පාකිස්ථාන මුස්ලිම් දේවස්ථානයකදී සිදු වූ පිපිරිම: 83කට මරු කැඳවූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ ඉලක්කය පොලිසිය යි

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: [සංවේදී දර්ශන සහිතයි ]පිපිරීමෙන් අවම වශයෙන් 32 දෙනෙකු මියගිය පසු මස්ජිද තුළ ඇතිවූ කලබලකාරී තත්ත්වය
    • Author, කැරී ඩේවිස්, ලෝරා ගොට්සි, සහ මලූ කර්සිනෝ
    • Role, බීබීසී පුවත්

පාකිස්ථානයේ පෙෂාවර්හි මුස්ලිම් දේවස්ථානයක යාඥා කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කරන්නට ඇතැ යි සැලකෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මුස්ලිම් දේවස්ථානය පිහිටා තිබෙන්නේ, පොලිස් මූලස්ථානය පිහිටි ආරක්ෂාව දැඩි ප්‍රදේශයකය.

"ත්‍රස්තවාදීන්ට ඕනෙ වෙලා තියෙන්නේ පාකිස්ථානය ආරක්ෂා කිරීමේ රාජකාරිය ඉටුකරන අය ඉලක්ක කරලා බයක් ඇතිකරන්න," අගමැති ෂෙහෙබාස් ෂරීෆ් පැවසුවේ ය.

පාකිස්ථාන තාලිබාන් සංවිධානය, එහි එක් අණදෙන නිලධාරියෙකු විසින් මුල දී සිදුකෙරුණු ප්‍රකාශයකින් පසු, එහි වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කළේ ය.

එම කණ්ඩායම පසුගිය නොවැම්බරයේ දී සටන් විරාමයක් නිමාකළ අතර, එතැන් පටන් ප්‍රචණ්ඩත්වය ඉහළයමින් පැවතිණි.

දෙසැම්බරයේ දී එම සංවිධානය පෙෂාවර් වැනිම පොලිස් ස්ථානයක් ඉලක්ක කළේ ය. රටේ වයඹදිග ප්‍රදේශයේ දී එල්ලවූ මෙම ප්‍රහාරයෙන් සටන්කාමීන් 33ක් මියගියේ ය.

රෝහල් ප්‍රකාශකයෙකු බීබීසීය වෙත පැවසූ පරිදි 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් 300 - 400ක් පමණ ප්‍රදේශය තුළ සිටිබව පෙෂාවර් පොලිස් ප්‍රධානි මුහම්මද් ඉජාස් ඛාන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබුණි.

මෙම මස්ජිදය පිහිටා ඇත්තේ නගරයේ පාලනය වැඩිම ප්‍රදේශයක ය. එහි පොලිස් මූලස්ථානය මෙන්ම බුද්ධි අංශ හා ත්‍රස්ත මර්දන කාර්යාංශයන් ද පිහිටා තිබේ.

ප්‍රහාරය පිටුපස සිටින්නන් "ඉස්ලාමය හා කිසිසේත් සම්බන්ධ නැතැ" යි අගමැති ෂරීෆ් පැවසුවේ ය. ඔහු මෙසේ ද පැවසීය: "ත්‍රස්තවාදී තර්ජනයට එරෙහිව මුළු ජාතියම එකාවන්ව නැගී සිටිනවා."

වයඹදිග පාකිස්ථානයේ, ඇෆ්ඝනිස්ථාන දේශ සීමාවට ආසන්නයේ පිහිටි පෙෂාවර්හි මෙම පිපිරීම සිදුව තිබුණේ සඳුදා(ජනවාරි 30) මධ්‍යහ්න යාඥා අතරතුරේ, පැය 13:30ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2කට) පමණ ය.

බීබීසීය විසින් තහවුරු කරගන්නා ලද සමාජ මාධ්‍ය විඩියෝවකින්, තාප්පයක අඩක් ගොඩනැගිලි අභ්‍යන්තරයට කඩා වැටී ඇති අයුරු පෙන්වයි. මස්ජිදය ගඩොල් හා අනෙකුත් සුන්බුන්වලින් වැසී තිබුණු අතර මිනිසුන් දිවි ගලවාගැනීම සඳහා සුන්බුන් මතින් පැන යමින් සිටියහ.

Security officials inspect the site of a mosque blast inside the police headquarters in Peshawar on January 30, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පිපිරීමෙන් පැය ගණනකට පසු, තුවාලකරුවන්ගෙන් පිරීගිය ස්ථානයක් බීබීසී පුවත් සේවයේ අප අප දුටු අතර ඔවුන් බොහෝදෙනා පොලිස් නිල ඇඳුමින් සැරසී සිටියේ ය.

ඇතැමුන් පිළිස්සුම්වලට යොදනා ක්‍රීම්වලින් වැසීගොස් සිටියේ ය. පිපිරීම නිසා ඇතිවූ පිළිස්සුම්වලින් ඔවුන්ගේ සම රතුවී තිබුණි. ඇතැමෙකුගේ අස්ථි, කඩාවැටෙන සුන්බුන් හේතුවෙන් බිඳීගොස් තිබුණි.

පිපිරුම් හඬ නිසා තමාට තවමත් කිසිත් නෑසෙනබව එක් පුද්ගලයෙකු පැවසුවේ ය. තවෙකෙකු කියා සිටියේ, සුන්බුන් යට පැයකට ආසන්න කාලයක් සිරවී සිටීමෙන් පසු ඔහු ගලවාගනු ලැබූ බව යි.

අග්‍රාමාත්‍යවරයා පෙෂාවර් වෙත හදිසි සංචාරයක යෙදුනු අතර, එහිදී ප්‍රාදේශීය නිලධාරීන් විසින් ඔහු දැනුවත් කිරීමෙන් පසු, පිපිරීමෙන් තුවාල ලැබූවන් හමුවීමට යාමට නියමිත ය.

A man, still wearing his police uniform, receiving treatment in hospital in Peshawar
ඡායාරූප ශීර්ෂ වැකිය, තවමත් පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටින පුද්ගලයෙකු පෙෂාවර්හි රෝහලක ප්‍රතිකාර ලබමින්

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම ප්‍රහාරය හෙළාදුටු අතර, ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකාව පැවසුවේ : "වැඳුම් පිදුම් කරන ස්ථානයක එවැනි ප්‍රහාරයක් සිදුවීම විශේෂයෙන්ම පිළිකුල් කටයුතු" බවයි.

මස්ජිදයට ප්‍රහාරය එල්ලවුණේ, පාකිස්ථාන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා වැදගත් සතියක ආරම්භයේ දී ය.

සඳුදා (ජන. 30), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, මොහොමඩ් බින් සයියද් අල් නහයන් ඉස්ලාමාදාබයට පැමිණීමට සැලසුම්කොට තිබුණි - කෙසේ වෙතත්, අයහපත් කාලගුණය හේතුවෙන් මෙම සංචාරය අවසන් මොහොතේ අත්හිටවිණි.

අඟහරුවාදා (ජන. 31) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පාකිස්ථානයට පැමිණීමට නියමිතව තිබුණි. ඒ, එරට ණය පැහැරහැරීම වැළැක්වීම සඳහාවූ ඇපදීමේ ණයක් ලබාදීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙස ය.

පසුගිය වසරේ මාර්තුවේ දී, බහුතරය සුන්නි මුස්ලිම්වරුන් වන එරට ෂියා මුස්ලිම් පල්ලියක දුසිම් ගණනක් මරා දමමින් එල්ලවූ තවත් බෝම්බ ප්‍රහාරයකට පෙෂාවර් ඉලක්කය විය.

පොලිසිය ඉස්ලාමාබාද් අගනුවර තුළ දැඩි විපරම් සංඥා නිකුත්කර ඇති අතර, නගරයට ඇතුළුවන සහ පිටවන ස්ථානවල ආරක්ෂාව තරකර ඇතිබව ප්‍රකාශ කළේ ය.