ඕස්ට්‍රේලියානු සිසුවෙක් 'හිට්ලර්' වීම ගැන විදුහල්පතිගේ කණගාටුව

German dictator Adolf Hitler

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාසලේ පැවති උත්සවයක් සඳහා හිට්ලර් ගේ වෙස් ගැනීමට මෙම ඕස්ට්‍රේලියානු සිසුවාට අවස්තාව උදාවිය

පාසැලේ පැවති උත්සවයක් සඳහා ඇඩොල්ෆ් හිට්ලර් සේ වෙස් ගෙන පැමිණි සිසුවාට 'හොඳම ඇඳුම ඇඳි සිසුවා' ට හිමි සම්මානය ලබා දීම පිළිබඳව ඕස්ට්‍රේලියානු පාසැලක් කණගාටුව පළකරයි.

මේ පිළිබඳව හෙළිවූයේ බදාදා ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින් නගරයේ සාන්ත පිලිප් පෞද්ගලික පාසැලේ දීය.

හුවමාරු සිසුන් ලෙස පාසැලේ ඉගෙනීම ලබන යුදෙව් ජාතික සිසුන් ගෙන් පාසැල් බලධාරීහු මේ පිළිබඳව සමාව ඉල්ලා සිටියහ.

නාසි ආක්‍රමණිකයා වෙසින් සැරසී පැමිණීමට පාසැලේ 'කාගේත් ගෞරවයට පත්ව සිටින' ගුරුවරියක විසින් සිසුවාට අවසර දී තිබුණු බව විදුහල්පතිවරයා සනාථ කළේය.

'කාර්යබහුල වෙලාවක මේ ශිෂ්‍යයා ගිහිං 'කාගේත් ගෞරවයට පත්ව සිටින' ඒ ගුරුවරියගෙන් අහල තියනව මෙහෙම ඇඳගෙන ආවට කමක් නැද්ද කියල, ඇය කියල තියනව කමක් නැහැ කියල' යනුවෙනුයි විදුහල්පති රොජර් හර්බර්ට් ඕස්ට්‍රේලියානු රුපවාහිනියට පැවසුවේ.

දැන් එම ගුරුවරිය එසේ කීම පිළිබඳව ඉතාමත්ම අපහසුතාවට පත්වී ඇති බවයි ඔහු පැවසුවේ.

පසුගිය මාසයේ බටහිර ඕස්ට්‍රේලියාවේ මවක් චෝදනාවට ලක්වූයේ තම පුතුගේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයාට ගෞරව පිණිස පුතුගේ සමේ පැහැය කළු පැහැයෙන් පාටකර පාසලට එවීම හේතුවෙන්.