T20 ලෝක කුසලානය 2024: උපන් භූමියෙන් බැහැරව වෙනත් රටවල් නියෝජනය කරන ක්‍රීඩකයින් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්දින තරගයක දෙවැනි වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස වාර්තා පොත්වල සඳහන් වන්නේ කලක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවේගකාරී පිතිකරු කුරේ ඇන්ඩර්සන්ය.
නමුත් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී කුරේ ඇන්ඩර්සන් තමන් නියෝජනය කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට සමුදීමෙන් අනතුරුව ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග එක්විය.
මෙවර ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන රටවල් 20ක සංචිතයන් හි ක්‍රීඩා කරන සිය උපන් බිමෙන් බැහැරව වෙනත් රටවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කවුද? මේ ඒ පිළිබදව කළ සොයා බැලීමයි.
ඇමෙරිකානු කණ්ඩායම
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පළමු වරට නියෝජනය කරන ඇමෙරිකාව මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය දරනු ලබයි.
මෙම ඇමෙරිකානු ජාතික ක්‍රිකට් සංචිතය සඳහා නම් කර තිබෙන බහුතරයක් ක්‍රීඩකයින් විදේශීය හෝ විදේශීය සම්භවයක් සහිත ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.
ඇමෙරිකානු කණ්ඩායමේ නායකයා වන මොනාන්ක් පටෙල් ඉන්දියාවේ ගුජරාට් හිදී උපත ලබා ඇති ක්‍රීඩකයකු වේ.
එමෙන්ම ඉන්දියාවේ උපත ලබා ඇති හර්මීට් සිං, මිලින්ද් කුමාර්, නිසාර්ග් පටේල් සහ සෞරාබ් නරේෂ් නේට්ට්‍රවල්කාර් ද ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කරති.
මීට අමතරව කැනඩාවේ උපත ලබා තිබෙන නිතිෂ් කුමාර්, පකිස්ථානයේ උපත ලබා ඇති ෂයාන් ජාහන්ගීර් සහ අලී ඛාන්, නවසීලන්තයේ උපන් කුරේ ඇන්ඩර්සන් සහ දකුණු අප්‍රිකාවේ උපන් ෂෙඩ්ලී ක්ලෝඩ් ද ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔස්ට්‍රේලියානු කණ්ඩායම
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර සිටින ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් මැද පෙළ ප්‍රවේගකාරී පිතිකරු ටිම් ඩේවිඩ් උපත ලබා ඇත්තේ 1996 වර්ෂයේ සිංගප්පුරුවේ දීය.
සිංගප්පුරුවේ උපත ලැබූවද ටීම් ඩේවිඩ් හැදී වැඩි ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වන අතර, ඔහු 2019 වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සිංගප්පුරු කණ්ඩායම නියෝජනය කරන ලදී.
2020-2021 බිග් බෑෂ් තරගාවලිය මෙන්ම IPL තරගාවලියේ දී පිතිකරුවෙකු ලෙස පෙන්වූ සාර්ථකත්වය මත ඔහුට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දොරටු විවර විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉංග්ලිෂ් උපත ලබා ඇත්තේ එංගලන්තයේ දීය.
වයස අවුරුදු 14ක් වන විට සිය මව්පියන් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණි ජොෂ්, ශ්‍රී ලංකාවට එරෙහිව 2022
වසරේ දී පැවති තරගවාරයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් හිමිකර ගන්නා ලදී.
කැනඩා ක්‍රිකට් කණ්ඩායම
මෙවර ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරනු ලබන කැනඩා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වෙනත් රටවල උපත ලබා ඇති අයවේ.
ඉන්දියාවේ උපත ලබා ඇති නවනීත් සිං, ෂෙරේස් මෝවා, දිල්ප්‍රීට් බජ්වා, පර්ගාත් සිං මෙන්ම පකිස්ථානයේ උපත ලබා ඇති සාද් බින් සෆර්, ජූනයිඩ් සිද්දීඛි සහ කලිම් සානා රෙහෙමාන් ද කැනඩා සංචිතයට නම් කර සිටිති.
මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි උපත ලබා ඇති නිකලස් රෂිඩ්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපත ලබා ඇති නිඛීල් දත්තා මෙන්ම ගයානා හි උපත ලබා ඇති ජෙරෙමි ගෝර්ඩ්න් සහ ඩිලන් හෙයිල්ගර් ද මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කැනඩාව නියෝජනය කරති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එංගලන්ත කණ්ඩායම
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරනු ලැබු එංගලන්ත සංචිතයේ සිටින වේග පන්දු ක්‍රීඩක ජෝෆ්ර ආචර් ඉපදී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදීය.
ඔහු ගේ පියා එංගලන්ත ජාතිකයෙකු වන අතර 2019 වසරේදී ප්‍රථම වරට එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.
ඔහුට අමතරව එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩ්න් ද උපත ලබා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලදීය.
අයර්ලන්ත කණ්ඩායම
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර තිබෙන අයර්ලන්ත සංචිතයට ජෝර්ජ් රෝස් අඩේර් උපත ලබා ඇත්තේ එංගලන්තයේ දිය.
එමෙන්ම අයර්ලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ග්‍රැහැම් ඉයන් සහ කර්ටීස් කැම්පර් උපත ලබා ඇත්තේ දකුණු අප්‍රිකාවේ ය.
නැමීබියානු කණ්ඩායම
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන නැමීබියානු සංචිතය සඳහා දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇති ක්‍රීඩකයින් තිදෙනෙක් නම් කර තිබේ.
එලෙස නම් කර ඇත්තේ ජෑන් නිකලස් ෆ්‍රේයිලින්ක්, ඩේවිඩ් වයිස් සහ රූබන් ට්‍රම්පල්මන් ය.
නෙදර්ලන්ත කණ්ඩායම
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී මෙවර නෙදර්ලන්ත කණ්ඩායමේ නායකත්වය දරනු ලබන ස්කොට් එඩ්වර්ඩ් ටෝන්ගා දුපත් හිදී උපත ලබා ඇති අතර ඔහු හැදී වැඩි ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ය.
ඔහු 2017 වසරේ සිට නෙදර්ලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.
මේ අතර දකුණු අප්‍රිකාවේ උපත ලබා එහි පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නියෝජනය කළ වෙස්ලි බැරේසී මෙන්ම සීබ්‍රාන්ඩ් එංගල්බ්‍රේට්, නවසීලන්තයේ උපත ලැබූ මැක්ස් ඕ' ඩෝව්ඩ්සහ ලෝගන් වෑන් බීක්, ඉන්දියාවේ උපත ලබා ඇති වික්‍රම්ජීට් සිං සහ තේජා නිඩිමන්රූ සහ එංගලන්තයේ උපත ලබා ඇති ෆ්‍රෙඩ් ක්ලාසන් ද මෙවර නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
නවසීලන්ත කණ්ඩායම
T20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙවර නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරනු ලබන කඩුලු රකින ක්‍රීඩක ඩේවෝන් කෝන්වේ උපත ලබා ඇත්තේ දකුණු අප්‍රිකාවේ දිය.
එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක මාර්ක් චැප්‍මන් උපත ලබා ඇත්තේ හොංකොං හිදීය.
මීට අමතරව දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇති ග්ලෙන් ෆිලිප්ස් සහ ඉන්දියාවේ උපත ලබා ඇති ඉෂ් සෝදී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඕමාන කණ්ඩායම
ඕමාන ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන බහුතර ක්‍රීඩකයින් උපත ලබා ඇත්තේ ඉන්දියාවේ සහ පකිස්ථානයේය.
එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ආකීබ් ඉල්යාස් උපත ලබා ඇත්තේ පකිස්ථානයේ ය.
ඔහුට අමතරව මෙහෙරාන් ඛාන්, නසීම් කුෂි, සීෂාන් මක්සූඩ්, මොහොමඩ් නදීම් , බිලාල් ඛාන්, අහමද් ෆයස්, කලීමුල්ලා සහ ෂකිල් අහමඩ් පකිස්ථානයේ උපත ලබා ඇති සෙසු ක්‍රීඩකයෝ වෙති.
එමෙන්ම ප්‍රතීක් සිරිකාන්ත්, කාශ්‍යප් හරිෂ්බායි, ෂොයිබ් ඛාන්, අයන් ඛාන් වැනි ක්‍රීඩකයින් ඉන්දියාවේ උපත ලබා ඇත.
පකිස්ථාන කණ්ඩායම
ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති පකිස්ථාන සංචිතයේ දඟ පන්දු යවන ක්‍රීඩක ඉමාඩ් වසීම් උපත ලබා ඇත්තේ බ්‍රිතාන්‍යයේ වේල්ස් හිදී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්කොට්ලන්ත කණ්ඩායම
ස්කොට්ලන්ත ජාතික කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩකයින් එංගලන්තයේ උපන් ක්‍රීඩකයින් වේ.
මැතිව් කෘස්, ඕලී හෙයාර්ස්, මිචෙල් ජෝන්ස්, ජෝර්ජ් මුන්සේ, චාර්ලි ටියර්,බ්‍රේන්ඩන් මැක්මුලන්, බ්‍රෑඩ්ලී කරි, ජැක් ජාර්විස්, සෆ්යාන් ෂාරිෆ්, ක්‍රිස් සෝලේ සහ මාර්ක් වට් එලෙස එංගලන්තයේ උපත ලබා ඇති ක්‍රීඩකයින් වේ.
කෙසේ වුවත් ස්කොට්ලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන රිචර්ඩ් බෙරින්ටන් ද, සෙසු ක්‍රීඩකයින් වන ක්‍රීස් ග්‍රීව්ස් සහ බ්‍රෑඩ් වීල් උපත ලබා ඇත්තේ දකුණු අප්‍රිකාවේ දීය.
උගන්ඩා කණ්ඩායම
මෙවර විස්සයි ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන උගන්ඩා කණ්ඩායමේ ද විදේශීය රටවල් වල උපන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුලත් වේ.
ඉන්දියාවේ උපන් අල්පේෂ් රවිලාල් රම්ජානි, දිනේෂ් නකරාණි සහ පකිස්ථානයේ උපත ලබා ඇති බිලාල් හසන්, රිසාත් අලී ෂා එම ක්‍රීඩකයින් වේ.
මෙවර ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව් දුපත් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් නියෝජනය කරනු ලබන්නේ දේශීය ක්‍රීඩකයින් ය.












