකට් ලෝලීන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහන් වලට ප්‍රතිචාර දක්වමින් සිය අප්‍රසාදය සහ කණගාටුව පළකර තිබුණේ මේ ආකාරයෙනි.

වැඩි අවධානයක් හිමිකර ගත් ඇමෙරිකානු ක්‍රීඩකයින් කවුද ?
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති විස්සයි 20 තරගාවලියේදී ඇමෙරිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතාවයන් කැපී පෙනෙන මට්ටමක ඇති බව පෙනී ගිය කරුණක් විය.
පළපුරුදු බංගලාදේශ පිතිකරණ බල ඇණිය ඇමෙරිකානු පන්දු යවන්නන් විසින් පැවති T20 තරග දෙකේදී ලකුණු 160 සීමාව ඉක්මවීමට ඉඩ ලබා නොදීම මෙහිදී කැපී පෙනෙන කරුණක් වේ.
ඉන්දීය සම්භවයක් සහිත වමත් මද වේග පන්දු යවන ක්‍රීඩක සෞරබ් නෙට්ට්‍රවාල්කර්, පකිස්ථාන සම්භවයක් සහිත වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් සහ තුන ඉරියවු ක්‍රීඩක ස්ටීවන් ටේලර් ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර සිටියි.
එමෙන්ම නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩක කුරේ ඇන්ඩර්සන්, ඉන්දීය සම්භවයක් සහිත හර්මීට් සිං සහ මොනාන්ක් පටෙල් මෙන්ම ආරොන් ජෝන්ස් ද ඇමෙරිකානු කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කර සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, USA Cricket
පන්දු රැකීමේ අංශයෙන් ද ඇමෙරිකානු කණ්ඩායම දක්ෂතාවයන් පෙන්නුම් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව බංගලාදේශ කණ්ඩායම 9 වන ස්ථානයේත්, ඇමෙරිකාව 19 වන ස්ථානයේත් පසුවේ.









