එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් 5ක්

Sri Lanka vs England test

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ඕවල්හිදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බදාදා (අගෝස්තු 21) ආරම්භ වීමට නියමිත ය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබුවේ මීට වස 42කට ඉහතදී ය.

එංගලන්ත කණ්ඩායම හමුවේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූයේ 2014 වසරේදී ය.

ක්‍රීඩා ලෝලීන්ට මෙන් ම ක්‍රිකට් විචාරකයින්ට ද සුවිශේෂී මතක සටහන් ගෙන දුන් ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මොනවා ද?

මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදුකළ කරුණු සොයා බැලීමකි.

පළමු ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

එහිදී රංජන් මඩුගල්ල, අර්ජුණ රණතුංග සහ රෝයි ඩයස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

එම තරගයේ පළමු ඉනිමේදී රංජන් මඩුගල්ල ලකුණු 65ක්, අර්ජුන රණතුංග ලකුණු 54ක් සහ රෝයි ඩයස් ලකුණු 77ක් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී අසන්ත ද මෙල් එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිමේදී කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සමග පැවති මංගල ටෙස්ට් තරගයෙන් එංගලන්ත කණ්ඩායමට කඩුලු 07ක ජයක් හිමි විය.

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී අර්ජුණ රණතුංග පන්දුවට පහර දෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝඩ්ස් පිටිය වර්ණවත් කළ සිදත්ගේ ඉනිම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය සමග දෙවන වරට ටෙස්ට් තරගයකදී හමුවන්නේ 1984 වසරේදී ය. ඒ, එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ය.

එම තරගය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව දක්ෂතා දැක්වීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි පන්දු 471කට මුහුණ දෙමින් හතරේ පහරවල් 21ක් සමගින් ලකුණු 190ක් රැස් කිරීමට සමත් විය.

ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු විසින් වාර්තා කරන ලද පළමු ටෙස්ට් ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය.

ඉයන් බොතම්, ජොනතන් ඇග්නිව් සහ රිචර්ඩ් එලිසන් වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ සිදත් වෙත්තමුණි ගොඩ නැගු එම ඉනිම බොහෝ ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රිකට් විචාරකයින්ගේ කතාබහට ලක්වූ ඉනිමක් බවට පත්විය.

සිදත් වෙත්තමුණිට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේදී දුලිප් මෙන්ඩිස් ලකුණු 111ක් රැස් කළ අතර අර්ජුණ රණතුංග ලකුණු 84ක් රැස් කළේය.

එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිමේදී ඇලන් ලෑම්බ් ලකුණු 107ක් රැස් කළ අතර පන්දු යැවීමේදී අසන්ත ද මෙල් සහ විනෝදන් ජෝන් කඩුලු 04 බැගින් බිඳ හෙලීය.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී අමල් සිල්වා නොදැවී ලකුණු 102ක් රැස් කළේ ය. දුලිප් මෙන්ඩිස් නැවත වරක් ලකුණු අතරට පැමිණෙමින් එම ඉනිමේදී ද ලකුණු 94ක් රැස් කළේ ය.

ඉයන් බොතම් ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී කඩුලු 06ක් දවා ගැනීමට සමත් විය.

එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් තරගාවලියේදී වැඩි ගෞරවය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

එංගලන්තයට එරෙහිව ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය

තරගයේ වීරයා සම්මානය හිමි කර ගත් හෂාන් තිලකරත්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෂාන් තිලකරත්න නම් කෙරිණි

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සිය පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ, 1993 වසරේදී ය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති එම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව කඩුලු 05ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

එම තරගයේදී ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේදී පිතිකරුවන් 05 දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම කැපීපෙනෙන සිදුවීමක් විය.

රොෂාන් මහානාම, චන්දික හතුරුසිංහ, අරවින්ද ද සිල්වා , අර්ජුණ රණතුංග සහ හෂාන් තිලකරත්න එහිදී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයනන්ද වර්ණවීර ඉනිම් දෙකේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු 08ක් දවා ගැනීමට සමත් විය.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු ටෙස්ට් තරගයේදී තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෂාන් තිලකරත්න සම්මානයට පාත්‍ර විය.

ඕවල් පිටියේ දී මුරලි - සනත් සිදුකළ වික්‍රමය

1998 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තයට එරෙහිව වාර්තා කළ එම තරග ජයග්‍රහණය ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන තරගයක් විය.

ඒ, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී ම පළමු වරට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම හේතුවෙනි.

තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 445ක් රැස් කළේ ය.

එංගලන්ත කණ්ඩායමේ ග්‍රැහැම් හික් ලකුණු 107ක් සහ ජෝන් ක්‍රොව්ලී නොදැවී ලකුණු 156ක් රැස් කළහ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් පන්දු වාර 59 යි පන්දු 03ක් යවමින් ලකුණු 155කට කඩුලු 07ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 591ක් රැස් කිරීමට සමත් විය.

එහිදී සනත් ජයසුරිය ලකුණු 213ක් සහ අරවින්ද ද සිල්වා ලකුණු 152ක් රැස් කිරීමට සමත් වූහ.

එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 181ක් පමණි.

මුත්තයියා මුරලිදරන් එම ඉනිමේදී ලකුණු 65කට එංගලන්ත පිතිකරුවන් 09 දෙනෙකු දවා ගත්තේ ය.

තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 36ක ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසුකර යෑමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

සනත් ජයසූරිය ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එංගලන්තයේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය

ශ්‍රී ලංකාව, එංගලන්ත කණ්ඩායමට එරෙහිව පළමු වරට එංගලන්තයේදී ම ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 2014 වසරේදී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව, එංගලන්ත කණ්ඩායමට එරෙහිව පළමු වරට එංගලන්තයේදී ම ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 2014 වසරේදී ය.

තරග දෙකකින් සමන්විත එම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

දෙවන ටෙස්ට් තරගය ලීඩ්ස්හිදී පැවති අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 257ක් රැස් කළේ ය.

එංගලන්ත කණ්ඩායමේ ලියම් ප්ලන්කට් ලකුණු 64කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 365ක් රැස් කළ අතර එහිදී සෑම් රොබ්සන් ලකුණු 127ක් වාර්තා කරන ලදී.

පන්දු යැවීමේදී ශමින්ද එරංග සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 04 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමේදී ලකුණු 457ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 160ක් සහ මහේල ජයවර්ධන ලකුණු 79ක් රැස් කිරීමට සමත් වූහ.

තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 350ක ඉලක්කයක් හිමි විය.

ධම්මික ප්‍රසාද් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් විසින් එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනු ලැබුව ද මොයින් අලී නොදැවී ලකුණු 108ක් රැස් කළේ ය.

දෙවන ටෙස්ට් තරගයේ අවසන් පන්දු වාරය තුළදී තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමින් ශමින්ද එරංග විසින් එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දවා ගැනීමට සමත් විය.

එහිදී, අවසන් කඩුල්ල ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරූ ජේම්ස් ඇන්ඩර්සන් එකදු ලකුණක් හෝ නොලබා පන්දු 55කට මුහුණ දුන්නේ ය. කෙසේ වෙතත්, තරගයේ අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී ඔහු දැවී ගියේ ය.

ඒ අනුව පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

1982 වසරේ සිට මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරග 36ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 17ක ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායමත්, තරග 08ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ.

එමෙන් ම, තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.