T20 ලෝක කුසලානය 2024: 'අද තරගයේ ජයග්‍රහණය අපට වැදගත්’

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද ( ජුනි 17 වැනිදා) පැවති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 83 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
මෙම තරගය ජයග්‍රහණය කළද මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ සහභාගිවූ සෙසු සියලු තරග පරාජය වීම හේතුවෙනි.
තරගය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හී ඩැරන් සැමි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීය.
කාසියේ වාසිය දිනු නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවට සුබ නොවූ ආරම්භය
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය සුබ නොවුයේ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවේදීම පැතුම් නිස්සංක විවියන් කින්ග්මා ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යාම හේතුවෙනි.
පැතුම් ගේ දැවී යාමෙන් පසුව පිටියට පැමිණි කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමග එක්වෙමින් ලකුණු 39ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.
පන්දු 20 කදී ලකුණු 17ක් රැස් කර ගෙන සිටි කමිදු මෙන්ඩිස් පෝල් වැන් මේක්ක්‍රන් ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 5 යි පන්දු 2 කදී ලකුණු 39 කට කඩුලු දෙකක් ලෙසයි.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පවර් ප්ලේ පන්දු වාර 06 තුළදී කඩුලු දෙකක් දැවී ලකුණු 45ක් රැස් කර ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සාර්ථක වූ මැදපෙළ පිතිකරණය
ශ්‍රී ලංකා පිතිකරුවන් අතර අද තරගයේදී කඩුලු අතර සබඳතාවයන් කිහිපයක්ම දක්නට හැකිවිය.
කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ 12 වන පන්දු වාරයේ දී ලකුණු 46ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ගේ කඩුල්ල දවා ගැනීමට ආර්යන් දත් සමත් විය.
ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 84 ට කඩුලු 03ක් ලෙසයි.
කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි චරිත් අසලංක, ධනංජය ද සිල්වා සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ලකුණු 39ක් එක් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 123ක් ලෙස සටහන්ව තිබියදී ධනංජය ද සිල්වා ලකුණු 34 කට දවා ගැනීමට ටීම් ප්‍රින්ගල් සමත් වුණි.
ධනංජය ද සිල්වා ගෙන් පසුව චරිත් අසලංක සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස් නෙදර්ලන්ත පන්දු යවන්නන්ට එරෙහිව වේගයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේය.
ඔවුන් දෙදෙනා විසින් පන්දු 17ක් තුලදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දු වාරයේ දී ලකුණු 46ක් රැස් කරගෙන සිටියදී චරිත් අසලංක දවා ගැනීමට ලෝගන් වැන් බික් සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 17 යි පන්දු 3 කදී ලකුණු 166 කට කඩුලු 05ක් ලෙසයි.
අසලංක ගෙන් දැවී යාමෙන් පසුව පිටියට පැමිණි දසුන් ශානක පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය. දසුන් ශානක අද ක්‍රීඩා කළේ සිය 100 වන විස්සයි 20 තරගය සඳහාය.
දසුන්ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි වනිදු හසරංග, ඇන්ජලෝ මැතිව්ස් සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු 14 දී ලකුණු 35ක් රැස් කළේ පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06 කට ලකුණු 201ක් ලෙස ලකුණු පුවරුව සටහන් කරමිනි.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායමක් ලකුණු 200 සීමාව පසුකළ දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
සිය ඉනිමේ අවසන් පන්දු වාර 10 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් ලකුණු 127ක් රැස් කරන ලදී.
නෙදර්ලන්තයේ ලකුණු හඹා යාම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පැමිණි නෙදර්ලන්ත ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් සිය කණ්ඩායමට ලබා දෙනු දක්නට ලැබුණි.
මයිකල් ලෙවිට් සහ මැක්ස් ඕ' ඩවුඩ් පන්දු 27ක් තුලදී වේගවත් ලකුණු 45ක් එක් කිරීමට සමත් වුයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් ගෙන දෙමිනි.
නමුත් නෙදර්ලන්ත ඉනිමේ පස්වන පන්දු වාරය යැවු නුවන් තුෂාර ලකුණු 11ක් රැස් කරගෙන සිටි මැක්ස් ඕ' ඩවුඩ් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
තරගයේ 06 වන පන්දු වාරය යැවීමට පැමිණි මහීෂ් තීක්ෂණ විසින් ලකුණු 31ක් රැස් කර ගෙන සිටි මයිකල් ලෙවිට් ගේ කඩුල්ල දවා ගන්නා විට නෙදර්ලන්ත ලකුණු පුවරුව දිස්වුයේ ලකුනු 47 කට කඩුලු දෙකක් ලෙස ය.
ඉන් පසු පිටියට පැමිණි වික්‍රම්ජිත් සිං ලකුණු 07 කට, සියිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෑක්‌ට් ලකුණු 11කට, බාස් ඩී ලීඩ් ලකුණු 03 කට සහ ලෝගන් වැන් බීක් ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේය.
ඒ වන විට නෙදර්ලන්ත ඉනිම දැක්වුනේ පන්දු වාර 9 යි පන්දු 5ක් අවසානයේදී ලකුණු 71 කට කඩුලු 06ක් ලෙසය.
නායක ස්කොට් එඩ්වර්ඩ් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වූ අතර සෙසූ නෙදර්ලන්ත පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදෙන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දු වාර 16 යි පන්දු 4 කදී ලකුණු 118 කට දැවි ගිය අතර ශ්‍රී ලංකාව ලකුණු 83 කින් තරගය ජය ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 03ක් ද, මතිෂ පතිරණ සහ වනිදු හසරංග කඩුලු දෙක බැගින් දවා ගන්නා ලදී.
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද එකම තරග ජයග්‍රහණය ද මෙය වේ.
‘අද තරගයේ ජයග්‍රහණය අපිට වැදගත්’
තරගයෙන් පසුව අදහස් දක්වමින් නායක වනිදු හසරංග පැවසුවේ අද තරගයේ දී ලද ජයග්‍රහණය ඉතා වැදගත් එකක් බවයි.
‘අද තරගයේ ජයග්‍රහණය අපිට වැදගත්. ඒ පළවෙනි තරග දෙකේදී ලැබුණු නරක ප්‍රතිඵල දෙකත් එක්ක බැලුවම. අද තණ තීරුව හොඳ එකක්. අපිට මුලින්ම අවශ්‍ය වුනේ ලකුණු 160ක් හෝ ලකුණු 170ක් රැස් කර ගන්න. අපේ පන්දු යැවීමේ ශක්තියත් එක්ක ලකුණු 160 කට වඩා වැඩි ඉලක්කයක් ආරක්ෂා කරන්න පුළුවන් කියලා. පළවෙනි තරග දෙකේදී අපේ කඩුලු දෙක තුනක් දැවී ගියා පළවෙනි පන්දු වාර 06 ඇතුලෙදි. නමුත් අද එහෙම වුනේ නැහැ. එකයි වෙනස.’
‘චරිත් අසලංකට හොඳ හැකියාවක් තියෙනවා, ඔහු ඒක අද ඔප්පු කරලා පෙන්නුවා. කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ඔවුන්ගේ වැඩකොටස කළා.’ ඔහු පැවසීය.












