බෙංගාලි පුරාවිද්‍යාඥයෙකු ගෞතම බුදුන්වහන්සේගේ උපන් ස්ථානය සොයා ගත් හැටි

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Culture, Govt. of India
දිනය 1898 වසරේ ජනවාරි 23 යි. බ්‍රිතාන්‍ය ඉන්දියාවේ වයඹදිග දේශ සීමා පළාතේ හා ඖධ්හි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී සී. ඩබ්ලිව්. වුඩ්ලින් සහ ෆයිසාබාද්හි කොමසාරිස් වින්සන්ට් ස්මිත්ගේ උපදෙස් පරිදි පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලක්නව් සිට නේපාලයේ තෙරයි කලාපය බලා පිටත්විය.
එවකට මුඛර්ජී සේවය කළේ, වයඹදිග දේශ සීමා පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ය. එය, ඔහු එම දෙපාර්තමේන්තුව තුළ ලද දෙවන පත්වීම විය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ මුල් අවධියේ දී මුඛර්ජී පුරාවිද්‍යාඥ ආචාර්ය ඒ. ෆියුරර්ගේ සහයකයා විය. ඔහුගේ ප්‍රධානියා සමග ඇතිකර ගත් විරසකයක් හේතුවෙන් මුඛර්ජීට රැකියාව අහිමිවිය. කෙසේ වෙතත්, ඔහුගේ ‘සොයා ගැනීමක්’ පිළිබඳ ඉහළ නිලධාරීන් තුළ ඇති වූ බරපතල සැකය නිසා ආචාර්ය ෆියුරර්ට ද රැකියාව අහිමි විය. අනතුරුව, එම ඊනියා සොයා ගැනීමෙහි සත්‍යතාව තහවුරුකර නිවැරදි තොරතුරු රැස්කිරීමේ වගකීම පූර්ණ චන්ද්‍ර මුඛර්ජී වෙත පැවරිණි.
ෆයිසාබාද්හි කොමසාරිස් වින්සන්ට් ස්මිත්, ගෞතම බුදුන් උපන් ඉපැරණි කපිලවස්තු පුරය සහ ලුම්බිණි උද්‍යානය පිහිටා ඇති නිශ්චිත ස්ථානය සොයා ගැනීම මුඛර්ජීට පැවරීය.
මුඛර්ජී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව, ස්මිත් ලියූ හැඳින්වීමක් ද සමගින් 1901 වසරේ දී ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම ග්‍රන්ථය ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කළ හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Krishanu Bhattacharya
ගවේෂණය ආරම්භ වූ ආකාරය
මුඛර්ජී, 'A Report on a Tour of Exploration of the Antiquities in the Terai, Nepal The Region of Kapilvastu' නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබිණි: "විවේකයක් නොගෙන ම මම නේපාලයේ තෙරයිහි පරිපාලන නගරය වන තෝලිවා වෙත නොනවත්වා ඇවිද ගියෙමි. ඊට පසු දා මම නිගිල්වා වෙත ගොස්, මේජර් වඩෙල් හමුවීමි. මට ලැබීමට තිබූ අත්තිකාරම් මුදල රජයේ නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවා තිබිණි. මම නැවත ගොරක්පූර් වෙත පැමිණියෙමි."
"රජයෙන් නව විදුලි පණිවුඩයක් ලැබීමෙන් පසු මම නැවතත් නේපාලයට ගොස් පෙබරවාරි 30 වන දා සිට තිලෝර්කොට් ප්‍රදේශයේ කැණීම් ආරම්භ කළ අතර සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්වීමි. හයවැනි දා, මම ආචාර්ය ෆියුරර් විසින් කපිලවස්තු පුරය ලෙස හඳුනාගන්නා ලද සාගර්වාහි නටබුන් නැරඹීමට ගියෙමි. එය කපිලවස්තු පුරය විය නොහැකි බවට අවබෝධ කර ගත් මම කලකිරීමට පත්වීමි. සමීපව සිදු කරන ලද නිරීක්ෂණයකින් පසුව, තිලෝර්කොට් යනු බොහෝ දුරට බුදුන්ගේ පියාගේ නගරයවීමට ඉඩ ඇති බව මට වැටහිණි," පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලිවීය.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Culture, Govt. of India
තිලෝර්කොට්හි සිදුකළ කැණීම්
හදිසියේ ම මේජර් වඩෙල් සියලු කැණීම් නතර කළ අතර දින කිහිපයක් ඇතුළත එම නියෝගය අත්හිටුවීය.
මෙම අදියරේ දී ඔහු තිලෝර්කොට් සහ චිත්‍ර-දෙයි ප්‍රදේශවල මහා පරිමාණ කැණීම් කටයුතු ආරම්භ කළ බව මුඛර්ජී ලියා ඇත.
"වින්සන්ට් ඒ. ස්මිත්ගේ උපදෙස් පරිදි, මාර්තු 11 වන දා රුම්මින්-දෙයි වෙත පිටත්වූ මම පසු දා එහි ළඟා වීමි," මුඛර්ජී රජයට ඉදිරිපත් කළ වාර්තාවේ ලිවීය.
"වනාන්තරය එළිපෙහෙළි කර ස්ථූපයක් ආකාරයේ වූ විශාල ගොඩැල්ල පරීක්ෂා කර බැලීමෙන් පසු, කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස මම නේපාල ජාතික කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියෙමි. කැණීම් ආරම්භයේ දී ම අපට බලාපොරොත්තුවක ලකුණු දිස්විය. එතැනින් සුන්බුන් කිහිපයක් මතුවිණි. මෙය තිලෝරා සහ චිත්‍ර-දෙයිහි දී ලද සාර්ථකත්වයට සමාන ය. එහිදී සොයාගත් වැදගත් ම දෙයක් වූයේ මායාදේවී විහාරය යි. අත්තිවාරමේ වූ ගඩොල් අලංකාර ලෙස සකසා තිබිණි. කුඩා [ස්ථූප] ගොඩැලි සහ වෙනත් පුරාවස්තු කිහිපයක් ද මතුවිය."

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Culture, Govt. of India
රුම්මින්-දෙයි යනු ලුම්බිණිය ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බෞද්ධ සටහන්වලට අනුව ලුම්බිණි උද්‍යානය යනු රුම්මින්-දෙයි ය. එම ප්‍රදේශයේ අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද ස්ථූපයක වූ ශිලා ලේඛනයක එම ස්ථානය 'ලුම්මිණි' ලෙස විස්තර කර ඇත.
මාගධී භාෂාවෙන් ලියා ඇති ශිලා ලේඛනය දැකීමෙන් පසු, රුම්මින්-දෙයි යනු පුරාණ ලුම්මිණි හෝ ලුම්බිණිය බවට පූර්ණ චන්ද්‍ර මුඛර්ජී නිගමනය කළේ ය.
මුඛර්ජීගේ ප්‍රධානියා වූ වින්සන්ට් ස්මිත් මෙසේ ලිවීය: "රුම්මිණි යන්න ලුම්බිණි හෝ ලුම්මිණි යන නාමයට සමානකම් පෙන්වයි."
"ශිලා ලේඛනය ලියා ඇත්තේ මාගධී භාෂාවෙන් වන අතර, එහි වචනයක මුල හෝ මැද 'ර' ඇත්නම්, එය සංස්කෘත භාෂාවේ දී 'ල' බවට පත්වේ," ස්මිත් ලිවීය.
හියුන් සාං හිමිට අනුව, උද්‍යානය දිගේ ගිනිකොණ දෙසින් දේශීය භාෂාවෙන් 'තෙල් ගංගාව' ලෙස හැඳින්වූ කුඩා ගංගාවක් ගලාබැස ඇත. දැන් එය 'තිලර් ගඟ' ලෙස හැඳින්වෙයි.
බුදුන් උපන් ස්ථානයේ වූ වෘක්ෂයට දකුණු පසින් නාන තටාකයක් තිබී ඇති අතර, ඒ අතර දුර ෆා හියන් හිමිට අනුව ලී 20ක් ද, හියුන් සාං හිමිට අනුව ලී 25ක් ද වෙයි. එම වෘක්ෂයේ මූර්ති එහි සිට ලී 25ක් දුරින් තවමත් දැකගත හැකි ය.
'ලී' යනු, පුරාණ චීන දුර මැනීමේ ඒකකයකි. සාමාන්‍යයෙන් 'ලී' එකක් මීටර් 500කට හෝ සැතපුමකින් තුනෙන් එකකට සමාන වේ.
හියුන් සාං හිමියන්ගේ ලේඛනවල සඳහන් වන පරිදි අශෝක අධිරාජ්‍යයා විසින් ස්ථාපනය කරන ලද ස්ථූපය ද මුඛර්ජී විසින් සොයා ගත්තේ ය.
මෙම සාධක හතර මත ගෞතම බුදුන් උපන් ස්ථානය නිශ්චිතව ම සොයා ගනු ලැබී ය.
මෙය ගෞතම බුදුන් උපන් ස්ථානය බව සැකයෙන් තොරව ඔප්පු වූ බව වින්සන්ට් ස්මිත් ලියා ඇත.
රුම්මින්-දෙයි හෝ ලුම්බිණිය ගෞතම බුදුන්ගේ උපන් ස්ථානය බවට නියත වශයෙන් ම ඔප්පු වී ඇතත්, ගෞතම බුදුන් උපත ලැබුවේ උත්තර් ප්‍රදේශ්හි පිප්‍රවාහි බව ද ඉන්දියාව ප්‍රකාශ කරයි.
මෙම ස්ථානය නේපාලය සහ එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාව අතර දේශ සීමාවට ඉතා ආසන්න ය. බුදු දහමට අයත් පුරාවිද්‍යාත්මක වස්තු රැසක් එතැනින් ද හමුවී ඇත. පූර්ණ චන්ද්‍ර මුඛර්ජී එම ප්‍රදේශවල ද සංචාරය කර තිබේ.
මෙම කෞතුක වස්තුවලින් සමහරක් කල්කටා කෞතුකාගාරයේ (වර්තමානයේ ඉන්දියානු කෞතුකාගාරයේ) තබා ඇත.
චීන ගවේශකයන්ගේ තොරතුරුවලට අනුව, ඇතැම් සමානකම් පිප්‍රවාහි දක්නට ලැබුණ ද, බොහෝ අසමානතා ද තිබී ඇත.
එබැවින් පුරාණ කපිලවස්තු පුරය නේපාලයේ තිලෝර්කොට්හි රුම්මින්-දෙයිහි තිබූ බවට පූර්ණ චන්ද්‍ර මුඛර්ජී සහ ඔහුගේ ප්‍රධානියා වූ වින්සන්ට් ඒ. ස්මිත් දැඩි ලෙස විශ්වාස කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Culture, Govt. of India
සීමිත මුදල් හා තත්ත්වයෙන් බාල උපකරණ
තෙරයි ප්‍රදේශයේ ගවේෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු පූර්ණ චන්ද්‍ර අප්‍රේල් පස්වැනි දා නැවත ලක්නව් වෙත පැමිණියේ ය.
ඔහුගේ වාර්තාවේ පූර්ණ චන්ද්‍ර මුඛර්ජී මෙසේ ලිවීය: "මා අවසන් වරට සිදු කරන ලද ගවේෂණයේ දී භාවිත කළ මිනුම් සහ ඇඳීමේ උපකරණ පැවතියේ ඉතා නරක තත්ත්වයක ය. ඡායාරූපකරණ කටයුතු සඳහා භාවිත කළ උපකරණ පවා පැරණි තත්ත්වයේ පැවති අතර ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවීම මගේ වැඩකටයුතුවලට බොහෝ කරදර ගෙන දුන්නේ ය."
ඔහුට ලබා දී තිබුණේ එක් සැලසුම්කරුවෙකු පමණි. එය ද ගවේෂණයේ පසු අවධියක දී ය.
"නේපාල රජය විසින් මා වෙත ලබා දෙන ලද කණ්ඩායමේ කැප්ටන්කෙනෙක් (භීම්සෙන් චේත්‍රි) සහ කැණීම්කරුවන් 12 දෙනෙක් සිටියහ. ඉඳහිට, තැනිතලා ප්‍රදේශවලින් ඇතැම් පිරිස් උදව් සඳහා ගෙන්වන ලදහ," ඔහු ඉහළ බලධාරීන් වෙත ලිවීය.
මුඛර්ජී ගෞතම බුදුන් උපන් කපිලවස්තු පුරය හා ලුම්බිණි උද්‍යානය විස්තර කිරීමට පෙර ගවේෂණ සඳහා වැය වූ මුදල ගැන සඳහන් කළේ ය.
"පසුගිය වසර සඳහා වෙන් කළ මුදලින් රුපියල් 2,000ක් අපි ඉතිරි කළෙමු. මෙම වසරේ දී තවත් රුපියල් 800ක් ලබා දෙන ලදී. සමස්තයක් වශයෙන්, මෙම කැණීම් කටයුතු සඳහා නේපාලයේ රාජ සභාව රුපියල් 2,800ක මුදලක් ගෙවූ අතර, අප වැය කළේ රුපියල් 300ක් පමණි."
"මගේ මතය අනුව රුපියල් 2,500ක් තවමත් ඉතිරිව තිබෙන බැවින්, ලබන වසරේ ගවේෂණ සහ කැණීම් කටයුතු ද සිදු කළ හැකි ය," පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලිවීය.
වයස අවුරුදු 53 දී මියගිය පුරාවිද්‍යාඥයා
පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ මුල් නිවහන පිහිටා තිබුණේ කොල්කටාව ආසන්නයේ අසල පනිහාටිහි ය. එවකට එය ගම්මානයක් විය. පූර්ණ චන්ද්‍ර මුඛර්ජී විසින් එහි ඉදිකරන ලද නිවසට ද ‘කපිලවස්තු භවන්’ ලෙස නම් තැබීය.
පනිහාටිහි ප්‍රාදේශීය ඉතිහාසය පිළිබඳ ගුරුවරයෙකු සහ පර්යේෂකයෙකු වන ක්‍රිෂාණු භට්ටාචාර්ය පවසන පරිදි පූර්ණ චන්ද්‍ර මුකර්ජි උපත ලැබුවේ 1849 වසරේ දී ය. ඔහුගේ පියා වූ කාලිදාස් මුඛර්ජී කල්කටාවේ මුදල් මුද්‍රණාලයේ සේවය කළේ ය.
"පූර්ණ චන්ද්‍ර ඉගෙන ගත්තේ අගර්පාරා මිෂනාරි පාසලේ. දක්ෂ, ධෛර්ය සම්පන්න කෙනෙක් වුණත් ඔහු ඉගෙනීමට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඔහු ඔහුගේ මිතුරන්ට වඩා ඉදිරියෙන් සිටියේ ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ සිතියම්කරණය යන විෂයන්වලින් පමණ යි," ක්‍රිෂාණු භට්ටාචාර්ය පවසයි.
"ඔහු කල්කටා විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීමේ පරීක්ෂණය සමත්වූ බවට ත් පසුව ලක්නව්හි කැනින් විද්‍යාලයෙන් කලා පීඨයට ඇතුළු වුණු බවට ත් මට තොරතුරු ලැබුණා. නමුත් ඔහු උපාධි විභාගය සමත් නොවන්න ඇති."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, ඔහු ඔහුගේ ජීවිත කාලය පුරා ම විවිධ වර්ගයේ රජයේ රැකියාවල නිරත වී ඇත. කලක් ඔහු ඖධ්-රෝහිල්ඛන්ද් දුම්රිය සේවයේ රාජකාරි කළ අතර පසුව ලක්නව් කෞතුකාගාරයට සම්බන්ධ විය. එම ආයතනය, රජයේ ආධාර මත චිත්‍ර ශිල්පය හැදෑරීමට ඔහු මුම්බායිහි ජේජේ චිත්‍ර පාසලට යවනු ලැබීය. වසර දෙකකට පසු ඔහු නැවත පැමිණ ලක්නව් කෞතුකාගාරයට සම්බන්ධ විය.
ඔහු ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා භට්ටාචාර්ය ලක්නව් කෞතුකාගාරයට ගිය නමුත් එහිදී ඔහුට කිසිදු තොරතුරක් නොලැබිණි. ඔහු පිළිබඳ සියලු තොරතුරු විවිධ ස්ථානවලින් සහ පැරණි පුවත්පත්වලින් රැස්කර ගැනීමට සිදුවිය.
"ඒ වකවානුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබුණේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව යටතේ. පූර්ණ චන්ද්‍ර මුකර්ජි පුරාවිද්‍යාඥයෙකු ලෙස එහි සේවයට එක් වුණේ 1882 දී. අවුරුදු තුනකට පස්සේ, එවකට ලුතිනන්-ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ලයන්ස්, මුඛර්ජී වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ තනතුරක් නිර්මාණය කළා.
"නමුත් ඒ තනතුරට පත්වුණේ ආචාර්ය ෆියුරර්. පූර්ණ චන්ද්‍ර පත් කළේ ඔහුගේ සහයකයා විධියට," භට්ටාචාර්ය පවසයි. කෙසේ වෙතත්, ආචාර්ය ෆියුරර්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් මුඛර්ජීට රැකියාව අහිමිවිය.
පොදු වැඩ දෙපාර්තමේන්තුව යටතේ සේවය කරමින් සිටිය දී 1886 වසරේ දී ඔහු බුන්දේල්ඛන්ද් ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් සිදු කළේ ය.
කපිලවස්තු පුරය සොයා ගැනීමට පෙර පූර්ණ චන්ද්‍ර විසින් මෞර්ය යුගයේ නටබුන් සහ බෞද්ධ විහාරස්ථාන, අශෝක ස්ථම්භයේ කොටස් සහ වර්තමානයේ පැට්නා ලෙස හැඳින්වෙන පාඨලීපුත්‍රයෙහි පොළව මට්ටමෙන් අඩි 12ක් යටින් පිහිටි බෞද්ධ ආරාම නටබුන්, සහ සන්දල්පූර්, බන්කිපූර්, බුලන්ඩ්බාග් සහ නබරතන්පූර් ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සිදුකළේ ය.
ඔහුගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඉන්දියානු පුරාවස්තු සඟරාවේ 1902 නොවැම්බර්-දෙසැම්බර් සහ 1903 ජනවාරි මාසවල පළ විය. ඊට පෙර, 1896 වසරේ දී සහ දෙවන වරට 1903 වසරේ දී ඔහු කල්කටා කෞතුකාගාරයේ පුරාවිද්‍යා අංශයේ වගකීම භාර ගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ බෙංගාලි ලිපි දෙකෙන් එකක් මෙම කොල්කටා කෞතුකාගාරය ගැන වන අතර එය දැන් ඉන්දියානු කෞතුකාගාරය ලෙස හැඳින්වේ.
එම ලිපිය පුවත්පතක පළ විය.
එය 'Calcutta Antiquities' (කල්කටා පුරාවස්තු) නමින් හැඳින් විය.
පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ අනෙක් බෙංගාලි ලියවිල්ල වන්නේ ‘වීරකාව්‍ය’ ය. එහි කොටසක් පමණක් 1875 වසරේ දී මුද්‍රණය කෙරිණි.
1903 අගෝස්තු 4 වන දා, වයස අවුරුදු 53 දී, පූර්ණ චන්ද්‍ර මුඛර්ජී පනිහාටිහි පිහිටි ඔහුගේ නිවස, එනම්, 'කපිලවස්තු භවන්'හි දී ලේ අතීසාරයෙන් මියගියේය.












