ලිපිගොනුවලින් හෙළිවූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ තොරතුරු

    • Author, ෂයන් සාර්දරිසාදේ
    • Author, මැට් මර්ෆි
    • Role, BBC Verify
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අවවාදයයි: මෙම ලිපියෙහි ඇතැම් පාඨකයින්ට පීඩාකාරී විය හැකි අන්තර්ගතයන් ඇතුළත් වේ.

ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණයෙන් පසු දේහය ගිලන් ඇඳක් මත තබා, වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන ආකාරය දැක්වෙන මීට පෙර නොදුටු ඡායාරූප කිහිපයක් ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

අත්අඩංගුවේ සිටියදී සිදුවූ එප්ස්ටීන්ගේ මරණය පිළිබඳ FBI රහස්‍ය වාර්තාවේ කොටසක් ලෙස මෙන් ම පශ්චාත් මරණ පරීක්ෂණය සහ අභ්‍යන්තර බන්ධනාගාර ලේඛනවල කොටසක් ලෙස ඡායාරූප 20ක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒවායින් බොහොමයක් පෙන්වීමට සුදුසු නොවේ.

එප්ස්ටීන් ගොනු නිකුත් කිරීමේ නවතම ලිපිගොනුවේ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව (DoJ) විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද මිලියන ගණනක් ලේඛන අතර ඒවා ද වේ.

2019 අගෝස්තු 10 වන දින එප්ස්ටීන් ඔහුගේ බන්ධනාගාර කුටිය තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. නඩු විභාගයට පෙර ලිංගික ජාවාරම් සහ කුමන්ත්‍රණ චෝදනා මත ඔහු නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා තිබිණි.

"ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණය පිළිබඳ විමර්ශනය" (Jeffrey Epstein death investigation) යන මාතෘකාව යටතේ අලුතින් නිකුත් කරන ලද FBI වාර්තාව, නිව්යෝර්ක්හි ඒජන්සියේ ක්ෂේත්‍ර කාර්යාලය විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක් ලෙස පෙනී යයි. පිටු 23කින් යුත් වාර්තාවේ සෑම පිටුවක ම "රහස්‍ය නොවන" (unclassified) යනුවෙන් මුද්‍රා තබා ඇත.

BBC Verify විසින් නිරීක්ෂණය කරන ලද සංස්කරණය නොකළ ලේඛනවල, එප්ස්ටීන්ගේ බෙල්ලේ සමීප රූප සහ තුවාලවල දෘශ්‍යමාන සලකුණු පෙන්වයි. එප්ස්ටීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ විස්තර සහ ඔහු සියදිවි නසා ගැනීමට පෙර දිනවල ඔහුගේ මානසික සෞඛ්‍යය පිළිබඳ මනෝ වෛද්‍ය වාර්තාවක් ද ඒවායේ අඩංගු වේ.

ඡායාරූප කිහිපයක එප්ස්ටීන් ගිලන් ඇඳක් මත වැතිර සිටින ආකාරය දැක්වෙන අතර වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරන බව දැකිය හැකි ය. ඒවා 2019 අගෝස්තු 10 වන දින එරට දේශීය වේලාවෙන් 06:49 ලෙස සටහන් කර ඇති අතර, ඒ, ඔහු ඔහුගේ සිර මැදිරිය තුළ සිටිය දී ප්‍රතිචාර නොදක්වා විනාඩි 16කට පමණ පසුව ය. ඡායාරූප ලබා ගත් ස්ථානය පැහැදිලි නැත. නමුත් එප්ස්ටීන් 06:39ට අසල රෝහලකට ගෙන යන ලද අතර එහිදී ඔහු මිය ගිය බව ප්‍රකාශ කරන ලදී. එයින් ඇඟවෙන්නේ එම ඡායාරූපය එහිදී ලබා ගන්නට ඇති බව ය.

තවත් ඡායාරූප තුනක සටහන් වී ඇත්තේ, එම ඡායාරූප රෝහලකදී ලබාගෙන ඇති බව ය. ඒවායේ ඔහුගේ හිසෙහි සමීප රූපයක් සහ ඔහුගේ ගෙළෙහි තුවාලයක් දැක්වෙයි. සෑම ඡායාරූපයක ම එප්ස්ටීන්ගේ නම තිබේ. එහෙත් ඇතැම් රූපවල Jeffrey වෙනුවට ඔහුගේ නම "Jeffery" ලෙස වැරදියට සටහන් කර ඇත.

එප්ස්ටීන්ගේ සිරුරේ අලුතින් නිකුත් කරන ලද ඡායාරූප සම්බන්ධයෙන් BBC Verify ප්‍රතිලෝම රූප සෙවුම් (reverse image search) ක්‍රමය අනුගමනය කළ අතර ජනවාරි 30ට පෙර ඉන්ටර්නෙට් හරහා පළ කරන ලද ඡායාරූපවල පෙර සංස්කරණ සොයා ගැනීමට නොහැකි විය. නිව් යෝර්ක්හි අධිකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රධාන වෛද්‍ය පරීක්ෂක කාර්යාලය (OCME) විසින් ගොනු කරන ලද එප්ස්ටීන් පිළිබඳ පිටු 89ක පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් සහ සංස්කරණය කරන ලද රූප අඩංගු FBI නිව් යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලයෙන් ලැබුණු ඊමේල් ඇතුළුව ලිපිගොනුවල නිකුත් කරන ලද වෙනත් සනාථ කරන ලේඛන ද BBC Verify කණ්ඩායමට හමු විය.

ප්‍රධාන වෛද්‍ය පරීක්ෂක කාර්යාලය විසින් සකස් කරන ලද එප්ස්ටීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කොටස් ද දක්නට ලැබෙන අතර, එප්ස්ටීන්ගේ ගෙළෙහි තයිරොයිඩ් කාටිලේජයේ අස්ථි බිඳීම් දෙකක ස්කෑන් පරීක්ෂණ ද ඊට ඇතුළත් වේ.

2019 ජූලි 6 වන දින ලිංගික ජාවාරම් චෝදනා මත එප්ස්ටීන් අත්අඩංගුවට ගත් දා සිට ඔහුගේ මරණය දක්වා නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීම පිළිබඳ පිටු 6ක කාලරාමුවක් FBI වාර්තාවේ ඇතුළත් වේ.

2019 ජූලි 23 වන දින එප්ස්ටීන් සියදිවි නසා ගැනීමට උත්සහ කිරීමෙන් පසු සියදිවි නසාගැනීම පිළිබඳ විමර්ශනයක් කළ බව එයින් හෙළි වේ.

මිනීමැරුම් චෝදනාවලට මුහුණ දී සිටින හිටපු පොලිස් නිලධාරියෙකු වන නිකලස් ටාටැග්ලියෝන් ඒ අවස්ථාවේ ඔහුව මරා දැමීමට උත්සහ කළ බවට එප්ස්ටීන් චෝදනා කළේ ය.

ඊට පසුදා මනෝ විද්‍යාඥයෙකු සමග පැවති හමුවකදී එප්ස්ටීන් පැවසුවේ, "මට මාව මරා ගන්න කිසිදු උනන්දුවක් නැති " බවත්, තම ජීවිතය නැති කර ගැනීම "පිස්සු වැඩක්" බවත් එම ලේඛනයේ සඳහන් වේ. ජූලි 25 වන දින ඔහු ප්‍රකාශ කළේ "මම මගේ නඩුවට එරෙහිව සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ, මට ජීවිතයක් තියෙනවා, මට මගේ ජීවිතය ගත කරන්න යන්න ඕනි " මනෝ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනෙකුත් ලියකියවිලිවලින් පෙනී යන්නේ, බන්ධනාගාර පාලකවරයා එප්ස්ටීන් තනිව නොරැඳවිය යුතු බවට උපදෙස් දී ඇති බවත්, ඔහුගේ සිර මැදිරිය "විනාඩි 30කට වරක් පරීක්ෂා කිරීම" සහ "නොදන්වා පරීක්ෂා කිරීම්" සිදු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බවත් ය.

එප්ස්ටීන්ගේ මරණයට පෙර දින ඔහුගේ සිරමැදිරියේ රඳවා සිටි අනෙක් රැඳවියා නිදහස් කරන ලදී. අගෝස්තු 9 වන දින රාත්‍රියේ බන්ධනාගාර නියාමකයින් ද අලුයම 03:00 සහ 05:00ට නියමිත පරීක්ෂාවන් සිදු කිරීමට අපොහොසත් වූ බව බන්ධනාගාර ලේඛනවලින් පෙනී යන අතර, ඒකකයේ කැමරා පද්ධතිය ද ක්‍රියාවිරහිත වී පැවතිණි. කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද උදෑසන පරීක්ෂාවකදී ඔහුගේ සිරුර සොයා ගන්නා ලදී.

පිටු 17කින් පමණ සමන්විත එම FBI වාර්තාවේ ම දෙවන වරටත් සංස්කරණය කරන ලද කොටසක් ද එප්ස්ටීන් ලිපිගොනුවල කොටසක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එහි මනෝ වෛද්‍යවරයාගේ වාර්තාව හෝ ඔහු රඳවා තබා ගැනීමේ කාලරාමුව ඇතුළත් නොවන අතර ගොනුවේ ඇති රූප සංස්කරණය කර ඇත. වාර්තාවේ සංස්කරණය කරන ලද සහ සංස්කරණය නොකළ යන දෙවර්ගය ම ගොනුවලට ඇතුළත් කර ඇත්තේ මන්දැයි පැහැදිලි නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අප විසින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනිණි. ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය (FBI) අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

අතිරේක වාර්තාකරණය: ජොෂ් චීතම්