ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවසේ පොලිස් ස්ථානයක්

ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස සහිත ගොඩනැගිල්ල "උදාසීන කරවීමේ" අරමුණෙන් එය පොලිස් ස්ථානයක් බවට පත් කිරීමේ සැලැස්මක් ඔස්ට්‍රියාව එළිදරව් කළේය.
දීර්ඝ කාලීනව පැවති මතභේදවලින් අනතුරුව අනිවාර්ය මිලදී ගැනීමේ නියෝගයක් යටතේ මෙම ගොඩනැගිල්ල 2016 දී ඔස්ට්‍රියානු රජය විසින් මිලදී ගන්නා ලදී.
එරට බලධරයන් නිවේදනය කළේ, ලබන නොවැම්බර් මාසය වන විට මෙම ගොඩනැගිල්ල පොලිස් ස්ථානයක් බවට පත් කරනු ඇති බවය.
ජර්මානු දේශ සීමාව ආසන්නයේ Braunauහි පිහිටි මෙම ගොඩනැගිල්ල නාසි හිතවාදීන්ගේ ආකර්ෂණයට ලක් වීම නතර කරමින් එය පොලිස් ස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයක් කටයුතු ආරම්භ කර තිබේ.
"ආඥාදායකයෙකු සහ සමූහ ඝාතකයකු උපත ලද නිවසේ සිට අලුත් පරිච්ඡේදයක් අනාගතයට විවෘත වනු ඇත," ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය Karl Nehammer අඟහරුවාදා (මැයි 3) වාර්තාකරුවන් ඉදිරියේ පැවසීය.
කියවන්න:
මෙම ගොඩනැගිල්ලේ පිටත පෙනුම වෙනස් කිරීම සඳහා ආයතන 12ක් සැලසුම් ඉදිරිපත් කර තිබූ අතර අවසානයේ Marte Marte නමැති ආයතනයට එම කාර්යභාරය පවරා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිට්ලර්ගේ උපත සිදු වූ මෙම ගොඩනැගිල්ලේ මුහුණතට අලුත් පෙනුමක් ලබා දීමටත් එහි වහලය වෙනස් කිරීමටත් මෙම ආයතනය කටයුතු කරමින් සිටී.
2023 දී නිම කිරීමට සැලසුම් කර ඇති මෙම කටයුත්ත සඳහා ඩොලර් මිලියන 5 කට අධික මුදලක් වැය වනු ඇත.
"මෙහි ඒකායන අරමුණ බවට පත්වෙලා තිබෙන්නේ මේ මුළු ස්ථානය ම උදාසීනකරණයකට පත් කරවීමයි," ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන Harmann Feiner වාර්තාකරුවන්ට ප්‍රකාශ කළේය.
හිට්ලර් උපන් ස්ථානය මෙය බව දැක්වෙන සලකුණු කිහිපයක් සහ 'ෆැසිස්ට්වාදය යළි කිසි දා ඇති නොවේ' යනුවෙන් සඳහන් කළ ගලක් මෙම ගොඩනැගිල්ල ඉදිරිපිට පවතින අතර ඒ සියල්ල වියානා නුවර කෞතුකාගාරයකට ගෙන යාමට නියමිතය.
ඇඩෝල්ෆ් හිට්ලර් උපන් මෙම මහල් නිවාස ගොඩනැගිල්ල 17 වන සියවසට අයත්ය. එය ඉදි කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1889 දීය.
හිට්ලර් ඉපදී සති කිහිපයකින් ඔහුගේ දෙමාපියන් ම ප්‍රදේශයේ ම වෙනත් නිවසක පදිංචියට ගොස් ඇත. හිට්ලර්ට වයස අවුරුදු තුන සපිරෙද්දී ඔවුන් එම නගරයෙන් පිටව ගොස් තිබේ.
නමුත් අද වන තුරු නාසි හිතවාදීහු හිට්ලර් උපන් නිවස සහිත මෙම ගොඩනැඟිල්ල නැරඹීමට තවමත් පැමිණෙති.
නාසි හිතවාදීහු කණ්ඩායම් වශයෙන් සෑම වසරක ම හිට්ලර්ගේ ජන්ම දිනය සැමරීම සඳහා මෙම ස්ථානයට පැමිණෙති.
ඔස්ට්‍රියානු බලධාරීන්ගේ අරමුණ වී ඇත්තේ අනාගතයේදී එවැනි පිරිස් මෙම ස්ථානයට ඇදී ඒම වළක්වාලීමයි.
ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස සහිත මෙම මහල් නිවාස ගොඩනැගිල්ල ඔස්ට්‍රියානු රජය සන්තකයට පත්වූයේ 1916 දීය. ආණ්ඩුව එම ගොඩනැගිල්ල මිලදී ගත්තේ ඇමරිකානු ඩොලර් 350,000කටය.
එවකට ඔස්ට්‍රියානු ආණ්ඩුව ප්‍රකාශ කළේ මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට අපේක්ෂා කරන බව ය. නමුත් එහි පැරණි හිමිකරු එම තීරණයට එරෙහිව අධිකරණය වෙත යාම නිසා දීර්ඝකාලීන නීති ගැටුමක් මතු විය.
පැරණි හිමිකරුට මුලින් ගෙවූ මුදලට වඩා තවත් ඩොලර් මිලියන 1.7 ක් ගෙවන ලෙස දිස්ත්‍රික්ක අධිකරණයක් නියෝග කළේ එම ස්ථානයේ පවතින ඓතිහාසික පසුබිම ඉස්මතු කරමිනි.
ඔස්ට්‍රියාව 1938 දී ජර්මනියේ නාසි පාලනයට යටත් වූ රටකි.
නාසි පාලනයට ගොදුරු වූ මුල් ම රටවල් අතරින් එකක් ලෙස ඔස්ට්‍රියාව වසර ගණනාවක් පැවතිණි.









