බිකිනිය වෙනුවට කොට කලිසම ඇන්දොත් දඩ

බිකිනියේ පහළ කොටස වෙනුවට කොට කලිසමක් ඇඳීම නිසා දඩ ගෙවන්නට සිදුවූ ක්‍රීඩිකාවන් පිරිසක් පිළිබඳව යුරෝපයෙන් වාර්තා වෙයි.
මෙය සිදුවූයේ අත් පන්දු (වෙරළ) යුරෝපා ශූරතාවලිය (Handball) සඳහා රටවල් දෙකක් අතර පැවති තරඟයකදී ය.
මෙම තරඟයට සහභාගි වූ නෝර්වීජියානු ක්‍රීඩිකාවන් සිය ඇඳුමේ පහළ කොටස සඳහා තෝරාගෙන තිබුණේ කොට කලිසමයි.
යුරෝපා අත්පන්දු සම්මේලනය කියා සිටියේ "යෝග්‍ය නොවන ඇඳුමකින්" සැරසීමේ සිද්ධියක් නිසා ඔවුනට දඩ නියම කිරීමට සිදුවූ බවය.
නෝර්වේ රාජ්‍යය නියෝජනය කළ ක්‍රීඩිකාවන්ට පැනවූ මුළු දඩ මුදල යුරෝ 1,500 කි.
මෙම ක්‍රීඩිකාවන් බිකිනියේ පහළ කොටස වෙනුවට කොට කලිසමක් ඇන්දේ ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව ලෝකඩ පදක්කම සඳහා පැවති තරඟයක දීය. එය පැවැත්වුණේ බල්ගේරියාවේ, වර්නා වෙරළේදී ය.
කෙසේ වෙතත්, තම ක්‍රීඩිකාවන්ට දඩ මුදලක් නියම කළහොත් එය ගෙවීම තමන් භාරගන්නා බව නෝර්වීජියානු අත්පන්දු සම්මේලනය කලින් ම ප්‍රකාශ කර තිබුණි.
යුරෝපා අත්පන්දු සම්මේලනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ "එක් ක්‍රීඩිකාවකට යුරෝ 150 බැගින් වන පරිදි, යුරෝ 1,500ක සමස්ත දඩ මුදලක්" පැනවූ බවය.
නෝර්වේ රාජ්‍යය නියෝජනය කරමින් මෙම තරඟය සඳහා සහභාගි වූ ක්‍රීඩිකාවන් කොට කලිසමක් ඇඳීම, "වෙරළ මත අත්පන්දු ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩිකාවන් ඇඳිය යුතු බවට ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනය නියම කර ඇති නිල ඇඳුමට අනුරූප නොවන" අතර එය තරඟයේ නීතිරීතිවලට පටහැනි බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.
'ඉවසුවා හොඳටම ඇති!'
AFP පුවත් සේවයට නෝර්වීජියානු අත්පන්දු සම්මේලනයේ ප්‍රධානියා වන කාරේ ජෙයර් ලියෝ ප්‍රකාශ කර තිබුණේ පනවා ඇති දඩ මුදල් ගෙවීමට කටයුතු කරන නමුත්, කණ්ඩායම අඳින ඇඳුම තීරණය කිරීම සඳහා ප්‍රාමාණික නීති රාමුවක් තුළ ස්වයං තීරණයක් ගැනීමේ හැකියාව පැවතිය යුතු බවය.
"වඩාත්ම වැදගත් වන්නේ ක්‍රීඩිකාවන්ට පහසු දේ සැපයීමයි."
දඩ මුදලක් පැනවූ බව නිවේදනය වීමෙන් අනතුරුව නෝර්වේ අත්පන්දු සම්මේලනය පැවසුවේ, "යුරෝපා අත්පන්දු ශුරතා තරඟාවලිය අතරතුර 'ඉවසුවා හොඳටම ඇති!' යැයි දැනුම්දීම සඳහා හඬ නැඟූ මෙම ගැහැණු ළමුන් පිළිබඳව අප ආඩම්බර වෙනවා," යනුවෙනි.
"නෝර්වේ රාජ්‍යයේ අත්පන්දු සම්මේලනය හැටියට අප ඔබ සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටිනවා. ක්‍රීඩිකාවන්ට පහසු ඇඳුම තෝරාගෙන ක්‍රීඩා කිරීමට හැකි වන අයුරින් නීති රීති වෙනස් කර ගැනීම සඳහා ඉදිරියටත් අප එක්වී සටන් කරනවා."
තම ක්‍රීඩිකාවන්ට කොට කලිසමකින් සැරසී ක්‍රීඩා කිරීම සඳහා අවසර ගැනීමට නෝර්වේ බලධාරීන් මෙම ශුරතා තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම යුරෝපා අත්පන්දු සම්මේලනය හමුවට පැමිණ ඇති නමුත් ඔවුන් පවසා ඇත්තේ එය තරඟ නීති උල්ලංගනය කිරීමක් වන අතර දඬුවම් නියම කළ හැකි වරදක් බවය.
දැනට පවතින නීති සංශෝධනය කරන ලෙස ඉල්ලා නෝර්වේ බලධාරීන් ඉදිරිපත් කර ඇති මෝසම ඉදිරි මාස කීපය ඇතුළත සාකච්ඡාවට ගැනීමට නියමිතය.
ආත්ම ගෞරවය
මේ පිළිබඳව අදහස් දක්වමින් යුරෝපා අත්පන්දු සම්මේලනයේ ප්‍රකාශක කියා සිටියේ තම සාමාජිකයන් වෙනුවෙන් මෙම මාතෘකාව ඉදිරියට ගෙන යාමට කැපවී සිටින නමුත් නීතිරීති වෙනස් කිරීම සිදුකරනු ලැබිය යුත්තේ ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනය විසින් බවය.
වෙරළ මත පැවැත්වෙන ක්‍රීඩා තරඟ සඳහා බිකිනිය ඇඳීම මගින් ආත්ම ගෞරවය කෙලෙසන බවටත් එය ප්‍රයෝගික නොවන බවටත් ඇතැම් ක්‍රීඩිකාවන් මතු කරන කාරණය වසර කීපයක් පුරා විවාදයට තුඩු දී තිබුණි.
ඉහත කී දඩ මුදල පැනවීමත් සමඟ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නෝර්වේ රාජ්‍යයේ ක්‍රීඩා හා සංස්කෘතික ඇමති අබිඩ් රාජා කියා සිටියේ "එය සම්පුර්ණයෙන්ම හාස්‍යජනක" තීරණයක් වන අතර ජාත්‍යන්තර ක්‍රීඩා ලෝකය තුළ "ආකල්පමය වෙනසක්" ඇතිවිය යුතු බවය.
මෙවැනි යුගයක, මෙවැනි කාරණයක් "ප්‍රශ්නයක් විය යුතු තරම්වත් නොවේ" යැයි, මෙම තීරණය විවේචනයට ලක්කළ නෝර්වීජියානු වොලිබෝල් සම්මේලනයේ සභාපති එරික් සොර්දහල් එරට ජාතික පුවත් සේවයට පැවසීය.








