ඉම්රාන් ඛාන්: "ඒ ඔක්කොම පටන්ගත්තෙ ඛාන් රැළිය මෙහෙයවමින් ඉඳිද්දී. එකපාරටම වෙඩි සද්දයක් ඇහුණා"
බලයෙන් පහකළ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් නැගෙනහිර වසිරාබාද් නගරයේ විරෝධතා පාගමනක් පවත්වමින් සිටිය දී ඔහුගේ රථපෙළට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවාගැනීමට සමත්විය.
ඔහුගේ රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ පාදයට තුවාල සිදුවිය. මින් එක් අයෙකු මියගිය අතර, අවම වශයෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇත.
ප්‍රහාරයේ චේතනාව සම්බන්ධයෙන් ක්ෂණික නිල ප්‍රකාශයක් නිකුත් නොවූ නමුත් ඔහුගේ පාක්ෂිකයින් පවසන්නේ එය ඝාතන ප්‍රයත්නයක්බව යි.
කඩිනම් මැතිවරණයක් ඉල්ලා මෙම විරෝධතා පාගමන කැඳවා තිබුණි.
හැත්තෑ හැවිරිදි ඛාන් ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ අවසන්වීමට නියමිතව තිබූ පාගමනට නායකත්වය දුන්නේ ය.
දේශපාලනඥයෙකුබවට පත්වූ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරුව ලහෝර්හි රෝහලකට රැගෙනයන අයුරු දක්නට හැකිවිය. ඛාන්ගේ පාදයේ දණහිසින් පහළ ප්‍රදේශයට වෙඩි වැදී ඇතිබව ඔහුගේ පක්‍ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ය.
ඔහු ස්ථාවර තත්ත්වයක පසුවන නමුත් සැත්කමක් සිදුකිරීමට ඉඩ ඇතැ යි සහායකයින් පැවසීය.
හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට තැත් කළබවට පාපොච්ඡාරණය කරන පුද්ගලයෙකුගේ වීඩියෝවක් එරට පොලීසිය විසින් නිකුත්කර ඇති අතර, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත්බවට ප්‍රකාශ කරයි.
එම තැනැත්තාගෙන් ප්‍රශ්න කෙරුණේ කුමන තත්ත්වයන් යටතේ ද යන්න පැහැදිලි නැතත්, ඔහු වෙඩි තැබුවේ මන්දැ යි පොලිසිය එම පුද්ගලයාගෙන් විමසන අතර, "ඌ මිනිස්සුන්ව නොමඟ යවනව. මට ඌව මරන්න ඕනෙ වුණා. මම ඌව මරන්න හැදුවා," යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.

BBC ලෝක සේවයේ Newshour වැඩසටහනට අදහස් දක්වමින් ඛාන්ගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙක් ද ප්‍රකාශකයෙක් ද වන තැනැත්තෙකු පාකිස්ථාන රජය මෙම ප්‍රහාරයට "සෘජුවම සම්බන්ධයැ" යි චෝදනා කළේ ය.
රජය විසින් නිකුත් කෙරුණු වීඩියෝ පාපොච්චාරණය "සත්‍යය සැඟවීමේ අශික්ෂිත උත්සාහයක්" ලෙස බැහැර කළ රාවුෆ් හසන්, රජය "[ඉම්රාන් ඛාන්] ශාරීරිකවත් තුරන් කරන්නට උත්සාහ දරනබව" පැවසීය.
මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා BBCය පාකිස්ථාන රජය හා සම්බන්ධවී ඇත.
වෙඩිහඬ ඇසීමට පෙර, ඛාන් සහ ආධාරකරුවන් ලොරියකින් ඇදගෙන යමින් තිබූ නැව් කන්ටේනර පෙට්ටියක් මත සිටින අයුරු එම ස්ථානයේ වීඩියෝ දර්ශනවලින් දැක්වේ. වෙඩිහඬත් සමග ඛාන් නැවෙනු ද, ඔහු වටා සිටි පිරිස ඔහු ආවරණය කිරීමට උත්සාහ දරනු ද දක්නට ලැබේ.
තවත් වීඩියෝ පටයක දැක්වෙන්නේ, වෙඩි තැබීමෙන් අනතුරුව දකුණු පාදයේ වෙළුම් පටියක් සහිත, හොඳ සිහිකල්පනාවෙන් යුත් ඛාන් රථයකින් රැගෙනයන ආකාරය යි.
මුහුණේ වෙළුම් පටියක් ද, ඇඳුම්වල තැවරුණු රුධිරය ද සහිතව සිටි PTI පක්ෂයේ (ඛාන්ගේ පක්ෂයේ) සාමාජිකයෙකු, ඛාන් සහ තුවාල ලැබූ සියලුදෙනා වෙනුවෙන් ජනතාව යාඥා කළ යුතුබව පවසනු දක්නට ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
වත්මන් අගමැති ෂෙහෙබාස් ෂරීෆ් වෙඩි තැබීම හෙළාදුටු අතර වහාම පරීක්ෂණ පවත්වන ලෙස නියෝග කළේ ය. ජනාධිපති අරීෆ් අල්වි ප්‍රකාශ කළේ මෙම සිද්ධිය "නීච ඝාතන ප්‍රයත්නයක්බව" යි.
ප්‍රහාරය දුටු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන සොරෙයිස් බංගාෂ් BBCයට මෙසේ පැවසීය: "ඒ ඔක්කොම පටන්ගත්තෙ ඛාන් රැළිය මෙහෙයවමින් ඉඳිද්දී. එකපාරටම වෙඩි සද්දයක් ඇහුණා. එවෙලේ තමයි අපි හැමෝටම තේරුම්ගියේ පිස්තෝලයක් ගත්ත මනුස්සයෙක් ඉන්නවා කියලා - මිලිමීටර් 9 පිස්තෝලයක්. ඒ කෙනා ඒ වෙලාවේ කීප සැරයක් වෙඩි තිබ්බා. අවාසනාවන්ත විදියට සමහර PTI නායකයින්ට යි ඛාන්ට යි වෙඩි වැදුනා.
"ඒ පුද්ගලයාව එතන හිටගෙන හිටපු PTI ආධාරකරුවෙක් අල්ලගත්තා. ඊට පස්සේ ඒ කෙනාව අත්අඩංගුවට අරගෙන අරන් ගියා."
ඛාන් පසුගිය සත්දින තුළ දී, නව මැතිවරණයක් ඉල්ලා විරෝධතා පාගමනක් මෙහෙයවීය. මේ, මෙවසරේ පැවැත්වුණු එවන් දෙවැනි රැළිය යි.
සැලසුම්කර ඇති පරිදි ලබන වසරේ දී මැතිවරණය පවත්වනබවට එරට රජය නැවත නැවතත් ප්‍රකාශකර ඇත.
පසුගිය මස පාකිස්ථාන මැතිවරණ කොමිසම විසින් ඛාන් රජයේ නිලතල දැරීමට නුසුදුස්සෙකුබවට ප්‍රකාශවිය. හිටපු ක්‍රිකට් තරුව මෙය විස්තර කළේ දේශපාලනික පෙළඹවීම් නිසාවෙන් මෙසේ සිදුකර ඇතිබව යි.
විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු ත්‍යාගයන් ද, ඒවා අලෙවි කිරීමෙන් ලැබුණුබව පැවසෙන මුදල් ද පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රකාශකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබිණි. මෙම ත්‍යාගයන් අතරට රොලෙක්ස් අත් ඔරලෝසු, මුදුවක් සහ කෆ් ලින්ක් යුගලයක් ඇතුළත්විය.
මාරාන්තික දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් පාකිස්ථානය සතු ය.
2007 වසරේ පැවති ප්‍රසිද්ධ රැළියක දී, හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝ ඝාතනයට ලක්වීම ඉන් වඩාත්ම ප්‍රමුඛ සිද්ධිය යි.












