කන්‍යා සොයුරියන් එකොළොස්දෙනාගේ ඝාතනයේ අබිරහස

A painting depicting the execution of the nuns

ඡායාරූප මූලාශ්‍රය, By arrangement

ඡායාරූප ශීර්ෂ වැකිය, 1943 අගෝස්තු පළමුදා නාසින් කන්‍යා සොයුරියන් එකොළොස්දෙනා ඝාතනය කළේ ය

"ඒගොල්ලො මියගිය විදිය ඇත්තෙන්ම මේ කතාවෙ වැදගත් කොටසක්. නමුත් මට නම් ඒගොල්ලො අතිවිශේෂ දෙයක් කරපු සාමාන්‍ය කාන්තාවෝ, සාමාන්‍ය කන්‍යා සොයුරියො විතරයි. මේක විශේෂ වෙන්නේ ඒක යි."

අසූ වසරකට පෙර, 1943 අගෝස්තු පළමු දා, ජර්මානු නාසි බලකායන් රෝමානු කතෝලික කන්‍යා සොයුරියන් 11 දෙනෙකු ඝාතනය කළේ ය.

ක්ලාරා වොල්චික් කන්‍යා සොයුරිය 'නොවොගෘදෙක්හි ප්‍රාණත්‍යාගීන්' ලෙස වඩාත් ප්‍රසිද්ධ 'ආශිර්වාදලත් මේරි ස්ටෙලා සහ ඇගේ සගයින් දසදෙනා' භූමදානය කර ඇති ස්ථානයට නිතර යයි.

"මේ කන්‍යා සොයුරියෝ, මරණෙන් බේරුනාට වධ කඳවුරුවලට යන්න සිද්ධවුණු 120 දෙනෙක් බේරගන්න උදව් කළා," නැගෙනහිර යුරෝපයේ බෙලරුස්හි සිට දුරකථන මඟින් බීබීසීය හා කතාබහ කළ ක්ලාරා කන්‍යා සොයුරිය පැවසුවා ය.

Klara Volchek

ඡායාරූප මූලාශ්‍රය, Klara Volchek

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ලාරා කන්‍යා සොයුරිය දෙවන ලෝක යුද්ධයේ දී දිවි පිදූ කන්‍යා සොහොයුරියන්ගේ කතාව බෙදාගනියි

2000 වසරේ මාර්තු පස්වන දා දෙවැනි ජුවාන් පාවුළු පාප්වහන්සේ මෙම කන්‍යා සොයුරියන් ශුද්ධවන්තභාවයට ඔසවා තැබීය. ඒ, සාන්තුවරය ලැබීමට පෙර පියවර යි.

"සිරගතව සිටි නොවොගෘදෙක්හි වැසියන්ගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ ජීවිත පුද කිරීමට මේ කාන්තාවන්ට ශක්තිය ලැබුණේ කොහෙන්ද?" උන්වහන්සේ ප්‍රශ්න කළෝ ය.

නමුත් සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් මේ කන්‍යා සොයුරියන් මරා දැමුණුබවට කිසිදු පැහැදිලි සාක්ෂියක් නැත.

කරුණු සොයා යෑම

මේ කතාව ඇරඹෙන්නේ 1929 සැප්තැම්බර් හතරවැනි දා නාසරෙත්හි ශුද්ධ වූ පවුල යන නිකායෙන් කන්‍යා සොයුරියන් දෙදෙනෙකු නොවොගෘදෙක් නම් කුඩා ටවුමට පැමිණීමෙනි.

එකල 20,000ක් පමණ දෙනා විසූ මෙම ටවුමේ පාලනය සියවස් ගණනාවක් තිස්සේ අතින් අතට හුවමාරුවී තිබූ අතර, දෙවැනි ලෝක යුද්ධය ඇරඹුණු සමයේ දී එය පෝලන්ත පාලනය යටතේ පැවැතිණි.

1939 සැප්තැම්බරයේ දී මෙහි පාලනය සෝවියට් සමූහාණ්ඩුවේ බලකායන් යටතට පත්විය. කන්‍යා සොහොයුරියන්ට ඔවුන්ගේ කන්‍යාරාමයෙන් ඉවත්වගොස්, පල්ලියේ වසමේ වැසියන්ගේ නිවෙස්වල නවාතැන් ගැනීමට සිදුවිය.

Map of Nowogrodek

1941 දී නාසි ජර්මනියේ බලකායන් සෝවියට්වරුන් පරදා නගරයේ පාලනය ලබාගත්තේ ය. යළි කන්‍යාරාමයට යෑමට කන්‍යා සොහොයුරියන් දිරිමත් කරනු ලැබුණි. නගරයේ ජනගහණයෙන් අඩක් පමණම යුදෙව්වන් වූයෙන්, නාසින් ඔවුන් මරා දැමීම ඇරඹීය.

යුදෙව්වන් 5,100ක් ඝාතනය කෙරුණු පළමු සංහාරය 1941 දෙසැම්බරයේ දී සිදුවිය. 1942 අගෝස්තුවේ දී තවත් යුදෙව්වන් 4,500ක් ඝාතනය කෙරිණි.

1943 වන විට විවිධ බෙදුම්වාදී කණ්ඩායම් නගරය තුළ ක්‍රියාත්මකවෙමින් පැවැතිණි. එවසරේ ජුලි මාසයේ දී මේ ප්‍රතිරෝධය මැඬපැවැත්වීම සඳහා ගෙෂ්ටාපෝ, එනම් නාසින්ගේ රහස් පොලීසිය, විසින් පුද්ගලයින් 180ක් අත්අඩංගුවට ගැනුණි.

පූජකවරයෙකුගේ වාර්තාවක්

ඒ වන විට නොවොගෘදෙක්හි ඉතිරිව සිටි එකම කතෝලික පූජකවරයා වූයේ පූජ්‍ය අලෙක්සාන්දර් සියන්කිවිච් ය.

ගණනින් 12ක් වූ කන්‍යා සොයුරියන්ගේ සභාවේ වැඩිමහල් තැනැත්තිය 55 හැවිදිරි මේරි ස්ටෙලා කන්‍යා සොයුරිය වූ අතර, බාලම තැනැත්තිය වූයේ 27 හැවිරිදි මේරි බොරොමියා සොයුරිය යි.

අත්අඩංගුවට ගැනීම පිළිබඳ ආරංචියට 'ස්ටෙලා මව්තුමිය' ප්‍රතිචාර දැක්වූ අයුරු සියන්කිවිච් පියතුමා ලියා තැබීය.

"ඈ ඈට ආවේණික සරලබවින් යුතුව කිව්වා, 'අනේ දෙයියනේ, ජීවිත පරිත්‍යාගයක් ඕනේ නම් මේ පවුල් බැඳීම් එහෙම නැති අපෙන් ඒක ගන්න, බිරින්දෑවරුන්ට දරුවන්ට රැකවරණය සලසන්න තියෙනවා. ඒ අයව ඉතිරි කරන්න. අපි මේ වෙනුවෙන් යාඥා කරනවා' කියලා," ඔහු ලිවීය. ඔහුගේ ප්‍රකාශය පසුව එම කන්‍යා සොයුරියන්ගේ නිකාය විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

Young priest saying a prayer before the painting of the Martyrs of Nowogrodek

ඡායාරූප මූලාශ්‍රය, Klara Volchek

ඡායාරූප ශීර්ෂ වැකිය, කන්‍යා සොහොයුරියන්ගේ වීර පරිත්‍යාගය පිළිබඳ කථා තවමත් වන්දනාකරුවන් ප්‍රබෝධමත් කරයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"සිරකරුවො ඝාතනය කිරීමේ සැලැස්මට බාධා කරන්නට දිව්‍යමය බලය විසින් භාවිතා කෙරුණු පුද්ගලයින් හෝ උපක්‍රම ගැන කිසිදු වාර්තාවක සඳහන් වෙන්නේ නැහැ," ඔහු වැඩිදුරටත් සටහන් කළේ ය.

ඉන් සතියකට පසු, පොලිස් ස්ථානයේ පෙනී සිටින්නැයි කන්‍යා සොයුරියන්ට දැනුම්දෙනු ලැබුණි.

සියන්කිවිච් පියතුමාට අවසන් වරට ස්ටෙලා කන්‍යා සොයුරිය මුණගැසුනේ ජුලි 31 දා ය. එදා ඇය තුළ "කාංසාවක් හා සැකයක්" ඇතැ යි ඔහු හඳුනාගත් අතර, එය ඔවුන්ගේ අවසාන හමුව විය.

ඔවුන් වහල් සේවය සඳහා ජර්මනියට යවනු ඇතැ යි බලාපොරොත්තුවන වග ස්ටෙලා කන්‍යා සොයුරිය ඔහුට පවසා තිබේ.

පසුව, මැල්ගොසාතා කන්‍යා සොයුරියට කන්‍යාරාමයේ නවතින්නැ යි කියූ ස්ටෙලා කන්‍යා සොයුරිය අනෙක් කන්‍යා සොයුරියන් 10 දෙනෙකු සමග පොලිස් ස්ථානයට ගියා ය.

ඊට පසුදින සියන්කිවිච් පියතුමා දිව්‍ය පූජාව සැමරූ නමුත්, සාමාන්‍යයෙන් කන්‍යා සොයුරියන් අසුන්ගන්නා ස්ථානය හිස්ව තිබෙනු දුටුවේ ය. ඔහුට "මහත් ශෝකයක්" දැනුණි.

ඔහු පාපොච්ඡාරණයන්ට සවන්දීමට සැරසෙද්දී, එදා, 1943 අගෝස්තු පළමුදා, උදෑසන කන්‍යා සොයුරියන් ඝාතනයකර ඇතැ යි ඔහුට දැනගන්නට ලැබුණි.

ඔහුට එහි අරමුණ අපැහැදිලි විය. ගෙෂ්ටාපෝවට අවශ්‍යව තිබී ඇත්තේ, සෝවියට් ගරිල්ලන්ට සහාය දුන්බවට සැක කෙරෙන වෙනත් ආගමික නිකායක සාමාජිකයින් ඝාතනය කිරීමටබවත්, අනන්‍යතාව වරදවා වටහාගැනීමෙන් කන්‍යා සොයුරියන් මීට ගොදුරුවූබවත් දූසමාන ආරංචි පූජකවරයාට අසන්නට ලැබුණි.

අනතුරුව සියන්කිවිච් පියතුමා ද සැඟවුණේ ය. 1945 මාර්තුවේ, මෙම ප්‍රදේශයේ නාසින් පරාජයට පත් කළ පසු, පියතුමා කන්‍යා සොයුරියන්ගේ සිරුරු ගොඩගැනීමටත්, ඒවා ඔවුන්ගේ පල්ලිය ආසන්නයේ මිහිදන් කිරීමටත් නායකත්වය ගත්තේ ය.

පරස්පර සාක්ෂි

පූජකවරයාගේ වාර්තාව, තමාරා වර්ශිට්ස්කයා විසින් සිදුකෙරුණු පර්යේෂණ කටයුතු සමග සමපාත වේ. ඇය 1992 දී නොවොගෘදෙක්හි යුදෙව් ප්‍රතිරෝධයේ කෞතුකාගාරය පිහිටවූවා ය. විශ්‍රාම යෑමෙන් පසුව ද ඇය යුදෙව් සමූලඝාතනය පිළිබඳ පර්යේෂණයන්හි යෙදෙයි.

"මම දන්නා තරමින්, මේ සිද්ධි දෙක එකපිට එක වැටෙන්නෙ නෑ. ඒ සිද්ධි දෙක එකිනෙකට ඉතාම ආසන්නයේ සිද්ධවෙලා තිබුණට, ඒවයෙ සම්බන්ධයක් තියෙන වගක් පේන්න නැහැ," නොවොගෘදෙක්හි සිට බීබීසීය ඇමතූ වර්ශිට්ස්කයා පැවසුවා ය.

Tamara Vershitskaya

ඡායාරූප මූලාශ්‍රය, Tamara Vershitskaya

ඡායාරූප ශීර්ෂ වැකිය, කන්‍යා සොහොයුරියන්ගේ ඝාතනය සහ පෝලන්ත සිරකරුවන් ඝාතනය නොකිරීමට ගත් තීරණය අතර සම්බන්ධයක් සොයාගැනීමට තමාරා වර්ශිට්ස්කයාට නොහැකිවිය

2011 දී ඇය යුදෙව් සමූලඝාතනය ඇසින් දුටුවන්ගේ සහ දිවි ගලවාගත්තවුන්ගේ විඩියෝ සම්මුඛ සාකච්ඡා සිදු කිරීම සඳහා එක්සත් ජනපදයේ සමූලඝාතනය අනුස්මරණ කෞතුකාගාරය සමග වැඩ කළා ය.

"මේ සිද්ධිය ඇහින් දැකලා මට කියපු එකම එක්කෙනා මාරියා කරවයිස්කා විතර යි. ජර්මනියට යවපු පෝලන්ත ජාතිකයො අතරෙ එයාගෙ සහෝදරයො දෙන්නා ඉඳලා තිබුණා," වර්ශිට්ස්කයා පවසයි.

පෝලන්ත ජාතිකයින් 112 දෙනෙකු ජර්මනියට යැවූබව මාරියා ඇයට පවසා තිබේ.

වර්ශිට්ස්කයා, ලේඛනාගාරයේ තිබී ජර්මානු භාෂාවෙන් ලියැවුණු ලැයිස්තුවක් සොයාගත්තා ය. අවසානයේ (බොහෝවිට ජුලි 24 දා) ජර්මනියට යැවුණු පෝලන්ත ජාතිකයින් 95 දෙනාගේ නම් එහි අඩංගුවිය.

සම්මුඛ සාකච්ඡාවේ දී, මාරියා ඇගේ සොයුරන් අත්අඩංගුවට පත්වූ අයුරු පිළිබඳව පැවසුවා ය.

"මගෙ අයියලා මල්ලිලගෙන් තුන්දෙනෙක් අහුවුණා, ඒ වුණාට එක්කෙනෙක්ට පැනගන්න පුළුවන් වුණා," ඇය පැවසුවා ය. "හොර රහසේ බෙදුම්වාදී කණ්ඩායමක් පවත්වාගෙන යනවා කියලා එයාලට චෝදනා කරලා තිබුණා. ජර්මන්කාරයෝ හිටියේ එයාලව මරන්න. [ඒ වෙද්දී] මිනී වළවල් පවා හාරලා තිබ්බෙ."

Maria Karavaiska from a video interview

ඡායාරූප මූලාශ්‍රය, USHMM

ඡායාරූප ශීර්ෂ වැකිය, මාරියා කරවයිස්කාගේ සොයුරන් දෙදෙනා 1943 ජුලි මාසයේ දී වහල් සේවය සඳහා ජර්මනියට යවනු ලැබුණි

මුල දී, ගෙෂ්ටාපෝව පුද්ගලයන් 180 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. මේ අත්අඩංගුව ගැනීම සිදුකර තිබුණේ, බලයලත් නිලධාරියා වූ විල්හෙල්ම් ට්‍රෞබ් එහි නොසිටි අවස්ථාවක ය. ඔහු ජර්මනියේ ඉඩම්හිමි පවුලකින් පැවැත එන්නෙකු විය.

අත්අඩංගුවට ගැනීම පිළිබඳව සැලවූ වහාම මින්ස්ක් අගනුවරට ගිය ඔහු, සිරකරුවන් ඔහුගේ ගොවිපොළේ වැඩ කිරීමට යවන ලෙස උසස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත්ව ඇතැ යි, වර්ශිට්ස්කයා පවසයි.

"ට්‍රෞබ් පෝලන්ත භාෂාවෙන් එයාගෙ අයියලා මල්ලිලා එක්ක කතාබහ කරලා, එදා රෑ ගෙවල්වල ගතකරලා, පහුවදා ගමනට උවමනා දේවල් අරන් එන්න කිව්වා කියලා මාරියා මට කිව්වා.

"පහුවදා හැමෝම හිරකාරයින්ට දැනුම්දීලා තිබුණා දුම්රිය ස්ථානයට එන්න කියලා," ඇය වැඩිදුරටත් පැවසුවා ය.

Typed German list from archives showing names of Polish men sent to Germany as forced labour in July 1943

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, බලහත්කාර ශ්‍රමය සඳහා ජර්මනියට පිටුවහල් කරන ලද පෝලන්ත පුරුෂයින්ගේ ලැයිස්තුවේ අංක 52 මාරියාගේ සොහොයුරෙකි

"[ඒ පිරිස] අත්අඩංගුවට ගත්තයින් පස්සෙ, පෝලන්ත පවුල් පල්ලියට ගිහින් උදව් ඉල්ලුවා කියන එක සම්පූර්ණ ඇත්තක්," වර්ශිට්ස්කයා කියයි.

"කන්‍යා සොයුරියො යාඥා කළා. යාඥාව අතරෙ දී වැඩිමහල් කන්‍යා සොයුරිය, 'පරිත්‍යාගයක් සිදුකළ යුතු නම් ඒ අපේ ජීවිත වේවා' කියලා කිව්වා වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මම හිතනවා ඇත්තටම එහෙම වෙන්න පුළුවන් කියලා," වර්ශිට්ස්කයා කියා සිටියි.

නමුත් මේ තැනැත්තන්ගේ ඉරණම සම්බන්ධයෙන් කන්‍යා සොයුරියන් හා නාසින් අතර කතිකාවක් සිදුවුණුබවට කිසිදු සාක්ෂියක් නැතැ යි ඇය පවසයි.

"කන්‍යා සොයුරියන්ව අත්අඩංගුවට ගත්ත හේතුවට මේ පෝලන්ත ජාතිකයො නිදහස් කරන එක සම්බන්ධයි කියලා පෙන්නේ නැහැ," වර්ශිට්ස්කයා පැවසුවා ය.

දිව්‍යමය ඇමතුමක්

බලහත්කාර ශ්‍රමය සඳහා ජර්මනියට රැගෙන ගිය සියලුම දෙනා යුද්ධයෙන් දිවි ගලවාගත්බව වර්ශිට්ස්කයා පවසයි.

නාසරෙත්හි ශුද්ධ වූ පවුල සභාවේ ප්‍රධානියා වන ඇමබිලිස් කන්‍යා සොයුරිය, මෙම සිදුවීම පිළිබඳ පල්ලියේ ලියකියවිලි අප හා බෙදාගත්තා ය.

"මෙම කන්‍යා සොයුරියන්ගේ ජීවිත ගැන දන්නා සියල්ලෝම, කන්‍යා සොයුරියන් දෙවියන්වහන්සේත් අසල්වැසියාත් ගැන ඇති විශ්වාසය සහ ප්‍රේමයෙන් මඟපෙන්වීම ලබා ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කළබවට ඒත්තු ගෙන සිටිති," එම ලියවිල්ලක සඳහන් ය.

ස්වාධින සාක්ෂි නොමැතිබව සම්බන්ධයෙන් වැඩිදුර විමසූ විට ඇමබිලිස් කන්‍යා සොයුරිය මෙසේ පැවසුවා ය: "කන්‍යා සොයුරියෝ ජීවිත පරිත්‍යාගයේ වචන ප්‍රකාශ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා දෙවියන්වහන්සේ ඔවුන්ගේ පරිත්‍යාගය පිළිගත්තා කියලා."

Sister Klara at the grave of the 11 nuns

ඡායාරූප මූලාශ්‍රය, Klara Volchek

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ලාරා කන්‍යා සොයුරියට කන්‍යා සොහොයුරියන්ගේ සුසානය විශේෂ වැදගත්කමක් දරයි

නොවොගෘදෙක්හි ආගමික ප්‍රජාව කෙමෙන් අඩුවී යමින් පැවතියත්, ක්ලාරා කන්‍යා සොයුරිය ඇගේ විශ්වාසයේ තරයේ එල්බගෙන සිටියි.

"මම හිරකාරයින්ව බේරාගත්තු අපේ සොයුරියන්ගේ පරිත්‍යාගය ගැන විශ්වාස කරනවා," ඇය පවසයි.

"මිනිස් තර්කයෙන් කරුණු වෙනස් වෙනස් විදියට අර්ථකථනය කරනවා කියලා මම දන්නවා. නමුත් දෙවියන්වහන්සේට ඔවුන්ගේ පරිත්‍යාගය ඇහුණා. උන්වහන්සේ ඒක පිළිගත්තා."

අතිරේක වාර්තාකරණය ලූ යැං විසිනි