ක්‍රිකට් ලෝක කුසලානය: ඉතිහාසයේ වාර්තා වූ විශිෂ්ටතම තරග දහය

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් පැවති තරඟාවලි 11 අතරතුර අමතක නොවන සුවිශේෂී තරඟ රැසක් පවතී.

බීබීසී Stumped වැඩසටහන මගින් නම් කරන ලද ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම තරඟ 10ක් පිළිබඳව මෙම ලිපිය මගින් ඔබේ මතකය අවදි කරයි.

10. නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර - 2015

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක කුසලාන අවසන් තරඟයකට පළමු වරට සුදුසුකම් ලැබීම සඳහා කණ්ඩායම් දෙකට ම ලැබී තිබුණු අවස්ථාවක් සහිත මෙම තරඟය අවසන් පන්දු වාරය තෙක් විවෘතව පැවතියේය.

වර්ෂාව ඇද හැළීමෙන් පසු පන්දු වාර 43කදී ලකුණු 298ක් හඹා යමින් සිටි නවසීලන්තය 22 වන පන්දු වාරය වන විට ලකුණු 149කට කඩුලු 4ක් බිඳ වැටී අසරණ තත්ත්වයක පසු විය. එහෙත්, ග්‍රාන්ට් එලියට් සහ කොරී ඇන්ඩර්සන් යළි නවසීලන්තයේ බලාපොරොත්තු දැල්වූහ.

පන්දු දෙකකදී ලකුණු 5ක් අවශ්‍යව සිටි මොහොතේ ග්‍රාන්ට් එලියට්, දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ගේ පන්දුවකට 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් තරඟයට රැගෙන ගියේය.

"මගේ ජීවිතයේ මුහුණ දීපු වැඩි ම පීඩනය ඒක. ඒ අවස්ථාව මට වීරයෙකු හෝ පරාජිතයෙකු වෙන්න තිබුණු අවස්ථාවක්," ග්‍රාන්ට් එලියට් ආවර්ජනය කළේය.

"අවසාන පන්දුව දක්වා බලාගෙන ඉන්න මට බැරි වුණා. මොන පන්දුවක් ආවත් ඒකට ගහන්නයි මම හිටියේ. මගේ වාසනාවට ඒක හොඳ තැනකට වැටුණා. තරඟාවලිය ආරම්භයේ ඉඳන් ම අත්පත් කර ගන්න බැහැයි කියලා හිතපු දෙයක් අත්පත් කර ගත්තා ම දැනුණේ කියා ගන්න බැරි හැඟීමක්."

09. පාකිස්තානය සහ එංගලන්තය අතර - 1992

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ වසීම් අක්‍රම් ලෝක කුසලාන තරගාවලියක පළමු සම්මානය (තරඟයේ හොඳ ම ක්‍රීඩකයා) හිමි කර ගනිමින් එංගලන්තයේ බලාපොරොත්තු සුන් කළේ මෙම සුවිශේෂී තරඟයේදීය.

මෙල්බර්න්හි පැවති මෙම තරඟයේදී ඉම්රාන් ඛාන්ගේ සහ ජාවෙඩ් මියෙන්ඩාඩ්ගේ අර්ධ ශතක හේතුවෙන් පාකිස්තානය කඩුලු 6කට ලකුණු 249ක් රැස් කළේය.

එංගලන්තය සාර්ථකව සිය ඉනිම ආරම්භ කළ ද වසීම් අක්‍රම් යැවූ ඇතුළට දෝලනය වුණු යෝකර් පන්දුවලට මුහුණ දීමට එංගලන්ත පිතිකරුවන්ට පහසු නොවීය. එය ලෝක කුසලාන අවසන් තරඟයකදී එංගලන්තය ලැබූ තෙවන පරාජය විය.

"අපි ලහෝර්වලට ආවට පස්සේ, සාමාන්‍යයෙන් විනාඩි 20කින් යන ගමනට පැය 7ක් ගත වුණා," වසීම් අක්‍රම් පැවසීය.

"පාරවල් සම්පූර්ණයෙන් මිනිස්සුන්ගෙන් පිරිලා තිබුණේ. ඒක අපේ හීනයක්. මම ඒ වගේ දෙයක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. මම හිතන්නේ මට ආයේ එහෙම දෙයක් දකින්නත් බැරි වෙයි."

08. ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර - 1987

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔස්ට්‍රේලියාව ඉන්දියාවට එරෙහිව යාන්තමින් එක් ලකුණකින් ලබා ගත් ජයග්‍රහණය නැරඹීමේ අවස්ථාන චෙන්නායි ක්‍රිකට් ලෝලීන්ට උදා විය. මෙම තරඟය පැවැත්වුණේ, මූලික තරඟ වටයේදීය.

ලකුණු 271ක ජයග්‍රාහී ඉලක්කයට ළඟා වීම සඳහා ඉන්දියාවට අවශ්‍ය වූයේ, පන්දු දෙකකට ලකුණු දෙකකි. එහෙත්, එවකට වයස අවුරුදු 22ක පසුවූ නවක ක්‍රීඩක ස්ටීව් වෝ ඉන්දීය පිතිකරු මහින්දර් සිං දවා ගනිමින් තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට ලබා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ ඩීන් ජෝන්ස් තමන්ට සිදුවූ වැරැද්දක් නිවැරදි කර ගැනීම සඳහා ක්‍රියා නොකළේ නම් තරඟයේ ප්‍රතිඵලය මුළුමනින් ම වෙනස් වන්නට ඉඩ තිබිණි.

"මම මහින්දර් සිං එවපු පන්දුවකට පහරක් එල්ල කළා. ඒ වෙලාවේ හතරේ සීමාවට ඉහළින් ආව පන්දුව රකින්න හිටියේ රවී ශාස්ත්‍රී. මම හොඳින් ම දැක්කා පන්දුව එයාගේ අත්වලට උඩින් හතරේ සීමාව උඩින් ගිය බව. ඒත් රවී කිව්වේ ඒක 4 පාරක් කියලා."

"මම ඒ වෙලාවේ විනිසුරු විදිහට හිටිය ඩිකී බර්ඩ් දිහා බැලුවා. එයා කිව්වේ පන්දු රකින්නා කියන දේ අනුව එයාට තීරණය දෙන්න වෙනවා කියලා."

"මම ඊට ටික වෙලාවකට පස්සේ අවුට් වුණා. මම කෙලින් ම තරඟ තීරක හනිෆ් මොහොමඩ් ළඟට දුවගෙන ගියා. මම ඔහුට පැමිණිලි කළා. එයා කිව්වා ඉනිම ඉවර වුණා ම ඒ ගැන කතා කරමු කියලා."

"අපේ ඉනිම ඉවර වුණාට පස්සේ ඩිකී බර්ඩ් ඉන්දියා කණ්ඩායමේ ඩ්‍රෙසිං රූම් එකට ගිහින් රවී ශාස්ත්‍රීගෙන් ආපහු ඇහුවා. ඊට රවී ශාස්ත්‍රී කිව්වා එහෙනම් එයාට 6ක් දෙන්න කියලා. ඒකෙන් පස්සේ අපේ ලකුණු සංඛ්‍යාව 268 ඉඳලා 270 දක්වා වැඩි වුණා."

ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ ලකුණු 269ක් ලබා සිටියදීය.

"ඒ වගේ දෙයක් ඊට කලින් වෙලා තිබුණ කියල මම හිතන්නේ නැහැ."

07. ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර - 1983

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම තරගය රූපවාහිනියෙන් විකාශය නොවුණ ද කපිල්ගේ තරඟය ලෙසින් ක්‍රිකට් ලෝලීන්ගේ මනසේ කාවැදී තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ කෝඩුකාරයින් වූ සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 17ක් බවට පත් කර තිබිණි. ඉන්දියාව අසරණ තත්ත්වයක පසු විය.

එහෙත්, ඉන්දීය නායක කපිල් දේව් මානසිකව අසරණ වී සිටියේ නැත. පන්දු 138කදී ඔහු නොදැවී රැස් කළ ලකුණු 175 නිසා ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 266ක් බවට පත්විය.

"අපි කෑමට තරගය නැවැත්තුවේ පන්දු වාර 40ක් අවසන් වුණාට පස්සේ. එතකොටත් ඉන්දියාව කඩුලු 7කට ලකුණු 100යි ලබාගෙන තිබුණේ. පාලනය අපේ අතේ තිබුණේ. ඒත් කපිල් ඔක්කොම වෙනස් කළා," කපිල් දේව්ගේ දැවැන්ත ඉනිම වඩාත් සමීපව නැරඹූ එම තරඟයේ සිම්බාබ්වේ කඩුලු රකින්නා වූ ඩේව් හවුටන් මතකය අවදි කළේය.

"එයා එක බෝලයක්වත් අත හැරියේ නැහැ. ගහපු හැම පහරක් ම එක්කෝ බුලට් එකක් වගේ බිම දිගේ හතරේ සීමාව පසු කළා. නැත්නම් මිසයිලයක් වගේ හයේ සීමාව උඩින් ගියා. එයා කිසි ම අවස්ථාවක් දුන්නේ නෑ අපිට."

06. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර - 2011

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2011 වසරේ අවසන් තරඟයේ දී ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ රටේදී ම සිය ක්‍රීඩා ලෝලීන්ට ජයග්‍රහණයක් අත් කර දුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 274ක් රැස් කළ අතර එම ලකුණු හඹා යාම සඳහා නායක මහේන්ද්‍ර සිං දෝනි 5 වන පිතිකරු ලෙස පිටියට පිවිසියේය.

මුම්බායිහි වන්කඩේ ක්‍රීජාංගණයේදී පැවති එම තරගයේදී ගෞතම් ගම්භීර් ලකුණු 97ක් රැස් කළ අතර දෝනි පන්දු 79කදී ලකුණු 91ක් රැස් කළේය. ඔහු ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ 6 පහරකිනි.

"ඉන්දියා කණ්ඩායමත් එක්ක ගත කරපු අවුරුදු 3ක කාලය විශිෂ්ටයි," එවකට ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ ගැරී කර්ස්ටන් පැවසීය.

"ඔවුන් ගොඩක් දක්ෂ කණ්ඩායමක්. අපි ලෝක කුසලාන තරගාවලියේ සාර්ථක වීම් සහ අසාර්ථක වීම් මැද කණ්ඩායම එකතු වෙලා හොඳින් ඉදිරියට ආවා."

බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර - 1983

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

1983 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරගයේ ප්‍රතිවාදියා ලෙස ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිටි හෙයින් ඉන්දියාවට ජය ගත හැකි වනු ඇතැයි සිතුවේ අතලොස්සක් පමණි. විශේෂයෙන් ම පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණුඩායමේ සියලු කඩුලු ලකුණු 183කදී දැවී යාමෙන් පසු සියලු බලාරොත්තු බිඳ වැටිණි.

නායක කපිල් දේව් මෙවර ද මෙම ඓතිහාසික ජයග්‍රහණය හමුවේ සිය දක්ෂතාව විදහා පෑවේය.

සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි විවියන් රිචර්ඩ්ස් දවා ගැනීම සඳහා කපිල් දේව් රැක ගත් විශිෂ්ට උඩ පන්දුව නිසා තරඟය ඉන්දීය කණ්ඩායම දෙසට හැරිණි.

"අපි දැනගෙන හිටියා විවියන් කියන්නේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් කියන එක. ඔහු නිකම් ඉන්නේ නැති බවත් අපේ පන්දු යවන්නන්ට හොඳින් පහර දෙන බවත් අපි දැනගෙන හිටියා," එම තරඟාවලියේ වැඩි ම කඩුලු දවා ගත් ඉන්දීය ක්‍රීඩක රොජර් බිනී පැවසීය.

"ඒත් විවියන් ගහපු බෝලේ හරි ම කෙනා ළඟට ගියා. කපිල් දේව් අතිදක්ෂ පන්දු රකින්නෙක්. ඔහු ඒක අත හැරියේ නැහැ."

"ඒක අපේ සිහිනයක් සැබෑ වීමක්. අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කළා කියන එක දැනෙන්න අපිට ටික වෙලාවක් ගත වුණා. ඒ කාලය වෙනකොට ඔවුන්ව පරාද කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඔවුන් හිටියේ. අපි රට වෙනුවෙන් ඒ දේ කළා."

04. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර - 1996

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එය තවත් අවසන් තරඟයක් විය. එමෙන් ම ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කිරීම අනපේක්ෂිත සිදුවීමක් විය. ශ්‍රී ලංකාව මේ දක්ෂතාව දැක්වූයේ, අයිසීසී සාමාජිකත්වය ලැබීමෙන් වසර 15ක් වැනි කෙටි කලකට පසුවය.

පිත්තෙන් නොදැවී ලකුණු 107ක් රැස් කරමින් සහ පන්දු යැවීමෙන් කඩුලු 3ක් බිඳ හෙළමින් අරවින්ද ද සිල්වා වීරයෙකු බවට පත් විය.

එම ජයග්‍රහණය පසුපස නායක අර්ජුණ රණතුංග සිටි අතර තරඟයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ ද ඔහුය.

"අපි පහුවදා ම ශ්‍රී ලංකාවට ආවා. ගුවන් තොටුපළේ ඉඳලා ම උත්සව තිබුණා," එම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හෂාන් තිලකරත්න පැවසීය. "අපි ශ්‍රී ලංකාවට ගිය ගමන් ගුවන් තොටුපළේ ලොකු පිළිගැනීමේ උත්සවයක් තිබුණා. ඊට පස්සේ අපිට කිව්වා ජනාධිපති මන්දිරයට යන්න කියලා."

"අපි එහේ යන අතරමග අපිට සුබ පතන්න පාර දිගට ගොඩක් ක්‍රීඩා ලෝලීන් රැස් වෙලා හිටියා. ඒක පුදුමාකාර සතුටක්. ඊට පස්සේ සතියක් විතර උත්සව තිබුණා."

03. අයර්ලන්තය සහ එංගලන්තය අතර - 2011

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

2011 මාර්තු 2 වන දා බැංගලෝර්හි පැවති තරගයේදී අයර්ලන්ත පිතිකරුවෙකු ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර එංගලන්තය පරාජය කිරීමට අයර්ලන්තය සමත් විය.

කෙවින් ඕ'බ්‍රයන් පිටියට පිවිසෙන විට අයර්ලන්ත කණ්ඩායම කඩුලු 5කට ලකුණු 111ක් පමණක් ලබා සිටි අතර ඔහු පන්දු 50කින් රැක් කළ ශතකය සුවිශේෂී එකක් විය.

එංගලන්ත ප්‍රබල පන්දු යවන්නන්ට පහර පිට පහර දෙමින් කෙවින් ඕ'බ්‍රයන් ගොඩ නැගූ ඉනිම හේතුවෙන් පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ලකුණු 328ක සීමාව පසු කිරීමට අයර්ලන්තයට හැකි විය.

"මම ගහපු හැම පාරක් ම වගේ පිත්තේ මැද්දට ම වැදුණා. මැද්දේ වැදුණේ නැති ඒවා පන්දු රකින්නන්ගේ ඔළුවට උඩින් ගියා," කෙවින් ඕ'බ්‍රයන් පැවසීය.

"ඇන්ඩෲ ස්ට්‍රෝස් මගේ උඩ පන්දුවක් අත ඇරියා මම 91ක් ගහලා ඉන්නකොට. ඒ නිසා ඒ වෙලාවේ වාසනාවත් බලපෑවා. ලොකු තරගාවලිවලදී වාසනාවත් තියෙන්න ඕන. මටත් මගේ කණ්ඩායමටත් ඒ වාසනාව එදා තිබුණා."

2. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර - 1999

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම අසාමාන්‍ය තරගය වසර 20ක් ගත වී තිබුණ ද විශ්වාස කළ නොහැකි අවසානයකට හිමිකම් කියයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් තරගයට පළමු වරට පිවිසීම සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ලකුණු 9ක් අවශ්‍ය වී තිබිණි. ලාන්ස් ක්ලූස්නර් පළමු පන්දු දෙකට 4 පහර එල්ල කිරීමට සමත් විය. ලකුණු සමවූ අතර තරඟයේ ජය දකුණු අප්‍රිකාව දෙසට ළඟා වී තිබිණි.

එහෙත්, සිව් වන පන්දුවේදී අවසන් පිතිකරු ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවී යාමකට හසු වීමෙන් දකුණු අප්‍රිකානු බලාපොරොත්තු බිඳ වැටිණි.

"මම දන්නේ නෑ ලාන්ස් ක්ලූස්නර් දුවන්න කිව්වා ද කියලා. ඒත් ඇලන් දුවන්න පටන් ගත්තා," ඇලන් ඩොනල්ඩ් දුවද්දී දවා ගැනීමට දායක වූ ඩේමියන් ෆ්ලෙමිං සිය මතකය අවදි කළේය. "පන්දුව මගේ දකුණු අතට ළඟින් තිබුණේ. ඒ නිසා ඩොනල්ඩ් එයාගේ සීමා ඉරේ හිටියා. මම පන්දුව අහුලගෙන හෙමින් ඇඩම් ගිල්ක්‍රිස්ට් දිහාට විසි කළා."

"ගිල්ක්‍රිස්ට් ඒක අරගෙන විකට් එක කැඩුවා."

01. ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර - 1975

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම තරග 10

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ලයිව් ලොයිඩ්

පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය සුවිශේෂී එකක් විය.

ක්ලයිව් ලොයිඩ්ගේ විශිෂ්ට ශතකයත් විවියන් රිචර්ඩ්ස්ගේ දර්ශනීය පන්දු රැකීමත් හමුවේ කොදෙව්වන්ට එහි ජය හිමි විය.

"ඒක ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා හොඳ දිනයක් වුණා," එම තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවූ ඉයන් චැපල් පැවසීය. "හොඳ ම කණ්ඩායම් දෙක අවසන් තරගයට ක්‍රීඩා කළේ."

"අපි ගොඩක් ක්‍රීඩා ලෝලීන්ට සතුටක් දුන්නා," ක්ලයිව් ලොයිඩ් පැවසීය. "ඒක සතුටු දවසක්. ඒ වගේ ම ඒ තරගය ගැනත් සතුටුයි. අපි එදා ගොඩක් සතුටු වුණා. ඒ කාලේ සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන්ට පවා ප්‍රවේශ පත්‍රයක් ගන්න හැකියාව තිබුණා. ඒ නිසා බටහිර ඉන්දීය කොදෙව්වන් විශාල පිරිසක් තරගය බලන්න ඇවිත් හිටියා. අපිට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න ඒක හේතුවක් වුණා."

BBC Stumped වැඩසටහනේ සෑම් ෂෙරින්හැම් (Sam Sheringham) විසින් සකස් කරන ලද ලිපියකි.