බංගලාදේශයේ හිටපු අගමැතිනියට මිනී මැරුම් චෝදනා යටතේ විමර්ශනයක්

Sheikh Hasina

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, රූත් කොමර්ෆර්ඩ්
    • Role, බීබීසී පුවත්

සිවිල් නොසන්සුන්තාවක් අතරතුරදී පොලිසිය විසින් පුද්ගලයෙකු ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් බංගලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පිළිබඳව මිනී මැරුම් චෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඩකා අගනුවර සති ගණනාවක් පුරා පැවති මෙම මාරාන්තික නොසන්සුන්තාවයෙන් පසුව, පෙර රජයේ තවත් ඉහළ පෙළේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහිව ද මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කෙරුණු ඉල්ලීම් ඉහළ යාමත් සමග මෙම මස මුලදී හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පළා ගියා ය.

ඇයට එරෙහිව නඩුව පවරා පැය කිහිපයකට පසු ඇය තම ඉල්ලා අස්වීමට හේතු වූ විරෝධතා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා ය.

රටින් පිටව ගිය පසු කළ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය හරහා ඇය ඉල්ලා සිටියේ, ඊට සම්බන්ධ අය "හඳුනාගෙන ඒ අනුව දඬුවම් දෙන" ලෙස ය.

හසීනාට එරෙහිව නැගුණු ඉල්ලීම්වලින් අවසන් වුණු ශිෂ්‍ය විරෝධතා පැවති සති ගණන තුළ 400කට වැඩි පිරිසක් මිය ගියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ, ඇයගේ අණ පරිදි පොලිසිය විසින් තබන ලද වෙඩි ප්‍රහාර වලිනි.

සිවිල් පුරවැසියෙකු වෙනුවෙන් හිටපු අගමැතිනියට එරෙහිව නඩු පැවරූ නීතිඥ මාමුන් මියා කියා සිටියේ, "චූදිතයින්ට එරෙහි මිනීමැරුම් නඩුව" භාර ගන්නා ලෙසට ඩකා අධිකරණය පොලිසියට නියෝග කර ඇති බව ය.

බංගලාදේශ නීතිය යටතේ අපරාධයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක පළමු පියවර මෙය යි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ව්‍යාපාරික අමීර් හම්සා මෙම ඝාතන නඩුව ජූලි මාසයේදී ගොනු කළේ, ප්‍රාදේශීය සිල්ලර වෙළෙන්දෙකු වන අබු සයීඩ් මාර්ගය හරහා යමින් සිටියදී හිසට වෙඩි තබා මරණයට පත් කිරීමේ සිද්ධියෙන් පසුව ය.

බීබීසී බංගලා පුවත් සේවයට අනුව, පොලිසිය රැස්ව සිටි ජනතාව වෙත කිසිදු වග විභාගයකින් තොරව වෙඩි තැබූ බවට චෝදනා කරමින් ජූලි 19 වන දින සිසුන් සාමකාමී විරෝධතාවක් පැවැත්වූ බව ඔහු අධිකරණයට පවසා ඇත.

හම්සා පැවසුවේ, තමාට සයීඩ් සමග සම්බන්ධයක් නොමැති නමුත් මෙම සිල්ලර වෙළෙන්දාගේ පවුලට නඩුව ගොනු කිරීමට මුදල් නොමැති නිසා තමන් අධිකරණය හමුවට ගිය බව ය.

"මම තමයි ෂෙයික් හසීනාගේ අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව මේ නීතිමය පියවර ගන්න ධෛර්යය පෙන්වපු පළවෙනි සාමාන්‍ය පුරවැසියා. නඩුව අවසානය වෙනකම් මම ඉන්නවා," ඔහු රොයිටර් පුවත් සේවයට පැවසීය.

මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට මහේස්ත්‍රාත් රාජේෂ් චෞද්රි පොලිසියට නියෝග කළ අතර විරෝධතා ආරම්භ වීමෙන් පසු හසීනාට එරෙහිව නඩුවක් ගොනු කෙරුණු පළමු අවස්ථාව ද මෙය යි.

හිටපු ප්‍රවාහන සහ පාලම් අමාත්‍ය ඔබයිදුල් ක්වාදර් ද විමර්ශනයට ලක්වන පිරිස අතර සිටියි.

වසර 15ක් බලයේ සිටි හසීනාගේ රජය පුළුල්ව පැතිර ගිය මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළබඳ චෝදනාවලට මෙන් ම බරපතළ දූෂණ චෝදනාවලට ද නිරන්තරයෙන් බඳුන් විය.

ආණ්ඩුව පෙරළා දැමූ පුළුල් විරෝධතා ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමට පෙර, සිවිල් සේවා රැකියාවල කෝටාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කෙරුණු සාමකාමී ඉල්ලීම් ලෙස ඇරඹුණු මෙම ශිෂ්‍ය විරෝධතා ආරම්භ වූයේ ජූලි මස මුලදී ය.

විරෝධතාකරුවන් "ශිෂ්‍යයන් නොව රට අස්ථාවර කිරීමට සැරසෙන ත්‍රස්තවාදීන්" ලෙස සඳහන් කරමින් ඔවුන් මර්දනය කිරීමට දැඩි පියවර ගන්නා ලෙස හසීනා පොලිසියෙන් ඉල්ලා සිටියා ය.

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් විසින් මෙහෙයවනු ලබන, මෑතදී පිහිටුවන ලද නව රජයේ විරෝධතාකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ද සිටිති.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු හසීනා යළි රටට පැමිණෙනු ඇති බව ඇයගේ පුත් සජීබ් වසෙද් ජෝයි ප්‍රකාශ කර තිබේ.