T20 ලෝක කුසලානය: "දිනන්න තිබ්බ ලෝක කුසලානේ නැතිකරගෙන, දැන් උදම් අනලා වැඩක් නෑ"

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2014 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලි 30කට සහභාගී වුණත්, ඉන් ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවුණේ තරගාවලි 7ක් පමණි.

මේ තරගාවලි 30 අතරට ලෝක කුසලානයක් සහ ආසියානු කුසලාන තරගාවලියක් ද ඇතුළත් වූ නමුත්, එම තරගාවලිවල දී ද සැලකිය යුතු දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නැත.

එහිදී තරගාවලි දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදුන් නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයටවත් සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අසමත් විය.

අනෙක් තරගාවලි 20 ද ශ්‍රී ලංකාව පරාජය වූයේ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දැඩි පසුබෑමකට ලක්වෙමිනි.

එහි ප්‍රතිඑලය ලෙසට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි 10වන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවූ අතර, 2020දී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණදීමට ද ශ්‍රී ලංකාවට සිදුවිය.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලනයකට සහභාගී වීමේ අවස්ථාව අහිමිවීමේ තර්ජනයක ද ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටියි.

ක්‍රීඩා විචාරකයින් පැවසුවේ, 2014 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම දැඩි අස්ථාවර බවක් පෙන්නුම් කළේ කණ්ඩායමට ස්ථිර නායකයෙකුවත් පත්කර ගැනීමට නොහැකි වටපිටාවක බව යි.

ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, තිසර පෙරේරා, දසුන් ශානක, සහ කුසල් ජනිත් පෙරේරා අතට වරින් වර මාරු වූ නායකත්වය ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ අස්ථාවරත්වය පෙන්නුම් කරන කදිම සාධකයක් බව ඔවුන් පැවසීය.

මේ වසරේ මැදභාගයේදී ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩකයින් ඇතිකරගත් ගැටලුවත්, කුසල් පෙරේරා නායකයෙකු ලෙස අසාර්ථක වීමත් සමග, දසුන් ශානක නායකයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගනු ලැබීය.

දසුන් ශානක නායකයෙකු ලෙස ස්ථාවරබවක් පෙන්නුම් කළ අතර, ශ්‍රී ලංකාවේ සංචාරය කළ අත්දැකීම් අඩු තරුණ ඉන්දීය කණ්ඩායම තරග 2-1 ලෙස පරාජය කළේ ය. නමුත් ලෝක කුසලානයට පෙර පැවති දකුණු අප්‍රිකා තරගාවලිය 3-0ක් ලෙස පරාජය විය.

මේ තත්ත්වයත් සමග කෝවිඩ් වසංගතය හේතුවෙන් 2021 දක්වා කල්දැමූ 2020 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් විය. ඕමානය සමග පෙර සූදානම සඳහා තරගාවලියකට එක්වෙමින් එම තරගාවලිය සාර්ථක ලෙස නිමා කිරීමට ඔවුන්ට හැකිවිය.

මෙලෙස සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සියලු තරග ජයගනිමින් ශ්‍රී ලංකාව සුපිරි දොළහ වටයට පිවිසුණේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Criket

එහිදී වනිදු හසරංග, පැතුම් නිස්සංක ඇතුළු ක්‍රීඩකයින්ගේ දායකත්වය මැනවින් කැපී පෙනෙන බව ජනමාධ්‍යවේදියෙකු, ක්‍රිකට් පුහුණුකරුවකු, සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයෙකු වන රංජන් පරණවිතාන බීබීසී සිංහල සමග පැවසීය.

ඔහු මෙසේ ද පැවසීය: "2016 වසරේදී යොවුන් ලෝක කුසලානය නියෝජන කළ චරිත් අසලංක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු සහ ලහිරු කුමාර වැනි ක්‍රීඩකයින් මේ තරගාවලියේදී ජාතික කණ්ඩායමේ ස්ථාන තහවුරු කරගන්නට සමත්වූ වුණා."

"මේ තරගාවලියට එක්වන අවස්ථාවේදී සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට විසිවනු ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළත්, සමස්ථයක් ලෙස ඔවුන්ගේ දක්ෂතා ගැන සතුටු වෙන්න පුළුවන්. චරිත අසලංකගේ සහ පැතුම් නිස්සංකගේ දක්ෂතා විශිෂ්ඨ තත්ත්වයක පැවතීම අනාගත ගැන සුබ ලකුණක්."

සුපිරි දොළහ වටයේ දී තරග දෙකක් ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර තරග තුනක් පරාජය විය. ඉන් දකුණු අප්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම් සමග පැවති තරග ශ්‍රී ලංකාවට ජයගැනීමට තිබූ තරග බවයි ක්‍රිකට් විචාරකයන්ගේ මතය වූයේ.

සමාජ මධ්‍යයේ තැබූ සටහනක්

ඡායාරූප මූලාශ්‍රය, UGC

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ මධ්‍යයේ තැබූ සටහනක්

සමස්තයක් ලෙස ගත්කල, මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ශ්‍රී ලංකාවට අහිමි වූවත්, ඔවුන්ගේ දක්ෂතා ගැන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් දැඩි සතුටකින් අදහසක් පළකරනු දැකිය හැකි විය.

ලෝක කුසානයේ මේ දක්වා වැඩිම ලකණුලාභීන් අතර තුන්වන ස්ථානයට පත්වන්නට චරිත් අසලංක සමත්වූයේ තරග 6කදී ලකුණු 231ක් රැස්කරමින්. පස්වන ස්ථානයේ පසුවන්නේ තරග 8කදී ලකුණු 221ක් රැස්කළ පැතුම් නිස්සංක ය.

තරග 8කදී කඩුලු 16ක් දවාගත් වනිදු හසරංග මෙවර ලෝක කුසලානයේ මේ දක්වා වැඩිම කඩුලුලාභියා බවට පත්වුණේ, ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීමේ අංක එකට පත්වෙමිනි.

වැඩිම ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, Sri lanka cricket

ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එම ශ්‍රේණිගතකිරීමේ අංක එකට පැමිණියේ 2011දී අජන්ත මෙන්ඩිස් එම ස්ථානය අත්කරගැනීමෙන් පසුව වීම විශේෂත්වයකි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිබිදීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක හර්ෂ බෝග්ලේ දැක්වූ අදහස් ඔහුගේ ට්විටර් ගිණුමේ සටහන්ව තිබූ අයුරු.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ තරගාවලියට ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් එක්වූ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම් දක්ෂතා ගැන සුබවාදී බලාපොරොත්තුවකින් පසුවන බව පැවසීය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක අවසන් පූර්ව වටය අහිමිවීම ගැන අදහස් දක්වමින් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වන වනිදු හසරංග පැවැසුවේ, අවසන් එම වටය අහිමිවීම ගැන කණගාටුවක් ඇතත් තරුණ කණ්ඩායමක් ලෙස දැක්වූ දක්ෂතා පිළිබඳව සතුටු වෙමින් ලබන වසරේ ලෝක කුසලානයට සැලසුම් සකසන බවයි.

පිත්තෙන් සුපිරි දක්ෂතා දැක්වීමට නොහැකි වුවත්, නායකයා ලෙස කණ්ඩායම එක් අරමුණකට තබාගැනීමට තමන්ට හැකි බව දසුන් ශානක පෙන්නුම් කළ අතර, පැතුම් නිස්සංක, චාමික කරුණාරත්න, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ වැනි තරුණයෙන් සිය ස්ථානයන් තහවුරු කරගනන්ට මේ තරගාවලි දී සමත්වීයැ යි හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ලෝක කුසලානය ගැන පැවති සමාජ මාධ්‍ය සාකච්ඡාක දී පැවසීය.

නමුත් ඔවුන්ගේ ස්ථාන ඩැහැගන්නට එළියේ සිට අශේන් බණ්ඩාර, පුලින තරංග, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු මධුශංක, සහ හිටපු නයක ඇන්ජලෝ මැතිව්ස් වැනි ක්‍රීඩකයින් බලාගෙන සිටින බවත් ඔහු පැවසීය.

එමෙන්ම මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම අවම මට්ටමක පැවතීමද ක්‍රිකට් විරචාකයන්ගේ පැසසුමට ලක්විය.

මීට පෙර ඇතැම් සංචාරවලදී ක්‍රීඩකයින් හත් දෙනෙකු පමණම ආබාධවලට ලක්වූ අවස්ථා තිබූ අතර, මෙවර ලෝක කුසලානයේදී ආබාධයක් නිසා තරගාවලිය අහිමිවූයේ නුවන් ප්‍රදීප්ට පමණකි.

තරගාවලිය අතරතුරදී මහීෂ තීක්ෂණ ද ආබාධයකට ලක්වුවත්, ඔහුට සාර්ථක ලෙස නැවත තරගාවලියට පිවිසීමට හැකිවිය.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් කෙරෙහිද මෙවර තරගාවලියේදී ලෝක අවදානය යොමු වී තිබිණ. ඊට හේතුව වූයේ පැයට කිලෝමීටර 140ට වඩා වේගයෙන් පන්දු යැවීමට හැකි පන්දු යවන්නන් තිදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායම සතු වීමයි.

ඒ දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, සහ චාමික කරුණාරත්න යි. ඉන් ලහිරු සහ චාමික පැයට කිලෝමීටර 150ක වේගයෙන් පන්දු යැවීමද කැපී පෙනුණු බව විචාරකයින් පැවසීය.

ලහිරු කුමාරට මේ තරගාවලියේදී එතරම් සාර්ථක වීමට නොහැකි වුවත් සුදුසුකම් ලැබීමේ වටයේදී සුපිරි දක්ෂතාව පෙන්වීමට ඔහු සමත් විය.

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ විග්‍රහයක නිරතවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු අනුෂ සමරනායක බී.බී.සි. සිංහල සේවය සමගින් ප්‍රකාශ කළේ, මෙම ලෝක කුසලානය දෙස බලා හීන මවමින් සතුටු නොවන ලෙසයි.

ඔහු මෙසේ ද ප්‍රකාශ කළේ ය: "අපි පහළ තැනක ඉඳලා මේ තරගාවලිය හොදට ඉවර කළා. හැබැයි මේ අපි නැති කරගත්තේ අපිට දිනන්න තිබ්බ ලෝක කුසලානයක්. කොහොමත් මේ වගේ තරග පරදින්නේ අනූ නවයෙන් තමයි. එහෙම පරදින්න හේතුව අපි අත්දැකීම් තිබ්බ ක්‍රීඩකයින් අහිමිකර ගැනීම සහ ඔවුන් කණ්ඩායමට නම් නොකිරීම."

"විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ හොද අත්දැකීම් තියන ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වගේ ක්‍රීඩකයින් අපිට මේ ලෝක කුසලානයට කලින් සූදානම් කරලා අරන් ගියා නම්, අපිට ඔය පැරදුන තරග තුනම දිනන්න තිබ්බා. ඒ ක්‍රීඩකයන් නැති කරගෙන, දිනන්න තිබ්බ ලෝක කුසලානය නැති කරගෙන, දැන් උදම් අනලා වැඩක් නෑ," ඔහු පැවසීය.

"මේ වගේ අවස්ථාවක් ඊළඟ ලෝක කුසලානයේ එයි කියලා කියන්න බෑ. ඊළඟ ලෝක කුසලානය සෙල්ලම් කරන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒකයි මම කියන්නේ හීන මවලා සතුටු වෙන්න එපා කියලා. මම කියන්නේ මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ක්‍රීඩා නොකළත් අඩුම තරමේ සංචිතයේ හරි තියාගත්තා නම් ගොඩක් වැදගත් වෙන්න තිබ්බා."මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක දඟපන්දු යවන්නෙකු භාවිතා නොකිරීම ගැනත් අනූෂ සමරනායක දැඩි සේ විවේචනය කළේ ය.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබ්බ තණතිලි අයි.පී.එල්. තරගාවලි ක්‍රීඩා කරපු තණතිලි නිසා මන්දගාමී වෙලා තිබ්බේ. දඟපන්දු යවන්නන්ට හොද සහායක් ලබා දුන්නා. නමුත් අපි වනිදු සහ මහීෂ් තීක්ෂණ හැර වෙන දඟපන්දු යවන්නෙක් කණ්ඩායමේ තියාගත්තේ නැහැ. අනිවාර්යෙන් පුලින තරංග හෝ ප්‍රවීන් ජයවික්‍රම සංචිතයේ හිටියා නම් අපිට ඕස්ට්‍රේලියා තරගයේදී පාවිච්චි කරන්න තිබ්බා."

"ඒක බොහෝදුරට තරගයේ ප්‍රතිඑලය වෙනස් කරන්නත් තිබ්බා. අපේ සංචිතයේ වේග පන්දු යවන්නෝ 5ක් හිටියා, හැබැයි දඟපන්දු යවන්නෝ දෙන්නයි පාවිච්චි කළේ."

ලබන වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ගැන අනූෂ සමරනායක දැක්වූයේ මෙවන් අදහසකි: "ඊළඟ ලෝක කුසලානයේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඩුබායි, සාජා, අබුඩාබිවල කරපු දේවල් අපිට එහේ කරන්න බෑ. මේ ක්‍රීඩකයින්ගෙන් කවුරු හෝ ආබාධයකට ලක්වුණොත් මොකද කරන්නේ? ඒ නිසා අපි අතහැරලා ඉන්න මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් වැඩ ගන්න ඕන. ඒ හින්දා මම මේ සියලු දෙනාට කියන්නේ, මේ ප්‍රතිඵලය බලලා උදම් ඇනීමෙන් නම් යහපතක් නෑ කියලා."