හිට්ලර්ට ඕනවුණේ ආර්ය වංශය විනාශ කිරීමද?

chaefer, Ernst *1912-1992+Zoologe, D Leiter der SS-Tibetexpedition,'SS-Wissenschaftler' 1934 zum Sturmführer ehrenhalber ernannt.- mit Tibetern bei einem Gastmahl in Lhasa, 1939.In der Mitte E.Schaefer, daneben (l) Tsarong Dzasa, 2.v. links Bruno Beger, 4.v.l. Edmund Geer (beide Anthropologen), rechts Karl Wienert neben dem Tibetaner Möndro.

ඡායාරූප මූලාශ්‍රය, ullstein bild Dtl/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෲනෝ බීගර් (වමේ සිට දෙවැන්නා) සහ අනෙක් පිරිස, 1939 වසරේ ටිබෙට් දේශයේ ලාසාහි පැවැති රැස්වීමක දී

'ආර්ය වර්ගයේ' මූලයන් සෙවීම සඳහා, ජර්මනියේ නාසි පක්ෂයේ ප්‍රධානියෙකු මෙන්ම මහා යුදෙව් සංහාරයේ නිර්මාතෘන්ගෙන් අයෙකු වූද හයින්රික් හිම්ලර් ගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වසර 1938 දී ටිබෙට් දේශය කරා පිටත්කර හැරියේ ය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට වසරකුත් සුළු කාලයක් තිබිය දී, මේ ජර්මානුන් කණ්ඩායම හොර රහසේම ඉන්දියාවේ නැගෙනහිර දේශසීමාව ආසන්නයට ගොඩබටහ.

ඔවුන් යෙදී සිටියේ "ආර්ය වර්ගයේ සම්භවයේ මූලය" සොයාගැනීමේ මෙහෙවරක යි.

ඇඩොල්ෆ් හිට්ලර් විශ්වාස කළේ නෝර්ඩික "ආර්ය" ජනයා වසර 1500කට පමණ පෙර උතුරු දිශාවෙන් ඉන්දියාවට ඇතුළු වූ බවත්, එම ආර්ය වර්ගයා "ආර්ය නොවන" ස්වදේශිකයින් සමග මුහුවීමේ "අපරාධය" සිදුකිරීම හේතුවෙන් ඔවුන් පෘථිවියේ අනෙකුත් සියලුම මනුෂ්‍යයාට වඩා වාර්ගිකව උසස් තත්ත්වයට පත්කළ ගුණාංගයන් නැතිව ගිය බවත් ය.

හිට්ලර් ඉන්දියානු ජනයා කෙරෙහිත්, ඔවුන්ගේ නිදහස් අරගලය කෙරෙහිත් සිය තදබල විරෝධය නිතර ප්‍රකට කළ අතර, ඔහුගේ කතාවන්, ලිපි, සහ විවාදයන් තුළින් ඔහුගේ එම මනෝභාවය ප්‍රකාශ කෙරිනි.

එසේ වුවද හිට්ලර්ගේ ඉහළම ලුතිනන්වරයෙකු හා SS බලකායේ ප්‍රධානියා ද වූ හිම්ලර්ට අනුව, ඉන්දියානු අර්ධද්වීපය වෙත සමීප අවධානයක් යොමුකර බැලීම තවමත් සුදුසු ය.

ටිබෙටය මෙම කතාවට ඈඳෙන්නේ මෙතැනිනි.

සුදු සම ඇති, උසස්, නෝර්ඩික ජන වර්ගයක් පිළිබඳ අදහස දේව භාෂිතයක් මෙන් පිළිගත් පිරිස, වරක් "පිරිසිදුම ලෙය" දැරූ මිනිසුන් කොට්ඨාසයට වාසභූමිය වූ බව කියන 'ඇට්ලන්ටිස්' නම් අතුරුදන් වූ, සංකල්පිත නගරයේ කතාව විශ්වාස කරන්නෝ වූහ. එංගලන්තයත් පෘතුගාලයත් අතර අත්ලාන්තික සාගරයේ කොහේ හෝ තැනක පිහිටා තිබුණේයැ යි විශ්වාස කෙරෙන මෙම මිථ්‍යාමය දූපත, දිව්‍යමය හෙණ පහරක් වැදීමෙන් අනතුරුව මුහුදේ ගිලී ගියබව කියැවේ.

German dictator Adolf Hitler and German Nazi leader and chief of police Heinrich Himmler (left) watching Stormtroop manoeuvres.

ඡායාරූප මූලාශ්‍රය, Keystone/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇඩොල්ෆ් හිට්ලර් සහ නාසි පොලිස් ප්‍රධානී හයින්රික් හිම්ලර් (වමෙන්) - මේ දෙදෙනාම ආර්ය ජාතිය පිළිබඳ මිත්‍යාව තදින් පිළිගත්හ

එම ව්‍යසනයෙන් දිවි ගලවාගත් සියලු ආර්යයන් වඩාත් ආරක්‍ෂිත ස්ථානයන් වෙත සංක්‍රමණය වූයේයැයි විශ්වාස කෙරිනි. හිමාලයානු කලාපය, විශේෂයෙන්ම කිවහොත් "ලෝකයේ පියස්ස" ලෙස ප්‍රසිද්ධ වූ නිසාවෙන් ටිබෙටය එවැනි රක්ෂාස්ථානයක් වූබව සැලකුනි.

1935 දී, හිම්ලර් විසින් ඛේදයෙන් ද මහා ජලගැල්මෙන් ද පසු ඇට්ලන්ටිස්හි මිනිසුන් කොහේ ගියේ ද යන්නත්, ඒ මහා වර්ගයේ ලේශයන් සොයාගත හැකි ලෙස තවමත් ඉතිරිව ඇත්තේ කොතැන ද යන්නත් සොයා ගැනීම සඳහා "ආනන්එයාබ" - නැතහොත් 'වංශානුගත උරුමය පිළිබඳ කාර්යාංශය' - නම් SS ඒකකයක් පිහිටුවීය.

1938 දී ඔහු මෙම "සෙවීමේ මෙහෙයුම" සඳහා ජර්මානු ජාතිකයින් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ටිබෙට් දේශය වෙත යැවීය.

මෙම කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු අන් අයගෙන් කැපී පෙනුනි. ඉන් එක් අයෙකු වූයේ විසි අට හැවිරිදි අර්න්ස්ට් ෂේෆර් ය. සහජයෙන්ම දක්ෂ සත්ත්ව විද්‍යාඥයෙකු වූ ඔහු ඉන් පෙර දෙවරක් ඉන්දු-චීන-ටිබෙට් දේශ සීමාවට ගොස් ඇති අයෙකි. ෂේෆර්, හිම්ලර් අනුග්‍රහය දැක්වූ ටිබෙට් ගවේශනයේ සාමාජිකයෙකු වීමට බොහෝ කලකට පෙර, 1933 දී නාසින් ජර්මනියේ බලය අල්ලාගැනීම සිදුවූ ආසන්නයේ SS බලකායට බැඳී තිබුණි.

ෂේෆර් දඩයමේ යෑම පිළිබඳ දැඩි ආශාවකින් පසුවූ අතර, සිය බර්ලින් නිවස්නය දඩයම් කළ සතුන්ගේ හිස් ආදී ජයකුසලානයන්ගෙන් පිරවීමට ප්‍රිය කළේය. එක් දඩයම් ගවේශනයක දී ෂේෆර් තමාත් බිරිඳත් ගමන් කළ බෝට්ටුවේ සිට තාරාවෙකුට වෙඩි තැබීමට උත්සාහ කළේ ය. ඉලක්කය ගනිමින් සිටි අතරතුරේ ලිස්සා ගිය ඔහු අහම්බයෙන් සිය බිරිඳගේ හිසට වෙඩි තැබීම හේතුවෙන් ඇය මරණයට පත්විය.

කණ්ඩායමේ සාමාජිකයින් අතරින් කැපී පෙනුනු අනෙකා වූයේ 1935 දී SS බලකායට බැඳුනු තරුණ මානව විද්‍යාඥයෙකු වූ බෲනෝ බීගර් නම් අයෙකි. බීගර් ටිබෙට් ජාතිකයින්ගේ කපාලයේ සහ මුහුණේ අංග ලක්ෂණ මැන බලා වෙස්මුහුණු සෑදූ අතර, එසේ සිදු කරන්නේ "විශේෂයෙන් එම කලාපයේ වෙසෙන නෝර්ඩික වර්ගයේ වර්ගයාගේ විශාලත්වය, මූලයන්, වැදගත්කම, හා විකාශනය පිළිබඳ කරුණු එකතු කිරීමටයැ" යි පැවසීය.

ජර්මානුන් පස්දෙනා රැගත් නෞකාව 1938 වසරේ මැයි මාසයේ මුල දී කොළඹ වරායේ නැංගුරම් ලෑවේ ය. එතැනින් මදුරාසිය (වර්තමාන චෙන්නායි නගරය) බලා යන නැවක නැගි ඔවුහු, මදුරාසියේ දී තවත් නැවක නැග කල්කටාව වෙත ගියහ.

Schaefer, Ernst *1912-1992+Zoologe, DLeiter der SS-Tibetexpedition,'SS-Wissenschaftler' 1934 zumSturmführer ehrenhalber ernannt.- Rückkehr der Expeditionsteilnehmer nachDeutschland; Ankunft auf dem FlughafenBerlin-Tempelhof: V.l.n.r: Ernst Krause,Bruno Beger, Ernst Schäfer, Edmund Geerund Karl Wiener.5.8.1939

ඡායාරූප මූලාශ්‍රය, ullstein bild Dtl/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මානුන් පස්දෙනා රැගත් නැව 1938 වසරේ මැයි මාසයේ දී කොළඹ වරායට පැමිණියේ ය

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලධාරීහු මේ සංචාරක ජර්මානුන් සම්බන්ධයෙන් පරික්ෂාකාරී වූ අතර, ඔවුන් ඔත්තුකරුවන්යැ යි සිතූහ. එනිසා ජර්මානුවන්ට ඉන්දියාව හරහා යෑම සඳහා අවසර දීමට මුල දී ඔවුහු මැලිවූහ. එවකට බ්‍රිතාන්‍යයන් විසින් පාලනය වූ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත, "ඉන්දියාවේ ගෙස්ටාපෝ ඒජන්තයෙක්" යන චෝදනාත්මක ශීර්ෂ පාඨයක් පවා පළ කළේ ය.

එවකට ස්වාධීන කඳුකර රාජ්‍යයක් වූ ඊසානදිග ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ, ගැංටොක් අගනුවරට පත්කර සිටි බ්‍රිතාන්‍ය දේශපාලන නිලධාරියා ද එම කණ්ඩායමට සිකීම් හරහා ටිබෙටයට ඇතුළුවීමට අවසර ලබාදීම ගැන උද්යෝගයක් පළකළේ නැත.

නමුත් අවසානයේ දී නාසි කණ්ඩායමේ අධිෂ්ඨානය ජයග්‍රහණය කළේ ය. එවසරේ අවසානය වන විට, සිය කොටළුවන්ගේත් ගමන් මලුවලත් ස්වස්තික කොඩි ගැටගසාගත් ජර්මානුවෝ පස්දෙනා ටිබෙටයට ඇතුළු වූහ.

ටිබෙටයට ස්වස්තිකය සාර්වත්‍රික ලකුණක් වූ අතර, එරට භාෂාවෙන් "යුන්ග්ඩ්‍රං" යනුවෙන් හැඳින්විණි. ෂේෆර් සහ කණ්ඩායම ඉන්දියාවේ නතරව සිටි කාලය තුළ ද ඔවුන් බොහෝ ස්වස්තිකයන් දකින්නට ඇත. චිරාත් කාලයක පටන් හින්දූන් එය වාසනාවේ සංකේතයක් ලෙස සලකයි. අද ද, ඉන්දියාවේ නිවෙස්වල පිට බිත්තිවලත්, ආරාම සහ කෝවිල් තුළත්, මාර්ගය දෙපසත්, ත්‍රිරෝද රථ සහ ලොරිවල පිටුපසත් ස්වස්තිකයන් ලකුණුකර ඇති අයුරු දැකගත හැකිය.

මේ අතරේ ටිබෙටයේ තත්ත්වය වෙනස් පැවතුනි.

එරට 13 වන දලයි ලාමාවරයා 1933 දී අපවත්ව සිටි අතර නව දලයි ලාමාවරයාගේ වයස අවුරුදු තුනක් පමණක් වූයෙන්, බෞද්ධාගමික ටිබෙට් රාජධානිය පාලනය වූයේ උපරාජයෙකු අතිනි. උපරාජයා මෙන්ම ටිබෙටයේ සාමාන්‍ය වැසියන් ද ජර්මානුන්ට අතිවිශිෂ්ට ලෙස සැලකුම් කළ අතර, වෙස්මුහුණු සෑදූ බීගර් ටික කලක් ටිබෙට්වාසීන් සඳහා ආදේශක වෛද්‍යවරයෙකු වශයෙන් පවා කටයුතු කළේ ය.

ERNST SCHAFER (1910-1992). German hunter and zoologist. Schafer (third from left) on his third expedition to Tibet, this one sponsored by the SS Ahnenerbe organization. Photographed in Shigatze, Tibet, 1939

ඡායාරූප මූලාශ්‍රය, ullstein bild Dtl/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අර්න්ස්ට් ෂේෆර් (වමේ සිට තෙවැන්නා) 1939 වසරේ ටිබෙටයේ දී

මේ ටිබෙට් බෞද්ධයන් නොදැන සිටි කරුණ නම් නාසීන්ගේ විපරීත පරිකල්පනය තුළ, හින්දු ආගම සේම බුද්ධාගම ද ටිබෙටයට පැමිණි ආර්යයන් දුර්වල කළ, ඔවුන්ගේ ධීරභාවය සහ ශක්තිය නැතිවීමට හේතුවූ ආගම වූ බව යි.

සත්ත්ව විද්‍යාව සහ මානව විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි විද්‍යාත්මක පර්යේෂණ පවත්වන මුවාවෙන්, ඔවුන්ගේ සැබෑ "පර්යේෂණ" කටයුතුවල යෙදීමට ෂේෆර් සහ කණ්ඩායම යම් ඉඩකඩක් ලද විටම වාගේ යුද්ධය ආරම්භය වූ අතර, එනිසා 1939 අගෝස්තු මාසයේ දී ජර්මානු ගවේශනය හිටි අඩියේම නවතා දමනු ලැබුණි.

ඒ වන විට, ටිබෙට් ජාතිකයින් 376ක ගේ කපාලයන් සහ හැඩරුව මැනගැනීමටත්, සේයාරූ 2000ක් ලබාගැනීමටත්, "පුද්ගලයින් දාහත් දෙනෙකුගේ හිස්, මුහුණු, අත්, සහ කන්වල අච්චු සාදාගැනීමටත්", "තවත් 350 දෙනෙකුගේ ඇඟිලි සහ අත්ල සලකුණු එකතුකර ගැනීමටත්" බීගර් සමත්ව සිටියේ ය.

එසේම ඔහු "ජනවාර්ගික කලාකෘති" 2000ක් ද එක්රැස්කර ගෙන තිබූ අතර, එම කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු කළු-සුදු සේයා පටල මීටර 18,000ක රූගත කළ දර්ශනයන් ද, ඡායාරූප 40 000ක් ද ලබාගෙන තිබුණි.

ඔවුන්ගේ ගවේශනය අතරමඟ නවතා දැමුණු හෙයින් අවසන් මොහොතේ දී හිම්ලර් එම කණ්ඩායමට කල්කටා නගරයේ සිට ගුවන් මඟින් පිටත්වීමට කටයුතු සූදානම් කළේ ය. ඔහු යානය මියුනිච් වෙත ගොඩබසින විට ඔවුන් පිළිගැනීම සඳහා තමාම පැමිණියේ ය.

ෂේෆර් යුධ සමයේ දී සැල්ස්බර්ග්හි මාළිගයක විසීමට ගිය අතර, තමා ටිබෙටයෙන් ගෙනා "වස්තුවෙන්" බොහොමයක් ද එහි රැගෙන ගියේ ය. නමුත් 1945 වසරේ මිත්‍ර හමුදා ආක්‍රමණයේ දී සැල්ස්බර්ග් මාළිගය ද වටලනු ලැබුණි. වැටලීම් අතරතුරේ දී බොහෝ ටිබෙට් පින්තූර සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශයට පත්විය.

ගවේශනයේ අනෙකුත් ඊනියා "විද්‍යාත්මක ප්‍රතිඵලයන්ට" ද යුද්ධයේ දී අත්වුණේ සමාන ඉරණමකි: ඒවා එක්කෝ අතුරුදන්වී හෝ විනාශවී ගිය අතර, නාසින්ගේ ලැජ්ජාසහගත අතීතය නිසාවෙන් යුද්ධයෙන් පසු ද කිසිවෙකුත් ඒවා සොයාගැනීමට උත්සාහ කළේ නැත.