හිට්ලර් උපන් නිවස බිඳ හෙළීමේ සැලසුම අත්හිටුවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම අත්හිටවූ බව ඔස්ට්‍රියානු ආණ්ඩුව පවසයි.
ඒ ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම සිය නිර්දේශයක් නොවන බවට ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව විසින් කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවය.
සඳුදා ස්වදේශ කටයුතු අමාත්‍ය වොල්ෆ්ගැන්ග් සොබොත්කා ප්‍රකාශ කළේ විශේෂඥ කමිටුවක් විසින් ගොඩනැගිල්ල විනාශකළ යුතු බවට තීරණයක් ගෙන ඇති බවය.
සංකේතාත්මක බලය
නව නාසිවාදීන්ගේ ප්‍රණාමයට පාත්‍රවීම වැළැක්වීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබූ ගොඩනැගිල්ල විනාශ කර දැමීමට ඔස්ට්‍රියානු බලධාරීන් තීරණය කළ බව මින් පෙර වාර්තාවූයේ ඒ අනුවය.
නමුත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව පවසන්නේ හිට්ලර් උපත ලද නිවස කඩා ඉවත්කිරීමට ඔවුන් තීරණයක් ගෙන නොමැති බවය.
ඒ අනුව පරිපාලන ගොඩනැගිල්ලක් වශයෙන් වෙනස් කිරීමට හෝ එහි සංකේතාත්මක බලය ගිලිහී යන ආකාරයේ ඊට සමාන විකල්ප පියවරක් ගන්නා ලෙස එම කටුව නිර්දේශ කර ඇත.
1889 අප්‍රේල් 20 වැනිදා හිට්ලර් උපත ලැබුවේ ඔස්ට්‍රියා-ජර්මානු දේශ සීමාවේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලේ ඉහළම මාලයේ කුළියට ගෙන තිබූ කාමරයකදීය.
නාසි පාලන කාලය තුළ දී නගරයට ඇදී ආ සංචාරකයන් හේතුවෙන් එය හිට්ලර් පුදබිමක් බවට පත්විය.
1944 දී නාසීන් ගේ පාලනය බිඳ වැටෙද්දී එය වැසී ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'බ්‍රවුනාවුවම් ඉන්' (Braunau am Inn) නමැති මෙම ගොඩනැගිල්ල නව නාසිවාදීන්ගේ ප්‍රණාමයට නතුවීම වැළැක්වීමට රජය කොතරම් උත්සාහ ගත්තද තවමත් එය සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.
මුළුමනින්ම විනාශ කිරීම හෝ වෙනත් දෙයක් සඳහා භාවිතකිරීම යන අදහස් දෙක අතර වූ ගොඩනැගිල්ලේ අනාගතය පිළිබඳව පුළුල් කතිකාවතක් පසුගිය කාලය පුරා සිදුකෙරුණි.
එම මත ගැටුම තවත් සංකීර්ණ වූයේ ගොඩනැගිල්ලේ හිමිකාරිය එය විකිණීම ප්‍රතික්ෂේපකිරීම හේතුවෙනි.
නුසුදුසු දෙයකට භාවිතකිරීම වැළැක්වීම පිණිස 1972 සිට රජය විසින් කුලියට ගනු ලැබ තිබූ මෙම ගොඩනැගිල්ල වසර ගණනාවක් පුරා එහි හිමිකාරිය වන ගර්ලින්ඩ් පොමර් නම් කාන්තාව සහ රජය අතර ආරවුලකට හේතුවී තිබුණි.
අබාධිතයන් සඳහා මධ්‍යස්ථානයක්
මේ වනවිට විශ්‍රාම ගෙන සිටින පොමර් මෙම ගොඩනැගිල්ල රජයට විකිණීම නොකඩවා ප්‍රතික්ෂේප කළාය.
පසුගිය වසර පහක කාලය තුළ අලුත්වැඩියාකිරීමට ඇය ඉඩ නොදීම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල හිස්ව පැවතුණි.
එය මීට පෙර අබාධිත පුද්ගලයන් සඳහාවූ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබීය.
කෙසේවුවද, සරණාගතයන් සඳහා වූ මධ්‍යස්ථානයක් ලෙස එය භාවිතා කිරීමට අපේක්ෂා කළ පිරිසත් ඔස්ට්‍රියාව නාසි පාලනයෙන් මිදීම සංකේතවත් කෙරෙන කෞතුකාගාරයක් ඇරඹීමට සැලසුම් කළ පිරිසත් ගොඩනැගිල්ල බිඳ හෙළීමේ තීරණය හේතුවෙන් නොසතුටට පත්ව සිටියහ.
මෙම ගොඩනැගිල්ල ඉපැරණි උරුමයක් ලෙස නගර මධ්‍යයේ පැවතිය යුතු බව පවසමින් මීට පෙර සංස්කෘතික සංවිධාන කිහිපයක්ම එය බිඳහෙළීමේ යෝජනාවට විරුද්ධත්වය පළ කළහ.








