ඉන්දියාවට එරෙහිව කඩුලු 6ක් දවා ගත් ජෙෆ්රි වැන්ඩර්සේ කවුද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම (අගෝස්තු 04) සමත් විය.
ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින තරගය ජයග්‍රහණය කළේ 2021 වසරේ ජුලි මස 23 වැනිදාට පසුව ය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මාවත විවර කර දුන් පාදඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 33 කට ප්‍රබල ඉන්දියානු පිතිකරුවන් 6 දෙනෙකුගේ කඩුලු දවා ගැනීමට සමත් විය.
වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාව නියෝජනය කළත් 34 හැවිරිදි වියේ පසුවන වැන්ඩර්සේ මෙතෙක් ක්‍රීඩාකර ඇත්තේ එක්දින තරග 23ක් පමණි. ඔහුට ඊයේ තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුයේ වනිදු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙනි.
මෙම තරගයේදී නායක චරිත් අසලංක ලකුණු 20කට කඩුලු 3ක් දවා ගැනීමද කැපී පෙනෙන සිද්ධියක් විය.
කවුද මේ ජෙෆ්රි වැන්ඩර්සේ කියන්නේ ?
1990 වසරේ පෙබරවාරි මස 05 වැනිදා වත්තලදී උපත ලබන ජෙෆ්රි ඩැනිස්ටර් වැන්ඩර්සේ අධ්‍යාපනය හදාරනු ලබන්නේ කොළඹ වෙස්ලි විදුහලෙනි.
දකුණත් පාදඟ පන්දු යවන්නෙකු වන වැන්ඩර්සේ පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගන්නේ 2015 වසරේදීය.
2015 වසරේ ජුලි මස 30 වැනිදා පකිස්ථාන කණ්ඩායමට එරෙහිව T20 තරග වරම් හිමිකර ගන්නා ඔහු පළමුවරට එක්දින තරගයකට ක්‍රීඩා කරන්නේ නවසීලන්තයට එරෙහිවය.
තමන් ක්‍රීඩා කළ පළමු එක්දින තරගයේදීම වැන්ඩර්සේ ගැන ක්‍රිකට් ලෝකයේ අවධානය යොමුවුයේ නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ගප්ටිල් විසින් එල්ල කළ පහරකදී පන්දුවක් ඔහුගේ මුහුණේ වැදීම හේතුවෙන්ය.
වැන්ඩර්සේ තමන් ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරිමට සමත් වන්නේ 2022 වසරේ ජුනි මස 29 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරගයේදීය.
වසර 9කට ආසන්න කාලයක් ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති වැන්ඩර්සේ මේ දක්වා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ එක්දින තරග 23ක්, විස්සයි 20 තරග 14ක් සහ එක් ටෙස්ට් තරගයක් පමණි.
එහිදී ඔහු එක්දින තරගවලදී කඩුලු 33ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ සිය පන්දු යැවීමේ සාමාන්‍ය 5.41ක් ලෙස සටහන් කර ගනිමින් ය.
එමෙන්ම විස්සයි 20 තරග වලදී කඩුලු 7ක් දවා ගැනීමට සමත්ව ඇති වැන්ඩර්සේ ගේ පන්දු යැවීමේ සාමාන්‍ය සටහන් වුයේ 8ක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වැන්ඩර්සේ තැබූ වාර්තාව
ඉන්දියාවට එරෙහිව (අගෝස්තු 04) පැවති තරගයේදී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 33 කට කඩුලු 06ක් දවා ගැනීම ඔහුගේ හොඳම එක්දින තරගයක පන්දු යැවීම ලෙස සටහන් විය.
එමෙන්ම ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු විසින් දැක්වූ සිව්වන හොඳම පන්දු යැවීම ලෙස ද එය වාර්තා පොත් අතරට එක්වීම විශේෂත්වයකි.
වැන්ඩර්සේට පෙර මුත්තයියා මුරලිදරන් ලකුණු 30 කට කඩුලු 7ක්, අජන්ත මෙන්ඩිස් ලකුණු 13 කට කඩුලු 6ක්, අජන්ත මෙන්ඩිස් ලකුණු 20 කට කඩුලු 06ක් දවා ගනිමින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින තරගවලදී හොඳම පන්දු යැවීම සටහන් කර තිබේ.
සමස්තයක් වශයෙන් ගත් කළ ඉන්දීය - ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ පස්වන හොඳම පන්දු යැවීම ලෙස වැන්ඩර්සේ ගේ ලකුණු 33 කට කඩුලු 06ක් දවා ගැනීම වාර්තා පොත් අතරට එක්විය.
‘වනිදු අපේ අංක 01 පන්දු යවන්නා බවට සැකයක් නැහැ’
ඉන්දියාව සමග පැවති දෙවන එක්දින තරගයේ දී තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් ජෙෆ්රි වැන්ඩර්සේ කියා සිටියේ කණ්ඩායමට එල්ල වී තිබු පීඩනයත් සමග තමන්ට යමක් කිරීමට සිදුවූ බවය.
"කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල වුණා. මට යමක් කරන්න අවශ්‍යව තිබුණා. මේ වගේ පන්දු යැවීමකින් ඒ ගෞරවය මට ලබා ගන්න පුළුවන් වුණත් මට අවශ්‍යයි ඒකෙ සම්පුර්ණ ගෞරවය අපේ පිතිකරුවන්ට ලබා දෙන්න. ඔවුන් අපිව හොද තරගකාරී ලකුණු මට්ටමක් කරා ගෙන ආවා."
"වනිදු අපේ අංක එකේ දඟ පන්දු යවන්නා කියලා සැකයක් නැහැ. නමුත් මම කණ්ඩායමේ වාතාවරණය සහ තේරීම් ගැන අවබෝධයකින් යුක්තව පිඩනයක් තිබුනත් හැම විටම මා මාවම දිරිමත් කර ගෙන හරි දේ කරන්න උත්සහ කළා."
"කාලයකට පසුව මට හොඳ තැන්වල පන්දුව පතිත කරන්න අවස්ථාව ලැබුණා. පළමු කඩුල්ල දවා ගත්තම මගේ ආත්ම විශ්වාසය පවා වැඩිවුණා." වැන්ඩර්සේ පැවසුවේය.












