T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව හිමිකම් කියන මේ වාර්තා 6 ගැන ඔබ දන්නවාද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මේ වන විට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුව තිබේ.
2007 වසරේ දී ආරම්භ වූ ICC T20 ලෝක කුසලාන තරගාවලිය මේ දක්වා අවස්ථා 08 කදී පවත්වා තිබේ.
වරක් T20 ලෝක කුසලාන ශුරයින් ලෙසත් දෙවතාවක් අනුශුරයින් ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලංකාව ඉතිහාසයේ තබා ඇති තරග වාර්තා මොනවාද ?
මේ ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1. කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සහ විශාලතම ජයග්‍රහණය
විස්සයි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ දී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව පිළිබඳව වූ වාර්තාව ලියැවී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායාමේ නම ඉදිරියෙනි.
2007 වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා ශ්‍රී ලංකාව සහ කෙන්යා කණ්ඩායම සමග පැවති තරගයේදී එම වාර්තාව පිහිටුවීමට සමත්විය.
එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 260ක් රැස් කිරීමට සමත් විය.
එම තරගයේදී සනත් ජයසුරිය පන්දු 44 කදී ලකුණු 88ක්, මහේල ජයවර්ධන පන්දු 27 කදී ලකුණු 65ක් සහ ජෙහාන් මුබාරක් පන්දු 13 කදී නොදැවී ලකුණු 46ක් රැස් කිරීමට සමත් වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 88ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ලකුණු 172 කින් ජයග්‍රහණය කරනු ලැබීය.
මෙතෙක් T20 ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු පරතරය සහිත ජයග්‍රහණය ලෙස මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2. ප්‍රතිවාදී කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගත් කණ්ඩායම
T20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ දී සිය ප්‍රතිවාදී කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමේ වාර්තාව සතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නම ඉදිරියේ ය.
2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් නෙදර්ලන්ත කණ්ඩායම පන්දු වාර 10 යි පන්දු 3 කදී ලකුණු 39 කට දවා ගැනීමට සමත්විය.
එම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 කට කඩුලු 03ක් සහ අජන්ත මෙන්ඩිස් ලකුණු 12 කට කඩුලු 03ක් ද දවා ගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 05කදි එක් කඩුල්ලක් පමණක් දැවී එම තරගය ජයග්‍රහණ කළේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගයක අඩුම මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ තරගය ලෙස වාර්තා අතරට එක්වෙමින් වීම විශේෂත්වයක් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
03. පිතිකරණ අංශයේ දක්ෂතා
T20 ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියක දී වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවන් අතරින් දෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ හිටපූ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ය.
ඔහු 2009 වසරේ දී පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ දි තරග 07ක් තුළදී ලකුණු 317ක් රැස් කිරීමට සමත් විය.
ඩිල්ෂාන්ට වඩා ලකුණු 02ක් ලබා ගනිමින් ඉන්දීය පිතිකරු විරාට් කෝලි T20 ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට 2014 වසරේදී පැවති තරගාවලියේදී සමත් විය.
එම තරගාවලියේදී කෝලි තරග 06 කදී ලකුණු 319ක් රැස් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
04. ඉණිමක හොඳම පන්දු යැවීම
T20 තරගාවලියකදී පන්දු යවන්නෙකු විසින් වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවන් දෙකකට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් දෙදෙනෙකි.
2012 වසරේ සැප්තැම්බර් මස 08 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අජන්ත මෙන්ඩිස් විසින් ලකුණු 08 කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් විය.
එමෙන්ම 2014 වසරේදී රංගන හේරත් විසින් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 03 කට කඩුලු 05ක් දවා ගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
05. තරගාවලියක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා
විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියක දී පන්දු යවන්නෙකු විසින් දවා ගනු ලැබූ වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමිකම් කියනු ලබන්නේ වනිදු හසරංග ය.
ඔහු 2021 වසරේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේදී තරග 8 කදී පන්දු වාර 30ක් තුළ ලකුණු 180 කට කඩුලු 16ක් දවා ගැනීමට සමත්ව සිටියි.
එමෙන්ම T20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි ස්ථානයේ පසුවන වැඩිම කඩුළු සංඛ්‍යාවක් තරගාවලියකදී දවා ගත් පන්දු යවන්නා වන්නේ අජන්ත මෙන්ඩිස් ය.
ඔහු 2012 වසරේ දී පැවති T20 තරගාවලියේ දී තරග 06ක් තුල පන්දු වාර 24 කදී ලකුණු 144ක් පමණක් ලබා දෙමින් කඩුලු 15ක් දවා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
06. වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් පන්දු රකින්නා
T20 ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් පන්දු රකින්නා ලෙස වාර්තා අතර සිටින්නේ දසුන් ශානකය.
2022 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේ දී දසුන් ශානක තරග 08 කදී උඩ පන්දු 09ක් රැක ගැනීමට සමත්ව ඇත.













