ඔලිම්පික් ඉතිහාසයේ පැවති එකම සහ අවසන් ක්‍රිකට් තරඟය: ප්‍රංශයත් තරඟ කරලා

Sri Lanka cricket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අලුතින් හඳුන්වා දුන් ක්‍රීඩා කිහිපයක්ම, මේ වසරේ ඔලිම්පික් උළෙලට ඇතුලත් විය.

2008 බීජිං ඔලිම්පික් උළෙලට ඇතුලත් වුණු බේස්බෝල් ක්‍රීඩාව මේ වසරේදීත් ඊට ඇතුලත්ව තිබේ.

ඔලිම්පික් උළෙලට අලුතින් ක්‍රීඩා එකතු වෙද්දී ඇතැම් ක්‍රීඩා ඉන් ඉවත් වෙති.

2024 වසරේදී පැරීසියේ පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙලට 'බ්‍රේක් ඩාන්සින්' ඇතුලත් වනු ඇතැයි වාර්තා විය.

තවත් සමහරකුගේ ඉල්ලීම වී ඇත්තේ 'චියර් ලීඩින්', ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගත යුතු බවකි.

ඇතැම් විට නුදුරේදී එය ඔලිම්පික් උළෙලට ඇතුලත් විය හැක.

බේස්බෝල්, 'චියර් ලීඩින්' (Cheer leading) හෝ 'ස්කේට් බෝර්ඩින් (Skate-boarding) සහ සර්ෆින් (Surfing) වැනි ක්‍රීඩා ලොව සෑම රටකම දැකිය නොහැක.

එවැනි බොහොමයක් ක්‍රීඩාවන්ට පැහැදිලි ඇමරිකානු සම්භවයක් ඇත.

අතලොස්සක් රටවල පමණක් දක්නට ඇති එම ක්‍රීඩා ඔලිම්පික් උළෙලට ඇතුලත් වෙද්දී, මේ මහා ක්‍රීඩා සැණකෙළියට ක්‍රිකට් ඇතුලත් නොවුණේ මන්දැයි ඔබට සිතිය හැක.

ශ්‍රී ලංකාවට නොදෙවෙනිව ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් කර ගත් ඉන්දියානුවෝ දහස් ගණනක් එකී ප්‍රශ්නය 'ගූගල්' වෙතින් අසා ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට ඇතුලත් කළ යුතු බව නොව, එය කෙදිනක හෝ ඊට ඇතුලත් වුණි දැයි යන්න මේ ලිපිය මගින් සොයා බැලෙයි.

ක්‍රිකට් කණ්ඩායම් දෙකයි, එක තරඟයයි

ක්‍රිකට් ලෝක කුසලානය: මෙතෙක් පැමිණි ගමන් මග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගත්තේ 1996 වසරේදීය

ඔලිම්පික් උළෙල පළමු වරට සංවිධාන කරන විට ක්‍රිකට් ක්‍රීඩාව ඊට ඇතුලත් වීමට නියමිතව තිබිණි.

ඒ අනුව 1896 වසරේදී ක්‍රිකට් ඔලිම්පික් උළෙලට එක් කිරීමේ හැකියාවක් පැවතියත් තරඟාවලියට සහභාගී වීමට කණ්ඩායම් එවකට නොවුණු බැවින් එය අවලංගු විය.

ඉන් සිව් වසකට පසු, එනම් 1900 වසරේදී ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවද ඇතුලත් විය.

එහෙත් එම තරඟාවලිය පැවැත්වුණේ, අද වන විට ක්‍රිකට්වලට ඈතින්වත් නෑකම් නොකියන දේශයකදීය.

එදා මෙදාතුර ඉතිහාසයේ ඔලිම්පික් උළෙලේ කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන්නේ එක් වරක් පමණි.

ඒ ප්‍රංශයේදීය.

ක්‍රිකට්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පැරිසියේ පැවති දෙවෙනි ඔලිම්පික් උළෙලට ඇතුලත් වුණු ක්‍රීඩා 19 ක් අතර ක්‍රිකට් ද විය.

මුලින් කණ්ඩායම් හතරක් තණ නිල්ලට පිවිසීමට නියමිතව සිටියහ. නෙදර්ලන්තය, බෙල්ජියම, මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඒ අතර වූහ.

එහෙත් හදිසියේම නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුබා තරගාවලියෙන් ඉවත් වුණු අතර මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය පමණක් ඉතිරි විය.

මේ කණ්ඩායම් දෙක අතර එක් තරඟයක් පමණක් සංවිධානය කෙරුණු අතර එය අවසන් මහා තරඟය ලෙස ප්‍රකාශයට පත් විය.

අප කියන මේ තරඟයේ නීති, අදට වඩා තරමක් වෙනස්ය.

මේ ක්‍රිකට් කණ්ඩායම්වලට 11 දෙනෙක් නොව 12 දෙනෙක් ඇතුලත් වූහ.

සාමාන්‍ය ටෙස්ට් තරඟයක් දින පහක් පැවතියත් එම තරඟය දෙදිනකට සීමා විය.

ක්‍රිකට් ලෝක කුසලානය: මෙතෙක් පැමිණි ගමන් මග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායම් නායකයින්

මහා බ්‍රිතාන්‍ය නියෝජනය කළ කණ්ඩායම එරට ජාතික කණ්ඩායම නොවීය.

ඔවුන් එරට ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ කණ්ඩායමකි.

ඒ තබා ප්‍රංශ කණ්ඩායම පැරිසියේ පදිංචිව සිටි බ්‍රිතාන්‍ය නිලධාරීන් ද ඊට ඇතුලත් කර ගත්තේය.

ප්‍රංශය පරදවා මහා බ්‍රිතාන්‍ය ජය ලැබීය.

එහෙත් මේ තරඟයේදී කිසිඳු කණ්ඩායමකට රන් පදක්කම හිමි නොවීය.

බ්‍රිතාන්‍ය කණ්ඩායම රිදී පදක්කම දිනා ගත් අතර ප්‍රංශ කණ්ඩායම ලෝකඩ පදක්කමට හිමිකම් කීය.

සිහිවටනයක් ලෙස අයිෆල් කුළුනේ පිංතූරයක් කණ්ඩායම් දෙකමටම ලැබිණි.

මෙහි වඩාත් සිත්ගන්නා සුළු දේ නම් තමන් ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කරන බව කණ්ඩායම් දෙකම දැන නොසිටීමය.

කණ්ඩායම් දෙකම සිතා ඇත්තේ ඔවුන් 1900 වසරේදී ප්‍රංශයේ පැවැත්වීමට යෙදී තිබුණු ලෝක සල්පිල (World Fair) නමැති උළෙලට සහභාගී වන බවකි.

එය ලොව රටවල්, ජාතීන් වශයෙන් තමන් ලැබූ ජයග්‍රහණ විදහා දක්වන ජාත්‍යන්තර ප්‍රදර්ශනයකි.

ඒ තබා නිල ඔලිම්පික් වාර්තාවල පවා එම තරඟය පිළිගත්තේ දොළොස් වසරකට පසුය.

කණ්ඩායම් දෙක දිනා ගත් පදක්කම්, පිළිවෙලින් රන් සහ රිදී ලෙස ඉහළ නැංවීම එහිදී සිදුවුණි.

Sri Lankan Fans

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Sri Lankan Fans

1904 වසරේ ශාන්ත ලුවිස් හි පැවති ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුලත් කිරීමට සැලසුමක් තිබිණි.

එහෙත් ඊට ඇතුලත්වන කණ්ඩායම් වල අඩුව හේතුවෙන් එම සැලසුම අවලංගු කෙරුණු අතර එතැන් පටන් කිසිදාක ඔලිම්පික් උළෙලකට ක්‍රිකට් ඇතුලත් නොවුණි.

ඒ ඇයි?

ඇතැම් ක්‍රීඩා විශ්ලේෂකයන් පවසන පරිදි නූතන ඔලිම්පික් උළෙල ආරම්භයෙන් පසු, පස් දින ටෙස්ට් තරඟ සඳහා ඉඩක් ලබා දීම අපහසු කටයුත්තක් වීම ඊට හේතු වී ඇත.

එවක වැඩි වශයෙන් පැවැත්වුණේ ටෙස්ට් ක්‍රිකට් තරඟය.

එතරම් කාලයක් දිවෙන තරඟ පැවැත්වීමට පහසුකම් සැපයීම අපහසු කටයුත්තක් වූවා සේම එතරම් පිරිසක් තරඟ සඳහා ඉදිරිපත් වේදැයි යන සැකය නිසා ක්‍රිකට් ඔලිම්පික්වලින් ඉබේම ඉවත් වන්නට ඇතැයි ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී ෂරද්‍ කද්‍රේකා පැවසීය.

ඔලිම්පික්වලට අලුතින් ක්‍රීඩාවක් ඇතුලත් වන්නේ කෙසේද?

ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව

ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන පිරිස කෝටි සියය ඉක්මවුවත් එය ජනප්‍රියව පවතින්නේ රටවල් අතලොස්සක් අතර පමණි.

එම රසිකයන්ගෙන් අති බහුතරය ඉන්දීය උප මහාද්වීපයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් හතරට අයත් වෙති.

ඉන්දියාව හා සමානව ශ්‍රී ලංකාවේ ද ඇත්තේ ක්‍රිකට් උමතුවකි.

එහෙත් ජාත්‍යන්තර මට්ටමින් ටෙස්ට් වරම් ලබා ඇත්තේ රටවල් 10-11 ත් අතර සංඛ්‍යාවකි.

එනම් නිතර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් ඇත්තේ එපමණකි.

PERTH, AUSTRALIA - FEBRUARY 22: Sri Lankan fans show their support during the ICC Women's T20 Cricket World Cup match between New Zealand and Sri Lanka at the WACA on February 22, 2020 in Perth, Australia. (Photo by Paul Kane/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව හා සමානව ශ්‍රී ලංකාවේ ද ඇත්තේ ක්‍රිකට් උමතුවකි

මීට පෙර යම් ක්‍රීඩාවක් ඔලිම්පික්වලට ඇතුලත් කර ගන්නේ නම් එය තීන්දු කරනු ලැබුවේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසිනි.

එහෙත් දැන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් එම තීන්දුව ගැනීමේ වගකීම ලබා දී ඇත්තේ ඒ ඒ වර්ෂයේ උළෙල පැවැත්වෙන සත්කාරක රටවල ඔලිම්පික් සංවිධායක කමිටුවලටය.

එහෙත් ඒ සඳහා නියාමන නීති හඳුන්වා දී ඇත.

එනම් යම් ක්‍රීඩාවක් අලුතින් එක් කර ගැනීමේදී ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූලික පහසුකම් සපුරාලිය හැකි විය යුතුය.

වඩාත් වැදගත් දේ නම් එම රටේ ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් සංස්කෘතියක් පැවතිය යුතුය.

එනම් එක් ඔලිම්පික් උළෙලකට ඇතුලත් වෙන ක්‍රීඩාවක්, ඊළඟ ඔලිම්පික් උළෙලට ඇතුලත් නොවී තිබිය හැක.

ක්‍රිකට්වලට යළි අවස්ථාවක් හිමි වෙයිද?

olympics

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිසියේ පැවති දෙවෙනි ඔලිම්පික් උළෙලට ඇතුලත් වුණු ක්‍රීඩා 19 ක් අතර ක්‍රිකට් ද විය.

2024 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රංශයේ පැරිස් නගරයේය.

2028 ඔලිම්පික් උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතය.

ඇමරිකාව සහ ප්‍රංශය ක්‍රිකට්වලට නුහුරු රටවල්ය.

එම රටවල ක්‍රිකට් ජනප්‍රිය නොමැත. එබැවින් අනිවාර්යයෙන් ක්‍රීඩා පිටි සහ සෙසු මූලික පහසුකම් සම්බන්ධයෙන් සීමා පවතිනු ඇත.

ඉතින් මේ රටවල් ඔලිම්පික් සඳහා ක්‍රිකට් යෝජනා කිරීමට ඇති හැකියාව ඉතා අල්පය.

වෙනත් මගක් තිබේද?

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම (2020 මාර්තු)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම (2020 මාර්තු)

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුලත් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) උත්සහ ගනිමින් සිටී.

එම උත්සාහය සාර්ථක කරගනුවස් අයිසීසිය ඔලිම්පික් කමිටුවක් පත් කර ගෙන තිබේ.

ක්‍රිකට්, ඔලිම්පික්වලට ඇතුලත් කර ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබා ගැනීමට සිය රජයන්ට කොපමණ මුදලක් දැරිය හැකිද යන්න ජගත් ක්‍රිකට් සම්මේලනය ඒ ඒ රටවල ක්‍රිකට් ආයතනවලින් පසුගිය වසරේ ඔක්තොම්බරයේ ආසා තිබිණි.

ICC ය ඊට අදාළ ප්‍රශ්න මාලාවක් ක්‍රිකට් ආයතන වෙත ඒවා තිබේ.

ICC ය මීට පෙර ද ඊට උත්සාහ දරා ඇතත් එය සාර්ථක නොවීය.

එහෙත් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුලත් කර ගැනීමේ ඉලක්කය ජය ගැනීමට එම ආයතනය දැඩි ප්‍රයත්නයක් දරයි.

එමගින් ලොව පුරා ක්‍රිකට් ජනප්‍රිය වනු ඇතැයි ඔවුහු සිතති.

ඒ සම්බන්ධයෙන් ICC ය යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ක්‍රිකට්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන පිරිස කෝටි සියය ඉක්මවුවත් එය ජනප්‍රියව පවතින්නේ රටවල් අතලොස්සක් අතර පමණි

ක්‍රිකට් ඊට ඇතුලත් කළහොත්, ඉන්දීය උප මහාද්වීපය පුරා විසිර සිටින ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් රසිකයන් ඔලිම්පික් වෙත ඇද ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බව යෝජනාවේ සඳහන් වෙයි.

ලොව පුරා ක්‍රිකට් රසිකයන් කෝටි සියයකට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඉන් 92% ක් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංගලාදේශයට අයත් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

එබැවින් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් නිසා විශාල ජනප්‍රියත්වයක් හිමිවනු ඇතිවාට සැකයක් නැත.

(BBC මරාති සේවයේ පළ වූ ලිපියක් ඇසුරෙනි)

මේ ගැනත් කියවන්න