මොන්ටරේ පාර්ක් වෙඩි තැබීම: නර්තන ශාලා වෙඩි තැබීමේ සැකකරුගේ මළ සිරුර හමුවෙයි

SWAT team trap suspect's white van in Torrance, 22 Jan 23

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සැකකරු සිය රථයේ සුක්කානම මත මියගොස් සිටිය දී පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන්ට හමුවිය
    • Author, හොලී හොන්ඩරිච් සහ ලෝරන්ස් පීටර්
    • Role, බීබීසී පුවත්

සුදු වෑන් රථයක් තුළ මියගොස් සිටිය දී සොයාගත්, ලොස් ඇන්ජලීස් නගරය අසල බාල් නර්තන ශාලාවක පුද්ගලයින් 10 දෙනෙකු ඝාතනය කළබවට සැක කෙරෙන තුවක්කුකරු, හූ කැන් ට්‍රාන් (72) බවට කැලිෆෝනියා පොලිසිය හඳුනාගෙන තිබේ.

ඔහුගේ ශරීරයේ ඔහු විසින්ම සිදුකර ගන්නා ලද වෙඩි තැබීමකින් ඇතිවුණු තුවාලයක් තිබී ඇති අතර, එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇතැයි ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ්වරයා වන රොබට් ලූනා පැවසීය.

විශාල ආසියාතික ජනගහණයක් සිටින මොන්ටරේ උද්‍යානයේ චන්ද්‍ර නව වසර සඳහා සැමරුම් පැවැත්විණි.

ප්‍රහාරයට හේතුව කුමක්දැ යි පොලිසිය මෙතෙක් නොදනියි.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, හත් දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති - ඇතැම්හු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති - ෂෙරිෆ්වරයා ඉරිදා පස්වරුවේ මොන්ටරේ පාර්ක්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

මියගිය පුද්ගලයන් 10 දෙනාගේ අනන්‍යතාව තවමත් තහවුරුකර ගනිමින් සිටින නමුත් ඔවුන් වයස අවුරුදු 50 සහ 60 ගණන්වල පසුවන බවත්, ඇතැම් විට ඊට වඩා වැඩි වයස්වල පසුවන අය විය හැකි බවත් ඔහු පැවසීය.

මීට පෙර නිලධාරීන් පැවසුවේ, කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමින් පස් දෙනෙකු ඝාතනය වී ඇති බවත්, ඔවුන් සියල්ලන්ම ආසියානු සම්භවයක් ඇති අය වියහැකි බවත් ය.

කැලිෆෝනියා ඉතිහාසයේ දරුණුතම වෙඩි තැබීමක් වන මෙම සමූහ වෙඩි තැබීම සෙනසුරාදා එරට වේලාවෙන් රාත්‍රී 10.22ට මධ්‍යම ලොස් ඇන්ජලීස් සිට කි.මී. 11ක් නැගෙනහිරින් පිහිටි මොන්ටරේ උද්‍යානයේ ජනප්‍රිය 'ස්ටාර් බෝල්රූම් ඩාන්ස් ස්ටුඩියෝහි' දී සිදුවිය.

පොලිස් ප්‍රධානී ස්කොට් වයිස් පැවසුවේ, තම නිලධාරීන්ට දක්නට ලැබුණේ "මනුෂ්‍ය සංහාරයක දර්ශනයක්" බවත්, එහි පළමුවෙන් ගිය නිලධාරීන් මාස කිහිපයකට පෙර ඔවුන්ගේ පුහුණුව අවසන් කළ, කණ්ඩායමේ ලාබාලතම නිලධාරීන් කිහිප දෙනෙකු වන බවත් ය.

"ඔවුන්ට දකින්න ලැබුණේ ඔවුන් කිසිවෙක් දකින්න සූදානමින් නොහිටි දර්ශනයක්," ඔහු පැවසීය. "ඇතුළේ තුවාල ලැබූ අය සහ මියගිය අය සිටියා. මගේ තරුණ නිලධාරීන් ඔවුන්ගේ කාර්යය කළා."

විනාඩි 30කට පමණ පසු තුවක්කුකරු අල්හම්බ්‍රා නගරයේ තවත් නර්තන ශාලාවකට පැමිණියේ ය.

ඔහු එම ශාලාවට ඇතුලු වූ නමුත් පුද්ගලයන් දෙදෙනෙකු පොරබදා ඔහු සතුව තිබූ ආයුධය (දිගු කරන ලද මැගසිනයක් සහිත ස්වයංක්‍රීය පිස්තෝලය) ඉවත් කිරීමට සමත් වූ අතර පසුව ඔහු පැන ගියේ ය.

ෂෙරිෆ් ලූනා පැවසුවේ, කැලිෆෝනියාව තුළ මෙම ආයුධය නීති විරෝධීයැ යි තමා විශ්වාස කරන නමුත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බව ය.

ඔහු, තමා "වීරයන් ලෙස සලකන ප්‍රජා සාමාජිකයින් දෙදෙනෙකුට" ප්‍රශංසා කළේ ය. "ඔවුන් [අනුන්ගේ] ජීවිත බේරාගත්තා, මේ තත්ත්වය මීට වඩා දරුණු වෙන්න ඉඩ තිබුණා," ෂෙරිෆ්වරයා පැවසුවේ ට්‍රාන් තවත් මිනිසුන් මරා දැමීමට අදහස් කළේයැ යි තමන් විශ්වාස කරන බව ද සඳහන් කරමිනි.

බලධාරීහු තුවක්කුකරු සෙවීම සඳහා ඉරිදා පැය ගණනක් ලොස් ඇන්ජලීස් ප්‍රදේශය පීරමින් සිටියහ.

Photos of suspect from LA County Sheriff's Department, 22 Jan 23

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලුහුබඳින අවස්ථාවේ පොලිසිය විසින් නිකුත් කරන ලද සැකකරුගේ ඡායාරූප

ප්‍රාදේශීය වේලාවෙන් දහවල් 1:00ට පෙර, එනම්, වෙඩි තැබීමෙන් පැය 12කට පමණ පසු SWAT කණ්ඩායමක් මොන්ටරේ පාර්ක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කි.මී. 48 පමණ දුරින් පිහිටි ටොරන්ස්හි රථගාලක සුදු වෑන් රථයක් වැටලීය.

ෂෙරිෆ් ලූනා පැවසුවේ, ඔවුන් වෑන් රථයට ළඟා වන විට වෙඩි හඬක් ඇසුණු බවත්, පසුව සැකකරු සුක්කානම මත වැටී සිටි බවත් ය. ගිනි අවියක් ඇතුලු සාක්ෂි සොයාගෙන ඇති අතර, එම පුද්ගලයා තුවක්කුකරු බවට හඳුනාගෙන ඇත.

ෂෙරිෆ්වරයා පැවසුවේ, තුවක්කුකරු තනිව ක්‍රියාකර ඇති බවට විශ්වාස කරන අතර වෙනත් සැකකරුවන් නොමැති බව ය.

වෑන් රථයේ අංක තහඩු සොරකම් කර ඇතැ යි පොලිසිය "උපකල්පනය" කරන බව ඔහු පැවසීය.

මොන්ටරේ පාර්ක්හි ජනගහනයෙන් 65%ක් පමණ ආසියානු අමෙරිකානුවන් වේ - එය අමෙරිකාවේ පළමු "චීන උපනගරය" ලෙස හැඳින්වේ. එය ආසියානු සම්භවයක් සහිත බහුතර පදිංචිකරුවන් සිටින එක්සත් ජනපදයේ ප්‍රථම ප්‍රධාන නගරය බවට පත්විය.

මාරාන්තික වෙඩි තැබීම සිදු වූ නර්තන ශාලාව, ප්‍රදේශයේ ජනප්‍රිය [විශේෂයෙන් සෙනසුරාදා රාත්‍රී කාලයේ දී] ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ ය.

එහි බාල් නැටුම් ඉගැන්වූ පුද්ගලයෙකු වන ඇලෙක්ස් සැට්‍රේන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ, නර්තන ශාලාවට නිතර පැමිණෙන පිරිස "පවුලක් වැනි" බව ය.

ප්‍රජාවක් ශෝකයෙන් සිටින අවස්ථාවේ චන්ද්‍ර නව අවුරුද්දේ මොන්ටරේ උද්‍යානයේ සැමරුම් අවලංගු කරන ලද අතර ව්‍යාපාරිකයෝ වීදි අලංකාර කර තිබූ රතු පහන් කූඩු සහ උත්සව බැනර් ඉවත් කිරීමට පටන්ගෙන තිබේ.