වසර 27කට පසු ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලි ජයග්‍රහණයට හේතු වූයේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket| Facebook
1997 වසරට, එනම් වසර 27කට පසු ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවා එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඒ, පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දක්නට ලැබුණු ඉන්දීය භීතිකාව තුරන් කරමිනි.
කණ්ඩායමට එක්වූ ජෙෆ්රි වැන්ඩසේ, දුනිත් වෙල්ලාලගේ, අවිශ්ක ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් මෙන්ම කුසල් මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ ක්‍රිඩකයින් පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමේදී දැක්වූ දක්ෂතා තරගාවලියේදී කැපි පෙණුනි.
ජයග්‍රහණ අපේක්ෂාවන් ආක්‍රමණශීලිව හා උද්යෝගී ක්‍රිඩා විලාසයකින් එක්දින තරගාවලියට අවතීරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයෙන්ම ඉන්දියාවට අභියෝගයක් එල්ල කළේ තරගය ලකුණු සමවූ තරගයක් ලෙස නිමා කරමිනි.
තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේ, ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ සියලුම කඩුලු දවාගෙන වීම කැපීපෙනන සිදුවීමක් බවට පත්විය.
වසර 27කට පසු ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලි ජයග්‍රහණයට හේතු වූයේ කුමක්ද?
‘මේක අගය කළ යුතු ජයග්‍රහණයක්’
වසර 27 කට පසුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් හිමි කර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම අගය කළ යුතු බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙස ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක ජයග්‍රහණයක් වාර්තා කළේ 1997 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි.
ඉන්දියාව සමග පැවති තෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 110ක ජයග්‍රහණයක් ලැබීමට සමත් විය.
තරගාවලි ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලද ජයග්‍රහණය අගය කළ යුතු බව ය.
"1997 පස්සේ ලෝක ශුරයින් විදිහටත් අපිට තරගාවලියක් ජයග්‍රහණය කරන්න බැරි වුණා. ඒ නිසා මේ ජයග්‍රහණය අගය කළ යුතු දෙයක්.”
“පහුගිය කාලයේදී ක්‍රිකට් කණ්ඩායමට ගොඩක් දෙනා බැන්නා. ඒකට මේ හොඳ උත්තරයක්.”
“ඉන්දීය කණ්ඩායමට එරෙහිව T20 තරගාවලිය පැරදිලා බොහොම නරක විදිහට, මේ අය එක්දින තරගාවලියේදී මේ වගේ හැරවීම සෑහෙන ලොකු ජයග්‍රහණයක්.”
ඒකෙ ගෞරවය සනත් ජයසුරියගේ ඉදලා ඒකට සපෝර්ට් කරපු හැම කෙනාටම යන්න ඕන. මම හිතෙනවා ඒ අය ගොඩක් දේවල් සැලසුම් කරන්න ඇති, තිරයෙන් පිටුපස ඉදලා වැඩ කරන්න ඇති. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ." ඔහු පැවසුවේය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
‘මම කවදාවත් පරදින්න කැමති කෙනෙක් නෙමේ’
මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසුරිය පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබෙන විදිහට කවදාවත් පරාජය ලබන්න කැමති ක්‍රීඩකයෙකු නොවන බවය.
"මම ලංකාවට සෙල්ලම් කරලා තියෙන විදිහයි, මගේ තියෙන පැෂන් එකයි එක්ක කවදාවත් පරාජය ලබන්න කැමති ක්‍රීඩකයෙක් නෙමේ."
“හැම ප්‍රේක්ෂකයෙක්ම ඔයාලට ආදරය කරනවා. මේ තාවකාලිකව තියෙන දුකටයි මේ හැමදෙයක්ම කියන්නේ.”
“ක්‍රීඩකයෙක් විදිහට, පුහුණුකරු විදිහට මම කියලා තියෙන්නේ මම පරදින්න ආස කෙනෙක් නෙමේ. පැෂන් එකක් තියෙනවා මේ රටේ ක්‍රිකට්වලට. හුඟක් අමාරුවෙන් මේ තැනට ක්‍රිකට් එක ගෙනල්ලා තියෙන්නේ.”
“මේ අයට උදව් කරන්න ඕන. මේ අයට පුළුවන් උපරිම සපෝර්ට් එක දෙන්න කියලයි හිටපු නායකයෙක් විදිහට මම ප්‍රේක්ෂකයින් ගෙන් ඉල්ලා සිටින්නේ." සනත් ජයසුරිය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සාර්ථක වූ මුල් පෙළ
තුන්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබුණි. දෙවන එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ අකිල ධනංජය වෙනුවට මෙම තරගය සඳහා මහිෂ් තීක්ෂණ කැඳවා තිබිණි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 89ක් එක් කිරීමට සමත් වූහ.
පැතුම් නිස්සංක ලකුණු 45ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ අක්සාර් පටෙල් ගේ පන්දුවක් හමුවේය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 19.5 කදී ලකුණු 89ක් ලෙසය.
පැතුම්ගේ දැවී යෑමෙන් පසු අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්වී දෙවන කඩුල්ලට ලකුණු 82ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ 36 වන පන්දු වාරයේ දී ලකුණු 96ක් රැස් කරගෙන සිටි අවිශ්ක ප්‍රනාන්දු රියාන් පරාග් ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කඩා වැටුණු මැද පෙළ
අවිශ්ක ප්‍රනාන්දුගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු කිහිපයක් ඉක්මණින් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
නායක චරිත් අසලංක ලකුණු 10කට, සධීර සමරවික්‍රම ලකුණු නොලබා දැවී ගිය අතර, ජනිත් ලියනගේ ලකුණු 08 කට සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 02 කට දැවී ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දුවාර 43.3 කට ලකුණු 199 කට කඩුලු 06ක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වෙද්දී කුසල් මෙන්ඩිස් එක් අන්තයකින් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර ලකුණු මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන ලදී.
කුසල් මෙන්ඩිස් පන්දු 82 කදී ලකුණු 59ක් රැස් කළේය.
කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 23ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස් කළේය.
මොහොමඩ් සිරාජ් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහු විසින් යවන ලද පන්දුවාර 9ට ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 78කි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket| Facebook
ලකුණු 249ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඉන්දීය පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ප්‍රබල තර්ජනයක් ගෙන ඒමට සමත් වුහ.
රෝහිත් ෂර්මා ලකුණු 35ක්, වොෂින්ටන් සුන්දර් ලකුණු 30ක් සහ විරාට් කෝලි ලකුණු 20ක් රැස් කරන ලදී.
ඔවුන් හැර සෙසු කිසිදු ඉන්දීය පිතිකරුවකුට ලකුණු අතර ඒමට නොහැකි විය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 26.1 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 138ක් පමණි.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 27 කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය. මහිෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු දෙක බැගින් දවා ගනු ලැබිය.
































