ශ්‍රී ලංකාවට තීරණාත්මක අභියෝගයක්

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක කුසලාන 2021 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට පළමුවන කාණ්ඩයේ සිය අවසන් තරග දෙකම ජයග්‍රහණය කිරීමට සිදුවේ.

ඒ අනුව අද එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වන අතර, සෙසු තරග ප්‍රතිඵල දෙස ද බලාපොරොත්තු දල්වාගෙන බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවන ඇතැයි ක්‍රීඩා විශ්ලේෂකයින් පවසයි.

ප්‍රසාද ලකුණු සටහන

මේ වන විට තරග 03ක් ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව, සුපිරි 12 දෙනාගේ වටයේ එක් තරගයක් පමණක් ජය ගනිමින් දළ ලකුණු වේගය -0.350ක් සමග ප්‍රසාද ලකුණු 02ක් ලබා සිටියි. ඕස්ට්‍රේලියාවට හා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ තරගවලින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

දැනට 01 කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. ඒ, ඔවුන් මුහුණුදුන් තරග 03ම ජය ගනිමිනි. ප්‍රසාද ලකුණු 06ක් ලබා සිටින එංගලන්යේ දළ ලකුණු වේගය +3.948 කි.

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව තරග 02 බැගින් ජය ගෙන ප්‍රසාද ලකුණු 04 බැගින් ලබා ඇත.

වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා

ඡායාරූප මූලාශ්‍රය, ICC T20 WC

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහළම ලකුණු ලබාගත් ක්‍රීඩකයා

මෙම තරගාවලියේ මෙතෙක් තරග 28ක් පවත්වා ඇති අතර, එහි දී ඉහළම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වන්නේ නොදැවී ලකුණු 80ක් ලබාගත් ශ්‍රී ලංකාවේ චරිත් අසලංක යි. පැතුම් නිස්සංක මෙම තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස සටහන් වේ.

පැතුම් නිස්සංක

ඡායාරූප මූලාශ්‍රය, ICC T20 WC

ඡායාරූප ශීර්ෂ වැකිය, පැතුම් නිස්සංක

මෙම තරගාවලියේ වැඩිම ලකුණු සටහන් වූ තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරගය යි. එහිදී වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 343කි.

තරගාවලියේ වැඩිම ලකුණු සටහන් වූ තරගය

ඡායාරූප මූලාශ්‍රය, Ranga Sirilal

ඉදිරි තරග

ශ්‍රී ලංකාව මුහුණදෙන සෙසු තරග ද්විත්වය පැවැත්වෙන්නේ එංගලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ය. එයින්, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (නොවැ. 01) දා රාත්‍රී 07.30ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 04 වැනිදා අබුඩාබිහි දී ය.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙකම, ඉතිරිව ඇති තරග දෙකම පරාජය වුවහොත් එය ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇත. එසේ වුවහොත් එංගලන්තය (ලකුණු 8) සහ ශ්‍රී ලංකාව (ලකුණු 6) ලබා සුදුසුකම් ලබන අතර, අනෙක් සියලුම කණ්ඩායම් ප්‍රසාද ලකුණු 04ක් පමණක් ලබනු ඇත.

එංගලන්තය ලකුණු 10කින් අවසන් කළහොත් කණ්ඩායම් පහකට ලකුණු 4 බැගින් ලබා ගැනීමේ හැකියාවක් පවතින නමුත්, සුදුසුකම් ලැබීමේ දී එය ශ්‍රී ලංකාවට ගැටලුවක් නොවනු ඇතැයි විශ්ලේෂකයන් පවසයි.

ශ්‍රී ලංකාවට තවමත් සුදුසුකම් ලැබිය හැකි තවත් අවස්ථා කිහිපයක් ඇති නමුත්, එම අවස්ථාවලදී දළ ලකුණු වේගය හෙවත් NRR සලකා බලනු ඇති බව ඔවුන් පවසයි.

2021 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නොවැම්බර් 10/11 දිනවල පැවැත්වීමට නියමිත ය. අවසන් මහා තරගය නොවැම්බර් 14 වැනිදා රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේ දී පැවැත්වෙනු ඇත.