ලෝක සරණාගතයින්ගේ දිනය: 'මට මගේ අම්මගේ මරණයටවත් යන්න බැරි වුණා'

Upali Thennakoon and the Family

ඡායාරූප මූලාශ්‍රය, Upali Tennakoon| Facebook

"ඇත්තට ම මට ශ්‍රී ලංකාවෙන් එන්න කිසි ම වුවමනාවක් තිබුණෙ නෑ. නමුත්, මට එල්ල වුණ ප්‍රහාරය සහ තර්ජනත් එක්ක මම කල්පනා කළා එදා තිබුණ වාතාවරණයත් එක්ක රටේ ඉන්නවාට වඩා හොඳයි යන එක කියලා. ඒ නිසා මම රට දාලා එන්න තීරණය කළා," මීට වසර 15කට පමණ පෙර සිය මව්රට අතහැර අමෙරිකාව බලා යාමට සිදුවූ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට පුවත්පත් කර්තෘවරයෙකු ලෙස සැලකෙන උපාලි තෙන්නකෝන් මේ අදහස් පළ කළේ, කළකිරුණු ස්වභාවයකිනි.

ඔහු ශ්‍රී ලංකාව අතහැර යාමට පෙර රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය දරමින් සිටියේ ය.

2008 ජනවාරි මස 23 වන දා ඔහු සිය කාර්යාලය වෙත යාමට සූදානම් වූ අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්වූ අතර, එය වැළැක්වීමට උත්සහ කළ ඔහුගේ බිරිඳට ද පහර දී තිබිණි.

ඔහු ශ්‍රී ලංකාව අතහැර යාමට පෙර රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය දරමින් සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Upali Tennakoon| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු ශ්‍රී ලංකාව අතහැර යාමට පෙර රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය දරමින් සිටියේ ය.

'පහර දීම නිසා මට ශාරීරිකවත් යම් යම් දේවල් සිද්ධ වුණා. මූණට හානි වුණා. ඇඟිලි කැඩුණා'

මෙරට පුවත්පත් කලාවට සුවිශේෂි මෙහෙවරක් කළ උපාලි තෙන්නකෝන්ට ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටක පදිංචියට යාමට කිසිදු අවශ්‍යතාවක් නොවුව ද, පහර දීම සහ තර්ජන හේතුවෙන් ඔහුට රට හැර යාමට බල කෙරිණි.

ඔහු අමෙරිකාවේ පදිංචියට ගොස් සරණාගතයෙකු බවට පත්වූයේ, මෙම සිද්ධි නිසා ය.

"මේක අමුතු රටක්. අපට කිසි ම හුරුපුරුදුකමක් තිබුණෙ නෑ. ඒ නිසා මුල් කාලෙ අන්තිම අමාරු තත්ත්වයකට වැටුණා. ඒ සේරට ම මූණ දීලා දැන් මේ වෙනකොට අවුරුදු 15ක් වෙනවා. ඒ පහර දීම ගැන කිසි ම සාධාරණයක් ඉටු වුණේ නෑ. ජනාධිපතිවරු, දේශපාලනඥයෝ බොහෝ අය ඒ මිනිස්සුන්ගෙ වාසියට මේක හරවගෙන කතා කළා මිසක් සිද්ධියට සාධාරණයක් ඉටු කරන්න හරි, අපට සාධාරණයක් ඉටු කරන්න හරි කටයුතු කළේ නැහැ. වන්දි දෙනවා කිව්වාට කිසි ම දෙයක් සිද්ධ වුණේ නෑ."

තමන්ට රට හැර යාමට සිදුවීම හේතුවෙන් සිය ජීවිතය මෙන් ම ජීවිතයේ ඉලක්ක ද උඩුයටිකුරු වූ බව උපාලි තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය.

Sri Lankan chief editor of the privately-owned Rivira weekly Upali Tennakoon is rushed to the Colombo national hospital on January 23, 2009. Unidentified assailants stabbed him and smashed his car as he drove to work with his wife, Dhammika who was also injured. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S. KODIKARA/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, AFP| Ishara S. KODIKARA

"අපි පවුල් වශයෙන් කරන්න සැලසුම් කරගෙන හිටිය දේවල්, කරන්න හිටිය දේවල් කිසි දෙයක් අපට කර ගන්න හම්බ වුණේ නෑ. අන්තිමට මගේ ගේ නාස්ති වෙලා ගියා. ඉඩකඩම් නාස්ති වෙලා ගියා. මම හම්බ කර ගත්ත සියලු දේවල් නාස්ති වෙලා ගියා. එහෙම බලනකොට අන්තිම අසරණ තත්ත්වයකට තමයි පත්වුණේ. මගෙ තිබුණා පත්තර, මැගසින්, පොත්, පේපර් කටිංස් හොඳ එකතුවක් තිබුණා. ඒවා සම්පූර්ණයෙන් ම විනාශ වෙලා ගියා. ඊට පස්සෙ මම අම්මාට කිව්වා ඒවා විසි කරන්න කියලා. පොත් වගයක් ඉස්කෝලවලට දුන්නා."

අමෙරිකාවේ පදිංචියට යාම නිසා ඔහුට සිය දෙමාපියන් රැකබලා ගැනීමට පමණක් නොව, මවගේ මරණයට සහභාගි වීමට පවා නොහැකි විය.

"අන්තිම කාලෙ මගේ අම්මයි තාත්තයි දෙන්න ම නැති වුණා. තාත්තාගේ මරණයට නම් මට යන්න හරි ලැබුණා. අම්මාගේ මරණයට මට යන්නවත් ලැබුණෙ නෑ. ඒගොල්ලන්ගෙ අන්තිම කාලෙ මට සලක ගන්නත් බැරි වුණා මට රටෙන් යන්න වුණ නිසා. ඒගොල්ලන්ටත් ඒක සෑහෙන මානසික වධයක් වුණා."

බලහත්කාරයෙන් රට හැර යාමට සිදුවූ තවත් මාධ්‍යවේදීන් රැසක් සිටිති. පෝද්දල ජයන්ත සහ සනත් බාලසූරිය ඒ අතරින් දෙදෙනෙකි.

සරණාගතයින් ලෙස මව් රට හැර ගිය ශ්‍රී ලාංකිකයෝ

විවිධ හේතු මත ශ්‍රී ලංකාව හැර යාමට සිදුවූ සරණාගතයින් ලක්ෂ ගණනක් ලෝකයේ රටවල් රැසක වාසය කරති.

2022 වසරේදී පමණක් ශ්‍රී ලංකාව හැර ගිය පුද්ගලයින් 7859 දෙනෙකු විවිධ රටවල සරණාගතභාවය වෙනුවෙන් අයැදුම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ දත්ත උපුටා දක්වමින් worlddata.info වෙබ් අඩවිය පවසයි.

වැඩි වශයෙන් ඔවුන් සරණාගතභාවය ඉල්ලා ඇත්තේ, ප්‍රංශය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලිනි.

එම අයැදුම්පත් අතරින් 76%ක ප්‍රතිශතයක් ප්‍රතික්ෂේප වී තිබේ.

2022 වසරේදී පුද්ගලයින් 332 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට අමෙරිකාවට පළාගොස් ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.

ලෝකයේ තත්ත්වය

ගෝලීය වශයෙන් උත්සන්න වන යුද්ධ සහ ප්‍රචණ්ඩත්වය මෙන් ම ස්වභාවික විපත් ඉහළ යාමත් සමග මේ වසරේ මැයි මාසය දක්වා සිය රටින් පළා යන හෝ පළා යාමට සිදු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 120කට වඩා වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය වන UNHCR නිකුත් කළ නවතම සංඛ්‍යා දත්ත අනුව අනාවරණය වී තිබේ.

මෙය ඊට පෙර වසරට වඩා 8%ක ඉහළ යාමක් වන අතර, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සංඛ්‍යා ලේඛන වාර්තා තබා ගැනීම ඇරඹූ දා සිට එය පෙර නොවූ විරූ ඉහළ අගයක් ගන්නා බව එම කාර්යාලය පවසයි. එසේ බලහත්කාරයෙන් අවතැන් කරවූ ජනතාවගෙන් 40%ක් ළමයින් ය.

2023 වසරේදී සෑම සරණාගතයින් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ම පාහේ (73%) පැමිණ ඇත්තේ, රටවල් 5කිනි: ඒ, ඇෆ්ඝනිස්ථානය, සිරියාව, වෙනෙසුවෙලාව, යුක්‍රේනය සහ සුඩානය යන රටවලින් බව අදාළ වාර්තාව සඳහන් කරයි.

සරණාගතයෙකු යනු කවුද?

"සරණාගතයෙකු යනු ගැටුම්වලින් හෝ පීඩා හේතුවෙන් පලා යාමට බලකෙරුණු සහ ආරක්ෂාව පතා ජාත්‍යන්තර දේශසීමාවක් තරණය කළ අයෙකි. ඔවුන්ට තම ජීවිතය හෝ නිදහස පරදුවට තබා තම රටට ආපසු යා නොහැක. එය සරණාගතයින්ට හිමි වන යම් යම් ආරක්ෂාවන් සහිත නීතිමය පදයක්," බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අර්ථ දක්වා තිබේ.

ලෝක සරණාගතයින්ගේ දිනය යනු කුමක් ද?

ලෝක සරණාගතයින්ගේ දිනය යනු ලොව පුරා වෙසෙන සරණාගතයින්ට ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද ජාත්‍යන්තර දිනයකි.

එය සෑම වසරක ම ජූනි 20 වන දිනට යෙදෙන අතර, ගැටුම් හෝ පීඩාවලින් බේරීමට තම මව් රටින් පලා යාමට බලකෙරුණු මිනිසුන්ගේ ශක්තිය සහ ධෛර්යය සමරන ජාත්‍යන්තර දිනයකි.

ලෝක සරණාගතයින්ගේ දිනය වැදගත් වන්නේ ඇයි?

ලෝක සරණාගතයින්ගේ දිනයේදී, සරණාගතයින්ගේ අයිතිවාසිකම්, අවශ්‍යතා සහ සිහින පිළිබඳ දීප්තියක් ඇති වන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ තුළින්, දේශපාලන කැමැත්ත සහ සම්පත් බලමුළු ගැන්වීමට උපකාරී වන අතර එමගින් සරණාගතයින්ට ජීවත් වීමට පමණක් නොව දියුණු වීමට අවස්ථාව උදා වන බව එම කාර්යාලය සඳහන් කරයි.

සෑම දිනක ම සරණාගතයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම වැදගත් වන අතර, ලෝක සරණාගතයින්ගේ දිනය වැනි ජාත්‍යන්තර දින ගැටුම් හෝ පීඩාවලින් පලා යන අයගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීමට උපකාරී වේ.

ලෝක සරණාගතයින්ගේ දිනය ආරම්භ වූයේ කවදා ද?

සරණාගතයින්ගේ තත්ත්වය සම්බන්ධ 1951 එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 50 වන සංවත්සරය සැමරීම සඳහා ලෝක සරණාගතයින්ගේ දිනය ප්‍රථම වරට 2001 වසරේ ජූනි මස 20 වන දින ගෝලීය වශයෙන් පවත්වන ලදී.

2000 වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එය ජාත්‍යන්තර දිනයක් ලෙස නිල වශයෙන් නම් කරනු ලැබීමට පෙර, එය අප්‍රිකානු සරණාගතයින්ගේ දිනය ලෙස හැඳින්විණි.