නත්තල සමරන්නේ නැති ක්‍රිස්තු භක්තිකයන් සිටින බව ඔබ දන්නවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නත්තල යනු ලොව පුරා ක්‍රිස්තු භක්තිකයින් බහුතරයක් ජේසුස් වහන්සේ ලෝක වාසීන් පාපයෙන් ගලවා ගැනීම වෙනුවෙන් මෙලොව එළිය දුටු දිනය සමරන උත්සවයකි.
එම දිනය දෙසැම්බර් 25 වන දා බව බහුතරයකගේ පිළිගැනීමයි. ඒ අනුව, අද දිනයේදී (දෙසැම්බර් 25) ලෝකය පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරති.
කෙසේ වෙතත්, ජේසුස් වහන්සේ දෙසැම්බර් 25 වන දින උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ ශුද්ධ වූ ලියවිල්ල ලෙස සැලකෙන බයිබලයේ සඳහන් නොවන බවට ඇතැම් පාර්ශව තර්ක කරයි.
ඔවුන්ගේ තර්කයට පදනම් කරගෙන ඇත්තේ, දෙසැම්බර් වැනි අධික ශීත කාලගුණයක් සහිත කාලයක අගොස්තුස් අධිරාජයා සංගණනයක් සිදු කරන ලෙසට නියෝග කළ බව පිළිගත නොහැකිය යන්න ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ජේසුස් වහන්සේ දෙසැම්බර් මාසයේ උපන් බව පිළිගන්න අමාරු යි"
'තව ද, එසමයෙහි අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා විසින් නියෝගයක් නික්මිණි. මේ වනාහී කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරවරයාව සිටියදී කරන ලද පළමු වන සංගණනය යි. සියල්ලෝ ම ලියාපදිංචි වන පිණිස තමතමන්ගේ නුවරවලට ගියහ.' (ලූක් 2:1 - 3) යනුවෙන් ශුද්ධ වූ බයිබලයේ ශුද්ධවර ලූක් පොතෙහි දැක්වේ.
ඔවුන් තර්ක කරන්නේ, ඒ අනුව ජේසුස් වහන්සේගේ උපත අප්‍රේල් හෝ අගෝස්තු මාසයේදී සිදුවන්නට ඇති බව ය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රිස්තු සභාවන් අතරින් The Centre Church නමැති සභාව කිතු උපත දෙසැම්බරයේ සිදුවූ බව නොපිළිගන්නා සභාවකි.
"ජේසුස් වහන්සේ දෙසැම්බර් මාසයේ උපන් බව පිළිගන්න අමාරු යි. ඒක සිදුවුණේ, අප්‍රේල් නැත්නම් අගෝස්තු මාසයේදී කියල යි අප විශ්වාස කරන්නේ. අතීතයේ සිදු කරපු වෙනත් සැමරුම් උත්සවයක් පාදක කරගෙන තමයි නත්තල් උත්සවය පවත්වන්නේ," ද සෙන්ටර් චර්ච් සභාවේ සාමාජිකාවක් (ඇයගේ ඉල්ලීම පරිදි සැබෑ නාමය හෙළි නොකෙරේ) බීබීසී සිංහල සේවයට පැවසීය.
"මේ උත්සවය ජේසුස් වහන්සේගේ උපත සමරන්න ආරම්භ කරපු උත්සවයක් නෙවෙයි. ඒක ගොඩක් කාලෙකට කලින් හිරු දෙවියන් නමදින්න පවත්වපු උත්සවයක්. ඒක කාලයක් ගියාට පස්සේ නත්තල් උත්සවය බවට පත් වෙලා. ඒ නිසා ඒක ජේසු උපත සමරන්න භාවිත කිරීම වැරදි යි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර, ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ ආරම්භය ජේසුස් වහන්සේගේ උපත සිදුවූ දින සිට ගණනය කළේ නම් දෙසැම්බර් 25 වන දින ජේසු උපත සිදුවූ බව පිළිගත හැකි ද? යන්න ඇතැමෙක් ප්‍රශ්න කරයි.
කෙසේ වෙතත්, දෙසැම්බර් 25 වන දා නත්තල් උත්සවය සමරන පාර්ශව පවසන්නේ, දෙසැම්බර් 25 වන දා වෙනත් සැමරීම් පැවතිය ද, එදින නත්තල් උත්සවය සැමරීම වැරදි ක්‍රියාවක් නොවන බව ය.
"අපි සමරන්නේ ජේසුස් වහන්සේගේ උපත සහ උන් වහන්සේ ලෝකයට ගෙනාව පණිවුඩය. ඒකට දිනය ගැන ප්‍රශ්නයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ," මෙතෝදිස්ත සභාවේ සහෝදරතුමෙක් පැවසීය.
මේ අතර, ද සෙන්ටර් චර්ච් සභාවේ නත්තල ප්‍රතික්ෂේප කරන දරදඬු ප්‍රතිපත්තිය මේ වන විට යම් ප්‍රමාණයකට ලිහිල් වී තිබේ.
එම සභාවේ සාමාජිකාව පැවසුවේ, මීට පෙර නත්තල් දේව මෙහෙයක් නොපැවැත්වුව ද, මෙවර එවැනි දේව මෙහෙයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ය.
කෙසේ වෙතත්, දෙසැම්බර් 25 වන දා ජේසුස් වහන්සේගේ උපත සිදුවූ බව තවදුරටත් පිළිනොගන්නා බව ද ඇය පැවසීය.








