ඇෆ්ඝනිස්ථානය: කාන්තා සහන සේවා තහනම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඉහළ නිලධාරිනියන් තාලිබානය හමුවෙයි

A burqa-clad woman pushes a wheelbarrow loaded with vegetables and a child during snow fall in Kabul on January 11, 2023.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රමාණවත් ආහාර ලබා ගැනීම සහ සීතල පාලනය කර ගැනීම දෛනික අභියෝගයක්

කාන්තාවන් විශ්වවිද්‍යාල සහ ද්විතීයික පාසල්වල අධ්‍යාපනය ලැබීම මෙන්ම බොහෝ සේවා ස්ථානවලට පැමිණීම ද තහනම් කර ඇති රටක, තම සේවාවන් අත්‍යවශ්‍යම තැනැත්තන්ට පිහිටවීමට නොහැකිවීමේ අවදානමකට ලොව විශාලතම සහන සේවා මෙහෙයුම මුහුණපා සිටියි.

මෙය සිදුවන්නේ ද, සාගතය මෙන්ම අධික සීතල නිසා ඇතිවන ශාරීරික අපහසුතාවන් එළිපත්තට පැමිණ ඇති, සීත සෘතුව අකාරුණික මෙන්ම කුරිරුම අවධියේ දී ය.

දිනෙන් දින තීව්‍ර වන අර්බුදයක් මැද, 2021 දී තාලිබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු ඇෆ්ඝනිස්ථානයේ සංචාරය කරන ජ්‍යේෂ්ඨතම එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම කාබුල් වෙත ළඟාවී ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එහි නියෝජ්‍ය මහ ලේකම් අමිනා මොහොමඩ් (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යේෂ්ඨතම කාන්තාව) මෙන්ම, එක්සත් ජාතීන්ගේ කාන්තා ප්‍රධානී සිමා බහූස් ද ඇතුළත් කණ්ඩායමක් මේ සදහා පිටත්කර හැරියේ ය.

තාලිබාන්හි ඉහළම මට්ටමේ නායකයින් හමුවී, හදිසි ජීවිතාරක්ෂක මානුෂීය මෙහෙයුම් අනතුරේ හෙළන තහංචි මෙන්ම අලුතින් පැනවූ කාන්තා සහන සේවකයන්ගේ තහනම ඇතුලු සීමාවන් ඉවත්කරවීමට කතිකා කිරීම මෙම නියෝජිත පිරිස වෙත පැවරී ඇත.

Taliban acting Foreign Minister, Mawlawi Amir Khan Muttaqi meets with UN delegates, in Kabul, Afghanistan, in this screengrab taken from a video released on January 18, 2023. Taliban Foreign Ministry/Handout via REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස තාලිබාන් සංවිධානයේ වැඩබලන විදේශ අමාත්‍යවරයා හමුවිය

"මිනිස්සු අධික සීතල නිසා පීඩා විඳිනවා වගේම කාලය ඉක්මනින් ගෙවිලා යනවා," ඇෆ්ඝනිස්ථානයේ සිටින එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක රමීස් ඇලෙක්බරොෆ් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරමින් පැවසීය.

"මේ අපි ඔවුන්ට ඉඳුම් හිටුම් හදලා දෙන්න ඕන කාලෙ. නමුත්, මේ වගේ ගතානුගතික සමාජයක, කාන්තා සහන සේවකයින් නැතිව අපට පවුල්වල කාන්තාවෝ එක්ක කතා කරන්න බැහැ. ඒ නිසා අපට අපේ කාර්යය කරන්න නොහැකිවෙලා තියෙනවා."

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම කාර්යය සඳහා යවා තිබෙනවා පමණක් නොව, දශක ගණනාවක පළපුරුද්දක් ඇති කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ වෙනුවෙන් තෝරාගෙන තිබේ.

"කාමරයේ කාන්තාවන් ඉන්නවා නම්, කාන්තාවන් ගැන බරපතල සංවාද සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි," තාලිබාන් ආණ්ඩුවේ ඉල්ලීම් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකුලව සමථයකට පත්කිරීමේ සාකච්ඡාවලට නිතර සහභාගී වන එක් නිලධාරියෙකු පැවසීය.

විදේශීය නියෝජිතයින් බොහෝ විට පිරිමි සාමාජිකයින් පමණක් ඇතුළත් කණඩායම් එවීම තුළින්, තාලිබාන්වරුන්ගේ ලෝකය පිළිබඳ ඔවුන්ගේ ගතානුගතික අදහස් ශක්තිමත් කරන බවට නිතර විවේචන එල්ල වෙයි.

ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෑතක දී අසාමාන්‍ය ඒකමතිකභාවයකින් "මානව හිමිකම් සහ මූලික නිදහසට ගරු කිරීමේ පරිහානිය වේගවත්වීම" හෙළා දුටුවේ ය.

කාබුල් නුවරට පැමිණි නියෝජිත පිරිස හමුවූ පළමු තාලිබාන් නිලධාරියා වූයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි ය.

රැස්වීම ආරම්භ වූයේ, "දූත පිරිස ඇෆ්ඝනිස්ථානයේ සැබෑ චිත්‍රය ලෝකයට නිරූපණය කරනු ඇති" බවට අමාත්‍යවරයා අපේක්ෂා පළ කිරීමත් සමගබව, සමාජ මාධ්‍ය හරහා අමාත්‍යවරයාගේ ප්‍රකාශකයා පැවසීය.

ඔවුන්ට එරෙහිව පනවා ඇති සම්බාධක මෙන්ම, ඔවුන්ගේ පාලනයට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැතිකම ද තම පාලනය ඵලදායී ලෙස ගෙනයාමට බාධාවක් වී ඇති බවට වන තාලිබාන් තර්කය ද ඔහු නැවත අවධාරණය කළේ ය.

ඇෆ්ඝනිස්ථානය පුරා උෂ්ණත්වය -17C දක්වා අඩුවෙමින් පවතින අතර කඳුකර ප්‍රදේශවල එය ඊටත් වඩා අඩු අගයක් ගනියි.

විදුලි සැපයුම අක්‍රමවත්වීම හෝ සැපයුමක් නොමැතිවීම නිසා මිලියන ගණනක් පවුල් රාත්‍රිය ගෙවා දැමීමට මහත් පරිශ්‍රමයක් දරයි. නිසරු පස හා ඔට්ටු වෙමින් ලෝකයේ දුප්පත්ම රටවලින් එකක ගෙවන ජීවිතය සෑම විටම කටුකය - නමුත් එම ජීවිත මෙතරම් කටුක විය නොහැකි ය.

"සමාජයෙන් අඩකගේ සහභාගීත්වය නැතුව ඇෆ්ඝනිස්ථානයේ මානුෂීය ආධාර සපයන්න බැහැ," යනු ඇෆ්ඝනිස්ථාන කාන්තා සහන සේවිකාවන් සීමා කිරීමේ තාලිබාන් රජයේ නව ආඥාවට ප්‍රතිචාර දැක්වීමට අරගල කරන සහන සේවා ආයතනවල ප්‍රමුඛ මන්ත්‍රය යි.

සහන සපයන ඇතැම් ආයතන තම මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇත. මෙම තීන්දුව, මෑත මාසවල දී ගෙන ආ කාන්තාවන්ට විශ්වවිද්‍යාලයයට යාම, පොදු උද්‍යානවල එකතුවීම හෝ කාන්තාවන්ට පමණක් වන කායවර්ධන ආයතනවලට යාම තහනම් කරන ලද නීති මාලාවක නවතම එකකි.

තාලිබාන් නායකයින් පවසන්නේ ඉස්ලාමීය ෂරියා නීතිය සහ ඇෆ්ඝනිස්ථානයේ ගතානුගතික සම්ප්‍රදායන් පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුකූල කොන්දේසි පළමුව සූදානම් කළ යුතු බව යි.

A Taliban fighter is seen at the Taliban flag-raising ceremony in Kabul, Afghanistan, March 31, 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තාලිබාන්වරු කලින් කුමක් පොරොන්දුවූව ද, ඔවුන් නැවත බලයට පත් වූ දා සිට කාන්තාවන් එදිනෙදා කටයුතුවලින් හා පොදු ජීවිතයෙන් ක්‍රමානුකූලව ඉවත්කර ඇත

මෙම නවතම තහනම සම්බන්ධයෙන් යම් ක්‍රියාකාරීත්වයක් ඇති වී තිබේ.

තාලිබාන් ක්‍රමය තුළ සිටින සමහර නිලධාරීන් මෙම නව නීතිවල ඇති බරපතලකම තේරුම් ගෙන ඇත.

වෛද්‍යවරියන් සහ හෙදියන් අත්‍යවශ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාවන්ට සේවය කළ හැකිබව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කර ඇත. එය සමහර වැදගත් සෞඛ්‍ය වැඩසටහන් නැවත ආරම්භ කිරීමට හේතු වී ඇත.

"අපේ වැඩසටහන් බහුතරයක් අත්හිටුවා තියෙද්දී, සෞඛ්‍ය, පෝෂණය සහ සමහර අධ්‍යාපන සේවා වැනි සමහර ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට හැකිවුණේ අපේ කාන්තා කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව හා බාධාවකින් තොරව වැඩ කරන්න පුළුවන් බවට අදාළ බලධාරීන්ගෙන් අපට පැහැදිලි විශ්වාසදායක සහතිකයක් ලැබුණු නිසයි," මෙම සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් 'Save the Children' ප්‍රකාශ කළේ ය.

ගෙයින් ගෙට යමින් කෙරෙන ක්ෂේත්‍ර සමීක්ෂණවල සිට කාර්යාල සේවා දක්වා සෑම තැනකම වැඩ කිරීමට ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ට ඇති අවශ්‍යතාව කාබුල්හි ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුවේ සමිරා සයීඩ් රහ්මාන් අවධාරණය කළා ය.

"අපි ප්‍රායෝගික ප්‍රවේශයක් ගනිමින් ඉන්නවා, තාලිබාන් නිලධාරීන්ගේ එක් එක් අංශයෙන් අංශය සමග වැඩ කරමින් ඉන්නවා," ඇය බීබීසීය වෙත පැවසුවා ය.

Afghan men stand in queues to receive food aid from a non-governmental organisation (NGO) in Kabul on December 25, 2022.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක, ඇෆ්ඝනිස්ථානුවන් වැඩි පිරිසක් ආහාර ආධාර මත යැපෙයි

මෙම ඉල්ලීම් බාහිර ලෝකයෙන් පමණක් එන අවධාරණය කිරීම් නොවේ. පළාතෙන් පළාතට, ගෝත්‍රික නායකයින් සහ ආගමික විද්වතුන් තාලිබාන් නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ද්විතීයික බාලිකා පාසල් විවෘත කර රැකියා සඳහා වැඩි අවස්ථා ලබා දෙන ලෙසයි.

දුෂ්කර මධ්‍යම කඳුකරයේ ගම්මානයක් වූ ඝෝර්හි පසුගිය ගිම්හානයේ දී අප කළ සංචාරයේ දී, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ කාලෝචිත මැදිහත්වීම් නිසා පසුගිය ශීත සෘතුවේදී සමහර දිස්ත්‍රික්ක සාගතයකට යා නොදී බේරාගත් ආකාරය ගොවීන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් අපට අසන්නට ලැබුණි.

"ලෝකෙට දැන් අපිව අමතක වෙනවා කියලා අපට දැනෙනවා," වියළි තිරිඟු කරල් අමනාපයෙන් පොඩි කරමින් ගොවියෙක් අවලාද තැබුවේ වසර ගණනාවක් පුරා ඔවුන්ට දඩුවම් කළ නියඟය නිසා තව තවත් කටුක වූ ජීවිතයේ වේදනාකාරී ජීවිතය සංකේතවත් කරමිනි.

මෙම ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම ප්‍රථමයෙන් ඇෆ්ඝනිස්ථානයේ අසල්වැසි රටවලට මෙන්ම ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට (OIC) ගොස් "ජාත්‍යන්තර ප්‍රජාව එකමුතු ප්‍රවේශයකින් හා එක හඬින් කතාකිරීමේ වැදගත්කම" අවධාරණය කිරීම සඳහා මෙහෙවර ආරම්භ කළහ.

Afghan women watch the speech of Taliban's minister for higher education, Nida Muhammad Nadeem, on a mobile phone in Kabul, Afghanistan, 22 December 2022.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, තාලිබාන් අධ්‍යාපන ඇමතිවරයා විශ්වවිද්‍යාල පිරිමින්ට පමණක් සීමාකිරීම සාධාරණීකරණය කරන ආකාරය නරඹන කාන්තාවන් පිරිසක්

මේ අවස්ථාවේ, එක්සත් ජාතීන්ගේ මෙම සංචාරය, වරක් විශාල කැපවීමක් සහ මුදල් ආයෝජනය කළ ලෝකයේ රටවලට දැන් ඔවුන් අමතක වී ඇතැ යි හැඟෙන බොහෝ ඇෆ්ඝනිස්ථානුවන්ට මෙන්ම ඔවුන්ගේ සහචරයින්ට ද වැදගත් සංඥාවකි.

"2021 දී හදිසියේ පිටව ගිය නේටෝ රටවල් කොහෙ ද?" නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ මහ ලේකම් යාන් එගලන්ඩ් ප්‍රශ්නකර සිටියේ ය.

පසුගිය සතියේ ඔහුගේ ඇෆ්ඝනිස්ථාන සංචාරය අතරතුර ට්විටර් පණිවිඩයක් මඟින්, තාලිබාන් සංවිධානයට නැවතත් (ඇෆ්ඝනිස්ථානය) අත්පත් කර ගැනීමේ කාර්යයභාරයට විශාල පිටුවහලක් වූ එක්සත් ජනපදයේ ඉවත්වීම පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, "ඔබ මිලියන 40ක ඇෆ්ඝන් ජාතිකයන් අප වෙත අතැර ගිය" බව යි.