ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවට අමතක නොවන සිදුවීම් 7 ක්

ඡායාරූප මූලාශ්‍රය, Dailynews
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තව ඇත්තේ දින 3 ක කාලයක් පමණි. බාල මහලු වයස් භේදයකින් තොරව ක්‍රිකට් ප්‍රිය කරන සෑම දෙනෙකුගේම අවධානය යොමුව ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය වෙතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වීම සඳහා සිම්බාබ්වේහි පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කර සුදුසුකම් ලැබීමට සිදුවිය.
මෙවර එය එසේ වුවද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකාව එක්වරක් ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතුකර ගැනීමට සමත් විය. ඒ 1996 වර්ෂයේදීයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉතිහාසය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරිමට අවස්ථාව උදාකර ගත්තේ 1975 වර්ෂයේදීය. එම තරගාවලියේදී පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවිය.
ඉන් පසුව පිළිවෙලින් 1979, 1983, 1987 සහ 1992 යන වර්ෂවල පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.
එම ලෝක කුසලාන තරගාවලි 5 තුළදී එක්දින තරග 24ක් ක්‍රීඩා කර තිබු ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබුනේ තරග 4ක් පමණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1. ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු ප්‍රසාද ලකුණු
1996 වර්ෂයේදී පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන රටවල පැවත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ පැවති යුදමය තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මෙරට පැවත්වීමට සැලසුම් කර තිබු තරග දෙකට නොපැමිණිමට තීරණය කළේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරග දෙකේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන ප්‍රසාද ලකුණු ප්‍රදානය කිරීමට ICCය විසින් තීරණය කරන ලදී.
මේ අතර 1996 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම සමග කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.
එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 251ක් රැස් කරනු ලැබූ අතර ඉන්දීය කණ්ඩායම රැස් කිරීමට හැකි වුයේ කඩුලු 8කට ලකුණු 120ක් පමණි.
ඉන්දීය ඉනිමේ 35 වන පන්දු වාරයේදී ක්‍රීඩාංගණයේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා තරගය අත්හිටුවීමට තරග තීරක ක්ලයිව් ලොයිඩ් හට සිදුවිය. නැවත තරගය ආරම්භ කිරීමට නොහැකිවූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ප්‍රදානය කිරීමට තරග තීරකවරයා විසින් තීරණය කරන ලදී.
2. අමතක නොවන ඓතිහාසික ජයග්‍රහණය
ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකි වේයැයි කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගය දක්වා පැමිණීම බොහෝ දෙනාගේ විමතියට පත්වූ කරුණක් විය.
පකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 07කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.
එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කිරීමට සමත් විය. එම තරගාවලියේදී සනත් ජයසුරිය තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලබා ගත් අතර අරවින්ද ද සිල්වා අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගනු ලැබුවේය.
3. අඳුර නිසා අහිමි වූ ලෝක කුසලානය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී ලෝක කුසලාන අනු ශුරයින් බවට පත්ව තිබේ. 2007 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාව අනු ශුරයින් බවට පත්වූ අතර 2003 වර්ෂයේදී පැවති ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් වටය දක්වා පැමිණීමට සමත්විය.
2007 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් මහ තරගය පැවැත්විණි. එම තරගයේ ආරම්භයේ සිට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 38 තුළදී කඩුලු 04ක් දැවී ලකුණු 281ක් රැස් කරන ලදී.
පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පෙර නැවත වර්ෂාව පතිත වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 36 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 269ක් රැස් කිරීමට සිදුවූ අතර එහිදී ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 215ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේදී අඳුරු කාලගුණය හේතුවෙන් පිතිකරුවන්ට පන්දුව නොපෙනන බවක් දිස්වූ අතර එහිදී තරගය නතර නොකර පවත්වාගෙන යාමට ස්ට්වි බක්නර් විනිසුරුවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ද එල්ලවිය.
එම අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 72කදී ශතකයක් රැස් කිරීමට සමත් විය. එය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
එම තරගයේදී ගිල්ක්‍රිස්ට් පන්දු 104 කදී හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් 8ක් සමගින් ලකුණු 149ක් රැස් කළේය. එම තරගයේදී ගිල්ක්‍රිස්ට් විසින් සිය අත් ආවරණය තුල ස්කොෂ් පන්දුවක් රඳවා ගෙන සිටි බවට පසුව හෙළිවූ අතර එම සිදුවීම ගැන පසුව කරුණු සඳහන් කරමින් ඔහු කියා තිබුනේ තම පිතිකරණ පුහුණුකරුගේ උපදෙස් මත එය සිදුකළ බවය.
4.ලසිත් මාලිංග පිට පිට දවා ගත් කඩුලු 4
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගනු ලැබූ පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංගය. ඔහු ලෝක කුසලාන තරගාවලිවල අවස්ථා දෙකකදී කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගැනීමට සමත්කම් දක්වා තිබේ.
2007 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේදී දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී ලසිත් මාලිංග පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. එය එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු අඛණ්ඩව පන්දු 4කදී කඩුලු හතරක් දවා ගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.
මේ දක්වා ලෝක කුසලාන ඉතිහාසයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පන්දු යවන්නා ලෙසට වාර්තා පොත් අතර සිය නම තබා ගැනීමට ලසිත් මාලිංග සමත්ව ඇත.
ඔහු විසින් 2007 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සහ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාවට එරෙහිව කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගැනීමට සමත් විය.
5. පළමු පන්දු තුනේදී දවා ගත් කඩුලු ත්‍රිත්වය
ලෝක කුසලාන තරගයකදී මෙන්ම එක්දින තරග ඉතිහාසයේ පළමු පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ චමින්ද වාස්ය. ඔහු 2003 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එම දස්කම දැක්වීමට සමත් විය.
වාස් විසින් එහිදී බංග්ලාදේශ පිතිකරුවන් වන හනාන් සර්කාර්, මොහොමඩ් අෂ්රාෆුල් සහ එශානුල් හක් එලෙස දවා ගනු ලැබිය.
එම තරගයේදී චමින්ද වාස් ලකුණු 25කට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය.
6. කුමාර් සංගක්කාර තැබූ අසම සම වාර්තාව
ලෝක පූජිත පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින කුමාර් සංගක්කාර 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අඛණ්ඩව තරග හතරකදී ශතක 4ක් රැස් කරමින් වාර්තාවක් තැබීමට සමත් විය.
සංගක්කාර එම තරගාවලියේදී බංග්ලාදේශය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහිව ශතක රැස් කළේය.
එක්දින තරගවලදී මෙන්ම ලෝක කුසලාන තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු අඛණ්ඩව රැස්කරන ලද වැඩිම ශතක සංඛ්‍යාවේ හිමිකරු විමට කුමාර් සංගක්කාර සමත් විය.
7. තරංග සහ ඩිල්ශාන්ගේ අමතක නොවන සබඳතාවය
2011 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලය විසින් ලකුණු 282ක් එක කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන තිලකරත්න ඩිල්ශාන් සහ උපුල් තරංග දක්වන ලද එම දක්ෂතාවය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් තබන ලද ඉහළම ලකුණු සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
එමෙන්ම එම තරගාවලියේදී උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ශාන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී නොබිඳුණු ලකුණු 231ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබිය.












