ඇෆ්ඝන් කාන්තාවන් බෙදාගත් රහස්

- Author, ලීසා ඩුසෙට් සහ සර්ගුණා කර්ගාර්
- Role, බීබීසී පුවත්
"මගේ පෑන පක්ෂියෙකුගේ පියාපත් වේ. එය, අපට සිතීමට ඉඩකඩ නැති සිතුවිලි, අපට දැකීමට ඉඩ නැති සිහින ගැන ඔබට පවසනු ඇත."
ඇතැම් කාලවල දී ඇෆ්ඝන් කාන්තාවන්ගේ හඬ, කාබුල් නගරයේ සහ අනෙකුත් කුඩා නගරවල වීදිවලින් කුඩා, ඝෝෂකාරී, විරෝධතා ලෙස නැගී එයි. ඔවුහු බොහෝවිට දැනට ඇෆ්ඝනිස්ථානයෙන් පිටත, බොහෝදුර සිටින කාන්තාවන්ගේ කතා අසති. නමුත් බොහෝවිට ඔවුන්ගේ සිතුවිලි නිශ්ශබ්දව, ඉතා රහසිගත ස්ථානවල දී ප්‍රකාශ කරයි. එසේ නොවේ නම්, තාලිබාන් ආණ්‌ඩුවේ ඉතා දැඩි නීතිරීති සමග තම ජීවිත ගලපාගැනීමට උත්සාහ දරනා අතරේ ඒවා ඔවුන්ගේ හිස් තුළ පැසවමින් පවතියි. ඔවුන් (තාලිබාන් ආණ්ඩුව) කාන්තාවන් අඳින්නේ කුමක් ද, ඔවුන් වැඩ කරන කුමන ස්ථානයේ ද, ඔවුන්ට ජීවිතයේ දී කළ හැකි දේ හෝ නොකළ යුතු දේ කුමක්දැ යි සීමා පනවයි.
තාලිබාන්වරුන් නැවත ඒමට මාස කිහිපයකට පෙර, 2021 අගෝස්තු මාසයේ දී, ඇෆ්ඝනිස්ථාන ලේඛිකාවෝ 18 දෙනෙක් සැබෑ ජීවිතයෙන් උකහාගත් කරුණු ඇතුළත් ප්‍රබන්ධ මෙම වසර මුල දී My Pen is the Wing of a Bird (මගේ පෑන පක්ෂියෙකුගේ පියාපත් ය) නම් පොත හරහා පළකළහ. ජාත්‍යන්තර ප්‍රජාව තමාගේ බලාපොරොත්තු කඩකර, තමා තනිකර දමා ඇති බවක් බොහෝ ඇෆ්ඝන් කාන්තාවන්ට දැනී ඇත. නමුත් මෙම ලේඛිකාවන් එකිනෙකා සනසා ගැනීමටත්, මිලියන ගණනක කාන්තාවන් සහ ගැහැණු ළමයින් වර්තමානයේ මුහුණදෙන ගැටලු ඉස්මතු කිරීමටත්, ඔවුන්ගේ පෑන් සහ දුරකතන භාවිත කරති. මෙහි, 'පරන්දා' සහ 'සදාෆ්' යන පෑනේ නම් දරන කාබුල්හි ලේඛිකාවන් දෙදෙනෙකු රහසිගතව ලියූ තම සිතුවිලි බෙදාගෙන තිබේ.
'රෝස පැහැ ස්කාෆයක් පැළඳීම පවක් ද?'

"අද මම අවදි වුණේ අධිෂ්ඨානශීලීව. මම මගේ ඇඳුම් තෝරනකොට, මම දිනපතා පළඳින කළු හිස් ආවරණයට එරෙහිව රෝස පැහැ හිස් ආවරණයක් පැළඳීමට තීරණය කළා. රෝස පැහැ හිස් ආවරණයක් පැළඳීම පාපයක් ද?"
පරන්දා, තමාට ගැහැණුකමක් දනවන රෝස පැහැය ඇඳීමට කැමැත්තක් දක්වයි. නමුත් කාන්තාවන් ඇඳුම් සඳහා තෝරාගැනීම් සිදුකිරීම සටන්බිමක්ව තිබේ. විනීතබව පිළිබඳ දැඩි තාලිබාන් ආඥාවන් බොහෝවිට බලහත්කාරයෙන් බලාත්මක වේ. මෙම සාම්ප්‍රදායික සමාජය තුළ, ඇෆ්ඝන් කාන්තාවන් සටන් කරන්නේ හිස වැසීමට එරෙහිව නොවේ - ඇතැමුන්ට අවශ්‍යවන්නේ තේරීම සඳහා ඔවුනට ඇති අයිතිය පමණි. ඔබ එය වීදිවල හා පොදු ස්ථානවල දකියි. රෝස පැහැ ස්කාෆයක්. දිලිසෙන වාටියක්. අඳුරේ කුඩා එළියක්.
"අපට ආපසු හැරෙන්න බැහැ"
"ආපසු යෑම පහසු නෑ. ඉදිරියට යාම ද විශාල ගැටුමක්. මම බලාපොරොත්තු තබාගත යුතු ද නැද්ද? අපට ආපසු හැරෙන්න බැහැ," හෆිසුල්ලා හමීම් කිවිඳිය ලියයි.
ඇෆ්ඝන් කාන්තාවන් කලාතුරකින් සිදුවන මහජන විරෝධතාවල නායකත්වය දරයි. නිර්භීත සුළු පිරිසක් කාබුල් සහ අනෙකුත් නගරවල "පාන්, වැඩ, නිදහස" ඉල්ලා බැනර් ලෙලවමින් වීදි බැස තිබේ. ඔවුන් බලහත්කාරයෙන් විසුරුවාහැර සහ රඳවා තබාගෙන ඇත. ඇතැමුන් රැඳවුම් භාරයේ දී අතුරුදන් වී තිබේ. දේශසීමාවෙන් පිටත, ඉරානයේ, "කාන්තාව, ජීවිතය, නිදහස" සහ හිජාබය පැළඳීම අනිවාර්ය කිරීම ඉවත් කරන ලෙස ඉල්ලා හඬ නගන්නේ ද කාන්තාවන් ය. ඇෆ්ඝනිස්ථානුවන් සටන් වැඩෙන්නේ ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලැබීම හා කාන්තාවන්ට රැකියා කිරීමට ඇති අයිතිය ඉල්ලා ය.
'බිය, කෝපයට හැරෙයි'

"තාලිබාන් ගාඩ් අපේ කාර්යාල රථය නවත්තවලා, මා දිහාට ඇඟිල්ල දිගු කළා. මගේ හද ගැස්ම වේගවත් වුණා. මගේ ශරීරය වෙව්ලන්න වුණා. මගේ ඇඟ හරහා හුළං හමනවා වගේ දැනුනා. අපේ කාරය එතැනින් ඈතට යනවිට හුළඟ වෙනත් පැත්තකට ගියා වගේ දැනුණා. මගේ බය තරහකට හැරුණා."
ඉතා දුෂ්කර දෙය වන්නේ අනපේක්ෂිතතාව යි. ඇතැම් තාලිබාන් ආරක්ෂකයින් ප්‍රචණ්ඩ ය. සමහරුන් වඩාත් පිළිගන්නාසුළු තැනැත්තන් වෙයි. ගමනේ යෙදීම කාන්තාවන්ගේ ස්නායු නොසන්සුන් කරවනසුළු ය. කිලෝමීටර 72කට වැඩි දුර යාම සඳහා මහ්රාම් - එනම් පිරිමි ආරක්ෂාව අනිවාර්ය වේ. ඇතැම් තලිබ්වරු තමන්ට අවැසි පරිදි නීතිය භාවිතා කරන අතර හිතුමනාපයේ කාන්තාවන් නිවෙස් කරා පිටත්කර හරිති.
'අයිස්ක්‍රීම් ගෙනෙනා උද්‍යෝගය'

"ළමයෙකු ලෙස අයිස්ක්‍රීම් කෑමේ උද්‍යෝගය, වැඩිහිටියෙකු ලෙස අභ්‍යවකාශයට යාමේ උද්‍යෝගයට සමාන ය."
අයිස්ක්‍රීම් මැෂින් වෙත දිගු පෝලිම් පවතිනු හා කැෆේවල කාන්තාවන් සහ ළමයින් පිරී සිටිනු ඔබට දැකගත හැකිය. මේවා දුර්ලභ සංග්‍රහයක් හා විවේකයක් සඳහා පළායා හැකි ස්ථානයක් බවට පත්වී තිබේ. "කාන්තාවන් හිජාබය පිළිපදින්නේ නැති නිසා," දැන් පොදු උද්‍යාන සහ කාන්තාවන්ට පමණක් වන ව්‍යායාම් ශාලා සහ ස්නානාගාර පවා සීමාසහිත වී ඇත්තේ දැඩි ඇඳුම් පැළඳුම් කොන්දේසි හේතුවෙනි. මේ සියල්ලෙන් අදහස් කරන්නේ කුඩා අවකාශයන් තවත් කුඩාවිය හැකි බව යි.
'අවු. 13 දී විවාහ ගිවිසීම'

"පොදු නානකාමර හිමිකරුගේ දියණිය විවාහ ගිවිසගෙන තිබෙනවා. පුදුම යි. ඇයට වයස අවුරුදු 13 යි. ඇගේ මව කියන්නේ තාලිබාන්වරු කිසි දිනෙක පාසල් නැවත විවෘත නොකරන නිසා, ඇයට ඇගේ වාසනාවන්ත නිවසට යාමට ඉඩ දෙන්න කියලා යි. මට හිතෙනවා ඒ කුඩා දැරිය මම බව. තාලිබාන්වරු පැමිණි මුල්ම අවස්ථාවේ දී මම හිටියේ කලකිරීමෙන්. මටත් බලහත්කාර කසාදයකට එකඟවෙන්න සිද්ධ වුණා. ඒ තුවාල තාම සනීප වෙලා නෑ. ඒත් මම අළු මතින් නැගිට්ටා."
එය මර්දනය නැවත නැවතත් සිදුකිරීමකි. 1990 දශකයේ දී ඔවුන්ගේ ද අධ්‍යාපනය අවසන් කළ තාලිබාන් පාලනය ඇෆ්ඝන් කාන්තාවෝ වේදනාකාරී ලෙස සිහිපත් කරති. 2001 දී එම පාලන තන්ත්‍රය පෙරළා දැමූ විට, වෙනත් බොහෝ කාන්තාවන් මෙන්ම පරන්දා ද පාසල් යාමට හෝ දික්කසාදවීමට අවස්ථාව ලබා ගත්තා ය. නව පරපුරේ පාසල් සිසුවියන් හැදී වැඩී ඇත්තේ ඊටත් වඩා විශාල සිහින සමගිනි. පාසල් වසා දැමීම නිසා ඔවුන්ට ඇතිව තිබෙන වේදනාව විශාල ය.
'කාන්තාවන්ට එරෙහිව පිරිමින් භාවිතා කරන වචන'

"මම සමාජ මාධ්‍ය භාවිතා කළ නමුත් දැන් මම මගේ කට වහගෙන ඉන්නවා. මගේ සමාජය හා පිරිමින්, කාන්තාවන්ට එරෙහිව භාවිතා කරන නිරුවත් වචන ගැන මම කලකිරිලා ඉන්නේ. ඇෆ්ඝන් කාන්තා ප්‍රශ්නවල මූලය වෙන්නේ වෙනස් වෙනස් නව නීති ගේන ආණ්ඩු නොව, කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ නපුරු සිතුවිලි බව මම විශ්වාස කරනවා."
ඇෆ්ඝන් පාලන තන්ත්‍ර බලයට එති, යති; නමුත් පුරුෂාධිපත්‍යය නොනැසී පවතියි. ඇෆ්ඝන් කාන්තාවන් දිගුකලක සිට ජීවත්වන්නේ පිරිමින් විසින් නියම කෙරුණු සීමාවන් සමග ය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරන ආකාරයට "විශ්වාසදායක මර්දනය" - කාන්තාවන් සහ ගැහැණු ළමයින් වසන් කරන ගතානුගතික පවුල් සම්මතයන් ශක්තිමත්වීම ප්‍රබල බලපෑමක් ඇති කරයි.
'හොඳ රටක් පැමිණෙන බව විශ්වාස කරන්න'

"සිදුවෙන දේවල් ගැන මම ලියන්න ඕනේ. දැන් මාධ්‍ය ඇත්තේ කිහිපයයි. කවදා හෝ, ඇෆ්ඝනිස්තානය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඉතා හොඳ රටක් වේවි කියා මම විශ්වාස කරනවා. එයට කාලයක් ගතවේවි. ඒත් ඒක සිදුවේවි."
පරන්දා යනු පෑනේ නමකි. එහි තේරුම පක්ෂියා යන්න යි. විශේෂයෙන්ම, නගරවල උගත් ඇය වැනි කාන්තාවෝ, කූඩුවී සිටීම ප්රතික්ෂේප කරති. බොහෝදෙනෙකු පලා ගොස් තිබෙන අතර තවත් බොහෝදෙනෙක් තවමත් (පළා යෑමේ) බලාපොරොත්තුවෙන් පසුවෙති. නිර්භීත, කුඩා පිරිස් විරෝධය දක්වති. රටේ දුෂ්කර ප්‍රදේශවල පවා, සිරගෙවල් වැනි ඔවුන්ගේ ජීවිතය ගැන කේන්තියෙන් පැසෙමින් සිටින නූගත් කාන්තාවන් මට හමුවී තිබේ.
'සුව කිරීමට ලිවීම'

"ලියන්න! ඇයි ඔබ බයවෙන්නේ? ඔබ බයවෙන්නේ කාට ද? සමහර විට ඔබේ ලිවීමට යමෙකුගේ ආත්මය සුව කළ හැකියි. ඔබේ පෑන යමෙකුගේ බිඳුනු අත්වලට ආධාරකයක් බවට පත්වන අතර, බලාපොරොත්තු සුන්වූ මිනිසුන්ට කුඩා බලාපොරොත්තුවක් ගෙන එනවා," සදාෆ් ලියයි.
ඕනෑම තැනක ලේඛකයෙකුගේ ජීවිතය සැකයෙන් හා බියෙන් පිරී තිබිය හැකි ය. ලිවීමට ආරක්ෂිත, තමා ගැන සහ අරමුණ පිළිබඳ හැඟීමක් ඇතිකර ගැනීමට නිස්කලංක කොණක් සොයාගැනීමට සිදුව ඇති නිසා, ඇෆ්ඝනිස්ථාන කාන්තාවන් සඳහා එය විශේෂයෙන්ම එලෙස සිදුවේ. "My Pen is the Wing of a Bird" පළවීම ඔවුන්ගේ වචනවලට නව ජීවයක් ලබා දුන්නේ ය.
"එක් සිසුවියක් සුන්දර වචනවලින් පොත හඳුන්වා දුන් අතර හොඳම කොටස වුණේ ඇය මගේ නම සඳහන් කළ එක. මගේ සියලුම සිසුන් මට ඔල්වරසන් දුන්නා. මම මෙය ලියන්නේ මගේ ජීවිතයේ සුන්දරම මතකය විදියට යි."
'ගෙදරට හම්බකරන්නේ මම යි'

"මගේ විශ්වාසය මට කියන්නේ, දෙවියන්වහන්සේ මට වඩාත් හොඳ දෙයක් ලබාදෙන්න ඉඩ තියෙන නිසා මම මුදල් ගැන කරදර වෙන්න ඕනේ නැති බව යි. නමුත් මම කනස්සල්ලට පත්වෙලා ඉන්නේ ඇයිදැ යි දෙවියන්වහන්සේ දන්නවා. අපි 10 දෙනෙකුගෙන් යුත් පවුලක් වුණත් මම විතර යි හම්බ කරන්නේ. මම පසුගිය ජනරජය කාලයේදීත් මම ගොඩක් හම්බකළේ නැහැ. මේ ඉස්ලාමීය එමීර් රාජ්‍යයෙත් එතරම් හොඳ ආදායමක් උපයන්න බැහැ."
කාන්තාවන් වැඩ කිරීම නැතිවගොස් නැත. ප්‍රධාන වශයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් සමග වැඩ කරන ඇතැම් වෛද්‍යවරියන්, හෙදියන්, ගුරුවරුන් හා පොලිස් නිලධාරිනියන් තවමත් ඔවුන්ගේ රැකියාවල නිරත වේ. ඇතැම් ව්‍යාපාරික කාන්තාවන් තවමත් ව්‍යාපාරයේ යෙදී සිටින නමුත්, එහි දැඩි ආර්ථික අර්බුදයක් තිබේ. එමෙන්ම බොහෝ රජයේ අමාත්‍යාංශවල කාන්තාවන්ට දොරගුළු වසාදමා ඇත. උසස් බාලිකා පාසල් වසා දැමීමත් සමග කාන්තාවන් සහ රැකියාව අතර සම්බන්ධය බිඳ වැටෙමින් තිබේ.
'ඔබ ශක්තිමත්'

"මම කිව්වා, 'නෑ, නෑ! මට සියදිවි නසාගන්න බෑ' කියලා. 'සමහරවිට ඔබට ජීවත්වෙන්න අවශ්‍ය නැතිවුණත්, ඔබේ දිවි නසාගැනීම තවත් ජීවිත ගණනාවක බලපාවි. කරුණාකර ඔවුන්ට කරුණාවන්ත වෙන්න, ඔබ ශක්තිමත්, සියල්ල හොඳින් සිදුවේවි, ඔබට එය කළ හැකියි, මෙයද පහව යාවි,' කියලා මම මාවම සනසාගත්තා."
එය, ඔබට නිතර ඇසෙන කෙඳිරුමකි. සියදිවි නසාගැනීමේ උත්සාහයන් - විශේෂයෙන් තරුණියන් අතර - ඉහළ යමින් පවතිනබව වාර්තා වන නමුත්, එය තහවුරුකර ගැනීමට අපහසු ය. පවුල් ඔවුන්ගේ රහස් ආරක්ෂාකර තබා ගනියි. ඕනෑම සාක්ෂියක් වසන් කරන ලෙස රජයේ රෝහල්වලට පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ ආයතනයක් මට පවසන්නේ ඔවුන් (විවිධ) පළාත්වල කාන්තාවන් මුණගැසෙන විට, මෙම ගැටලුව මතුවන බව යි. පාසැල් යාම තහනම් කෙරුණු බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් විවාහකර දීම ඊට හේතුව ලෙස දැක්වේ.
'මෙය කවදා අවසන් වේවි ද?'

"අපි පිස්සු හැදෙන්නෙ නැතුව සාමාන්‍ය විදියට ඉන්නෙ කොහොමද? කොපමණ වේදනාවක් ඉවසන්න ද? අවසානයේ දී මගේ හිත පිළිගන්නවා මේ භූමිය අමානුෂික සහ කුරිරු හැම දේකටම මුහුණදීලා තිබෙනවා කියා. ඒත් මෙය කවදා අවසන් වේවි ද?"
දැන් පරම්පරාවකට වැඩි පිරිසක් දැක ඇත්තේ යුද්ධය පමණි - එයට දශක හතරකට වැඩි කාලයක් ගතවී ඇත. රට එක ගැටුමකින් තවත් ගැටුමකට ඇදීයයි. ඇෆ්ඝන්වරු ඊළඟ පරිච්ඡේදය අවසාන පරිච්ඡේදයට වඩා යහපත් වනු ඇතැ යි සිහින දැකීමට නිර්භීතව සිටිති. එය කිසිදා අවසන් නොවන බව පෙනෙන කතාවකි.
'බලාපොරොත්තුවේ දීප්තිය'

"මම මගේ හදවතට බලාපොරොත්තුවේ දීප්තිය ඉසිමි. මා තුළ ගින්නක් ඇවිළෙයි. මට සටන් කිරීමට පවසන ආත්මයක් මා තුළ ඇත. සොබාදහමේ නීතිය මෙය වෙනස් කිරීමට, මේ දිනවල දී අන්ධකාරයට විදුලි පහන් සවි කිරීමේ නියෝග එවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි."
ඇෆ්ඝනිස්ථානුවන් බොහෝ විට පවසන්නේ මියයන අවසාන දෙය බලාපොරොත්තුව බව යි. තාලිබාන් පාලනය භාරගැනීමට පෙර ආසන්න වසරවල දී, එදිනෙදා ප්‍රචණ්ඩත්වය උත්සන්න වූ විට, සමහරු පැවසුවේ බලාපොරොත්තු ද මරා දැමූ බව යි. නමුත් බොහෝ දුක් විඳ ඇති මිනිස්සු තවමත් ජීවය ඇති ඕනෑම බලාපොරොත්තුවක් තදින් අල්ලාගෙන සිටිති.
ඡායාරූප නනා මුස් ස්ටෙෆන්සන්ගෙනි.
Untold's diary ව්‍යාපෘතිය සඳහා බාග්රි පදනම සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය සහාය දක්වයි. මෙම ලේඛිකාවන්ගේ කෙටිකතා සංග්‍රහයක් වන My Pen Is the Wing of a Bird: New Fiction by Afghan Women කෙටිකතා සංග්‍රහය MacLehose Press විසින් ප්‍රකාශයට පත් කරන ලදී.











