ඉම්රාන් ඛාන්: පකිස්තාන අගමැතිගේ අසාර්ථකත්වයට හේතු වූයේ කුමක්ද?

Pakistan's Prime Minister Imran Khan. File photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉම්රාන් ඛාන්, මේ වන තෙක්, හමුදාවට රහසිගතව සහයෝගය ලබා දී ඇත.

පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනාවකින් පසුව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ධූරයෙන් නෙරපා හරිනු ලැබුවේ ය. නමුත් ඔහුගේ අසාර්ථකත්වයට හේතු වූයේ කුමක්ද?

2018 දී ඉම්රාන් ඛාන් අගමැති ලෙස තේරී පත් වෙද්දී සියලු දෑ ඔහුට වාසිදායක අතට පැවතුණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි කාලයේ සිටම ජාතික වීරයකු වූ ඔහු ප්‍රචලිත දේශපාලනඥයකු බවට පත් වී, වසර ගණනාවක අරගලයකට පසු, දශක ගණනාවක් පාකිස්තානයේ ආධිපත්‍යය දැරූ දේශපාලන බලාධිකාරිය වෙනස් කිරීමට සමත් විය.

ඔහුගේ දැවැන්ත සමාජ මාධ්‍ය සහයෝගයක්, සහ ආකර්ශනීය ගීත සහිත දේශපාලන රැළි සමඟ දේශපාලනයට පිවිසි ඔහු දැඩි දූෂණ විරෝධී පණිවිඩයක් ගෙන ආවේය. "නව පකිස්තානයක්" නිර්මාණය කරමින් රටට "වෙනසක්" ගෙන එන බවට ඔහු පොරොන්දු විය.

කිසිදු අගමැතිවරයෙකු පකිස්තානයේ වසර පහක පූර්ණ පාර්ලිමේන්තු ධුර කාලයක් සම්පූර්ණ කර නොමැති අතර ඉම්රාන් ඛාන් ඉන් පළමුවැන්නා විය හැකි බවට පෙරනිමිති පැවතුණි.

කෙසේ වෙතත්, ඔහුට එතරම් ස්ථාවරයක් ඇතැයි පෙනෙන්නට හේතුව ම ඔහුගේ අසාර්ථකත්වය පැහැදිලි කිරීමට උපකාරී වේ. ඔහු බලයට පැමිණියේ පාකිස්තාන හමුදාවේ සහ ඔත්තු සේවාවල සහාය ඇතිව බව පුළුල්ව පිළිගෙන ඇත. නමුත් දැන් හමුදාව ඔහු සමඟ විරසක වී ඇත.

2018 දී ඔහුට සැලකිය යුතු, අව්‍යාජ මහජන සහයෝගයක් හිමි වූ බවට සැකයක් නැත.

එහෙත් පකිස්තානයේ "පදනම" හෙවත් මිලිටරියේ රහසිගත පිටුබලය ද ඔහුට තිබුණි. සෘජුව හෝ වක්‍රව හමුදාව රට පාලනය කර ඇති අතර විචාරකයින් ඉම්රාන් ඛාන්ගේ රජය "දෙමුහුම් පාලනයක්" ලෙස නම් කළේය.

ඛාන් වෙත ලැබුණු සහයෝගය විවිධාකාර වේ. 2018 මැතිවරණ ව්‍යාපාරය අතරතුර, මාධ්‍ය ආයතනවලට ඔහුගේ විරුද්ධවාදීන් ගැන සානුකම්පිතව වාර්තා කිරීම සීමා කර තිබුණි. මැතිවරණයට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයින්ට ඔහුගේ පක්ෂයට බැඳීමට ඇරයුම් කිරීම හෝ බල කිරීම ද සිදු විය.

"ඔහුව හැදුවේ ඔවුන් (හමුදාව) විසින්" යැයි ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් පලා ගිය එක් සාමාජිකයෙක් හමුදාව ගැන සඳහන් කරමින් බීබීසීයට පැවසීය. "ඔවුන් තමයි ඔහුව බලයට ගෙනාවේ."

Supporters of the Pakistan Tehreek-e-Insaf (PTI) political party light up their mobile phones and chant slogans in support of Pakistani Prime Minister Imran Khan during a rally in Islamabad, Pakistan. Photo: 4 April 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවර මහා ජන රැලි පවත්වා තිබේ

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ නවාස් ෂරීෆ් පළමුව ඡන්දයෙන් බැහැර කෙරුණු අතර පසුව දූෂණ චෝදනා මත වරදකරුවකු විය. ෂරීෆ් අතීතයේ දූෂණයට සම්බන්ධ වී ඇති බවට බොහෝ දෙනා සැක කළහ. නමුත් මෙම අවස්ථාවෙහිදී ඔහුට දඬුවම් කිරීමට සැබෑ හේතුව වූයේ ඔහු හමුදාව විරසක වීමයි.

ෂරීෆ් සිය දේශපාලන ජීවිතය ආරම්භ කර ඇත්තේ හමුදා ආඥාදායකයෙකුගේ මඟ පෙන්වීම යටතේය. පසුව වඩාත් ස්වාධීනව වර්ධනය වී හමුදා සෙවණින් ඉවත් විය. ඔහු සෑම විටම දූෂණයට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ අතර ඔහු පෙන්වා දෙන්නේ එම චෝදනා දේශපාලනික යටි අරමුණු මත එල්ල කරනු ලබන ඒවා බවයි.

ඉම්රාන් ඛාන් බලයට පත්වීමෙන් පසු, ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් තමන් සහ හමුදාව "එක ස්ථාවරයක" සිටින බව ආඩම්බරයෙන් ප්‍රකාශ කළේය.

එය සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ කනස්සල්ලට හේතු වූ අතර, ඛාන්ගේ රජය සහ බුද්ධි අංශ යන දෙක ම විවේචනය කළ මාධ්‍යවේදීන් සහ විචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සහ පැහැරගැනීම් රාශියක් සිදු විය. ඔහු සහ හමුදාව ඊට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ නමුත් වෙනත් වගකීිව යුත්තෙකු හඳුනාගෙන නොමැත.

Opposition supporters celebrate outside the Supreme Court building after a court verdict in Islamabad on 7 April 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්වාසභංගය අවහිර කිරීමට ගත් ක්‍රියාමාර්ගය ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කිරීමත් සමඟ විපක්ෂයේ ආධාරකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ප්‍රීති ඝෝෂා කළහ

ඛාන් අවධාරණය කර ඇත්තේ රාජ්‍ය සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී ඇති අතර, රටේ විශාල කොටසකට සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම ඇතුළු සමාජ සුබසාධන පද්ධතියට තමා ඉහළ සේවාවක් සපයා ඇති බවයි.

කෙසේ වෙතත්, අනෙකුත් අංශවල දී ඔහු අසාර්ථක වී ඇත. රටේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධුරයට අත්දැකීම් අඩු සහ සුදුසුකම් නොමැති දේශපාලන නවකයෙකු පත් කිරීමට ඔහු ගත් තීරණය පුළුල් ලෙස උපහාසයට ලක් විය.

දැඩි විවේචන හමුවේ පවා උස්මාන් බුස්දාර් එම ධුරයේ තබා ගත්තේ මන්දැයි පැහැදිලි කරන්නට ඉම්රාන් ඛාන්ට නොහැකි විය. මේ අතර බුස්දාර් භාග්‍යවන්ත බැවින් ඔහුව ධූරයෙන් පහ කළහොත් ඒ පාපයට මුළු රජයම බිඳ වැටෙනු ඇතැයි අධ්‍යාත්මික කටයුතුවල නියුතු අගමැතිගේ බිරිඳ පවසා ඇති බවට කටකතාවක් පැතිරිණි.

ඊට අමතරව තවත් අභියෝග ද විය. ආහාර ද්‍රව්‍ය මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සහ ඩොලරයට සාපේක්ෂව පකිස්තානු රුපියල පහත වැටීමත් සමඟ එරට ජීවන වියදම ඉහළ යමින් තිබේ.

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ගෝලීය තත්ත්වයන්ට දොස් පවරන නමුත් ඔහුට එරෙහිව මහජන කෝපය වැඩිවෙමින් තිබේ. "ෂරීෆ්ලා මඩිය තර කරගන්න ඇති, ඒත් අඩුම තරමින් එයාලා රටට වැඩක් කළා," පොදුජනතාව මැසිවිලි නඟයි.

දැනටත්, ඉම්රාන් ඛාන් යනු හමුදාවට වාසිදායක අයෙකු ලෙස අර්ථකථනය කෙරේ. ඔහු ලෝක වේදිකාවේ ආකර්ෂණීය චරිතයක් වූ අතර කොවිඩ් වසංගතය අතරතුර සම්පූර්ණ අගුලු දැමීමකට නොයා සිටියේය. එසේ තිබියදීත් මරණ සංඛ්‍යාව අඩුව තිබුණේ කෙසේද යන්න කිසිවෙකුට තවමත් නිශ්චිත නැත.

Pakistan's army Chief of Staff Gen Qamar Javed Bajwa (left) at a military parade in Islamabad. Photo: 23 March 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්රේනය රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් ජෙනරාල් බජ්වා (වමේ) සහ ඉම්රාන් ඛාන් අතර මතභේද ඇති වූ බව වාර්තා වේ.

මේ අතර, ඉම්රාන් ඛාන් තනතුරට "තේරීම" සඳහා වගකිව යුතු බවට කියන හමුදා ප්‍රධානී ජෙනරාල් බජ්වා, සහ බුද්ධි අංශ (ISI) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් වෙත ඇඟිල්ල දිගු කරන ඛාන්ගේ විරුද්ධවාදීහු හමුදාවට විරුද්ධව හඬ නැගූහ.

මෙම තත්ත්වය පසුගිය වසරේ දැඩි ලෙස වෙනස් විය. නිරීක්ෂකයින් ගණනාවක් බීබීසීයට පැවසුවේ, යහපාලනය ලබා දීමට ඛාන් අසමත් වීමත්වීම, විශේෂයෙන් පන්ජාබ්හි, ඔහුව බලයට ගෙන ඒම සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ ලැබීමත් නිසා හමුදාව වැඩි වැඩියෙන් කලකිරීමට පත් වූ බවයි.

වඩාත්ම තීරණාත්මක දෙය නම්, ජෙනරාල් බජ්වා සහ ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් අතර විරසකයක් ඇති වීමට පටන් ගැනීමයි. ෆයිස් හමීඩ් මීළඟ හමුදා ප්‍රධානියා වීමට බලාපොරොත්තුවෙන් සිටින බව බොහෝ දෙනා සැලකූහ.

ලුතිනන් ජෙනරාල් හමීඩ් තම අපේක්ෂාවන් ගැන කෙතරම් විශ්වාසයෙන් සිටියේද යත්, හමුදාව භාරගන්නා මීළඟ පුද්ගලයා තමා බව අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ නිලධාරීන්ට පවා පවසා තිබුණි.

කෙසේ වෙතත්, හමුදාවට සමීප එක් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණේ ලුතිනන් ජෙනරාල් හමීඩ් දේශපාලනඥයන්ට බලපෑම් කිරීම හෝ විවේචකයින් නිහඬ කිරීම වැනි "දූෂිත ක්‍රියා" ඵලදායි ලෙස හැසිරවිය හැකි අයෙකු ලෙස සලකනු ලැබුවද, "හමුදාව මෙහෙයවීමට" සුදුසු අයෙකු ලෙස නොසැලකෙන බවයි.

පසුගිය ගිම්හානයේදී බලගතු විචාරකයින් වෙත දැක්වූ අදහස් සමඟ ඔවුන් අතර පැවති ගැටුම්කාරී බව නිරීක්ෂණය විය. එක් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයක දී දැන් ISI ප්‍රධානියාගේ කාලය අවසන් වී ඇති බව පිළිතුරු ලෙස ලැබුණි.

"මම තමයි ප්‍රධානියා," ජෙනරාල් බජ්වා පැවසීය, "අපේ කාලය අවසන් වෙන්නේ කවදාද කියලා මම තීරණය කරන්නම්".

ඔක්තෝම්බර් මාසයේදී ආරවුල උත්සන්න වූ අතර ඉම්රාන් ඛාන්ගේ ධූරයේ අවසානය සනිටුහන් විය. ඔත්තු සේවා භාරව නව අයෙකු අවශ්‍ය බව ජෙනරල් බජ්වා වටහා ගත් අතර හමුදා තනතුරුවල වෙනසක් විය හැකැයි නිවේදනය කළේය.

කෙසේ වෙතත්, ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගෙන සිටි ඉම්රාන් ඛාන් එයට විරුද්ධ විය. ඇතැම්විට ඔහුට අවශ්‍ය වූයේ මැතිවරණය පැවැත්වෙන තෙක් ඔහු රඳවා තබා ගැනීමයි. ඒ, ලුතිනන් ජෙනරාල් හමීඩ්ට නැවත වරක් ඛාන්ගේ ජයග්‍රහණය සහතික කිරීමට උපකාර කළ හැකි බව උපකල්පනය කොට විය හැක.

අග්‍රාමාත්‍යවරයා තම අවසානය සනිටුහන් වීමට සති තුනකට මත්තෙන් තනතුරු වෙනස් කිරීම අත්හිටුවන බවට නියෝග කළේය. ඉන් හමුදාව සහ ඉම්රාන් ඛාන්ගේ රජය අතර ඇතිවූ ඉරිතැලීම් විපක්ෂය ධෛර්යමත් කළේය.

විපක්ෂය විශ්වාසභංග ඡන්දයක් සැලසුම් කරමින්, ඔහුගේ පක්ෂය සහ සභාග සහචරයින් අතරින් පක්ෂ මාරු කිරීමට ඉඩ ඇත්තන් පෙන්වා දෙද්දීත් හමුදාව "මධ්‍යස්ථව" සිටින බව ආරංචිමාර්ග ගණනාවක් බීබීසී වෙත පැවසීය.

ඛාන්ගේ පක්‍ෂය හැර ගිය එක් සාමාජිකයෙක් බීබීසීයට පැවසුවේ, එකල තමාට සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බුද්ධි අංශවලින් "ඇමතුම්" ලැබුණු බවත්, ඔවුන් කළ යුතු දේ පිළිබඳව උපදෙස් ලැබුණු බවත්ය.

"අපිට ඉස්සර (හමුදාව) බලපෑම් කළා," ඔහු කෝපයෙන් කීවේය. කෙසේ වෙතත්, ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් ධූරයෙන් ඉවත් වූ පසු එම "ඇමතුම්" නතර විය. "දැන් හමුදාව මැදිහත් වෙන්නේ නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.

මාධ්‍යවේදී කම්රාන් යූසුෆ් බීබීසීයට පැවසුවේ, හමුදාව ඉම්රාන් ඛාන්ගේ මිත්‍ර පාක්ෂිකයින් සහ ආණ්ඩුව තුළ සුළු බහුතරයක් "පාලනය" කිරීමට සම්බන්ධ වී ඇති බවයි. "එම සහයෝගය නැති වූ පසු, ඔහුගේ වැටීම නොවැළැක්විය හැකියි," ඔහු පැවසීය.

ඉම්රාන් ඛාන් සහ හමුදාව අතර, විශේෂයෙන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද තවදුරටත් පරස්පරතා මතු වී තිබේ. රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වූ දිනයේ ඉම්රාන් ඛාන් තමා මොස්කව් වෙත යාම සාධාරණීකරණය කරගත්තේය. ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ හැසිරීම හෙළා දැකීමට බටහිර නිලධාරීන් ගත් උත්සාහයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. එහෙත්, ජෙනරාල් බජ්වා පසුගිය සතියේ පැවසුවේ යුක්රේන ආක්‍රමණය "වහාම නැවැත්විය යුතු" බවයි.

"දේශපාලන පිරිවැය හේතුවෙන්" ප්‍රතිවාදී ඉන්දියාව සමඟ වෙළඳාම අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට ජෙනරාල් බජ්වා විසින් දරන ලද උත්සාහයක් ඉම්රාන් ඛාන් මීට පෙර "ව්‍යවර්ථ" කළ බව යූසුෆ් පැවසීය. හාස්‍යයට කරුණක් නම්, ඉන්දියාව සමඟ සබඳතා වැඩිදියුණු කරගැනීමට උත්සාහ කළ පෙර පකිස්තානු රජයයන්ට හමුදාව වි‍රුද්ධ වී තිබීමයි.

කෙසේ වෙතත්, ඛාන් නැවත නැවතත් කියා සිටියේ තමන් සටන අත් නොහරින බවයි. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකාවේ යුද්ධය විවේචනය කිරීම ඇතුළත් ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ බටහිර විරෝධී නැඹුරුව නිසා, පකිස්තානයේ "පාලන තන්ත්‍ර වෙනසක්" කෙරෙහි බලපෑම් කිරීමට එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද උත්සාහයක ගොදුරක් බවට තමා පත්වූ බවට ඔහු චෝදනා කරයි.

බොහෝ විශ්ලේෂකයින් ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙය වොෂින්ටනයේ පකිස්ථාන තානාපතිවරයා විසින් එවන ලද රාජ්‍ය තාන්ත්‍රික කේබලයක් හිතාමතාම අතිශයෝක්තියක් ලෙස යහුවාදක්වා ඇති බව දක්වමිනි.

කෙසේ වෙතත්, එය ඛාන්ගේ ආධාරකරුවන්ගේ සිත් දිනාගන්නක් මෙන්ම රට තුළ ඇති ඇමරිකානු විරෝධී ජන පවුරට ආයාචානය කිරීමකි.

පකිස්තාන හමුදාව ද "විදේශීය කුමන්ත්‍රණ" හෝ "විදේශීය න්‍යායපත්‍ර" වල අන්තරායන් ගැන අනතුරු අඟවමින්, කුමන්ත්‍රණ න්‍යායන් සඳහා හිතකර වාතාවරණයක් ගොඩ නගා තිබිණි.

ඛාන් වරක් තම ක්‍රිකට් කණ්ඩායමට පැවසුවේ "උගුලට අසු වූ කොටියන් මෙන් සටන් කරන ලෙස" ය. ඔහු විපක්ෂයේ බලවත් චරිතයක් බවට පත්වනු ඇති බව පෙනී යයි.