"මුගාබේ! මේ ඔබ ඉවත්ව යායුතු මොහොතයි"

දස දහස් ගණනක් ජනතාව පදවියෙන් ඉවත්ව යනමෙන් ජනාධිපති මුගාබේට බල කරමින් සිටිති

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දස දහස් ගණනක් ජනතාව පදවියෙන් ඉවත්ව යනමෙන් ජනාධිපති මුගාබේට බල කරමින් සිටිති

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉවත්ව යායුතු බව කියා සිටින උද්ඝෝෂකයෝ ජනාධිපතිවරයා රැඳී සිටින ඔහුගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට ලඟා වී සිටිති.

එම උද්ඝෝෂකයන් ජනාධිපති නිවසේ ගේට්ටුව අසල සිට සටන් පාඨ කියමින්,ගී ගයමින් "මේ ඔබ ඉවත්ව යායුතු මොහොත" යයි බල කරමින් සිටින බව වාර්තා වෙයි.

පාලක ෂානු-පීඑෆ් පක්ෂයේ ශාඛා දහයෙන් අටක්ම ජනාධිපති මුගාබේ කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බව තීන්දු කර ඇති බවත් එම වාර්තා මගින් පැවසෙයි.

මුගාබේ පදවියෙන් ඉවත්ව යා යුතුයයි බල කරමින් දස දහස් සංඛ්‍යාත ජනතාව වීදි බැසීමත් සමඟ හරාරේ අගනුවර උත්සවශ්‍රීයක් ගනිමින් පවතී.

වීදිබැස සිටින ජනතාව යුද හමුදාව ගත් ක්‍රියාමාර්ගය අගයමින් සොල්දාදුවන්ට ජය පතමින් සිටිති.

ජනතාව මහාමාර්ගයේ නටමින් ප්‍රීති වෙමින් සිටින අතර රියදුරෝ සිය වාහනවල නළා හඬවමින් සිටියහ.

"මුගාබේ යා යුතුයි" යනුවෙන් ලියැවුන බැනර් ප්‍රදර්ශනය කෙරෙමින් ඇත.

"මෙය අපේ විප්ලවයයි" යනුවෙන් ලියැවුන බැනරයක් ද ඒ අතර වෙයි.

මුගාබේ විසින් යළිත් බලය අතට ගැනීමක් සිදු නොවිය හැකි තත්වයක් පවතින බව 'හරාරේ' නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

සිම්බාබ්වේ නිදහස් සටනේ දී එකට සිටි යුද විරුවන් වැනි ඔහුගේ ෂානු -පීඑෆ් පක්ෂයේ කිට්ටු සගයන් පවා රොබට් මුගාබේ හැරයමින් සිටින බවක් ද වාර්තා වෙයි.

රටේ පාලන බලය පවරා ගනිමින් ජනාධිපති රොබට් මුගාබේ නිවාස අඩස්සියට පත් කළ සිම්බාබ්වේ හමුදාවේ මීළඟ පියවර කීමක් වනු ඇත්දැයි යන්න පිළිබඳ ලෝකය විමසිල්ලෙන් පසු වෙයි.

අප්‍රිකා මහාද්වීපයේ "ආහාර ගබඩාව" ලෙස කලක් විරුදාවලී ලැබූ සිම්බාබ්වේ පිළිබඳ දැනගත යුතු මූලික කරුණු කිහිපයක් පිළිබඳ විමසුමක් පහත දැක්වේ.

01. වියවුලට පත්ව ඇති ආර්ථිකය

පසුගිය දශකයක කාලය තුළ සිම්බාබ්වේ, ආර්ථික අර්බුදයකින් තවත් අර්බුදයකට ගොස් ඇත. ඇස්තමේන්තු කර ඇති විරැකියා මට්ටම වරින් වර වෙනස් වුවද සිම්බාබ්වේහි විශාලතම වෘත්තීය සංගමය පවසන්නේ රටේ විරැකියා අනුපාතය මේ වසර මුල වනවිට 90% තරම් ඉහළ මට්ටමකට ළඟා වී ඇති බවය.

අති උද්ධමනය සමග සටනක යෙදී සිටින සිම්බාබ්වේහි නිල උද්ධමන අනුපාතය 2008 වසරේ දී ඉහළම අගයකට ළඟා විය. නිල වාර්තාවලට අනුව එම ප්‍රතිශතය සියයට මිලියන 231 කි. එම තත්ත්වය හමුවේ සිය මුදල් ඒකකය ඉවත දමා විදේශ මුදල් භාවිත කිරීමට සිම්බාබ්වේ බලධාරීන්ට සිදුවිය.

Harare resident holds up 1,000 and 50,000 dollar notes because of inflation, in 2006

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

දීර්ඝ කාලයක් පැවති දෘඩ මුදල් හිඟය හමුවේ බැඳුම්කර නෝට්ටු නිකුත් කිරීමට එරට ආණ්ඩුව කටයුතු කළ නමුත් ඒවායේ වටිනාකම ද වේගයෙන් පහළ ගියේය.

බැංකු තුළ මුදල් තැන්පත් කළ පුද්ගලයන්ට සිය ගිණුම් තුළට පිවිසීමට නොහැකි වූ අතර මුදල් ආපසු ලබා ගැනීමේ දී සීමා පැනවිණි. ඒ සමග අන්තර්ජාලය තුළ භාවිත කළ හැකි මුදල් ඒකක ජනප්‍රියත්වයට පත් විය. හමුදාව විසින් රටේ පාලන බලය පවරා ගනු ලැබීමත් සමග එම අන්තර්ජාල මුදල් ඒකකවල අගය ඉහළ ගොස් ඇති බව හරාරේ අගනුවරින් වාර්තා වේ.

02. ජනාධිපති මුගාබේගේ ක්‍රියාකලාපය කලක සිට මතභේදයට තුඩු දී ඇත

සිම්බාබ්වේ 1980 දී නිදහස ලැබූ අතර එතැන් පටන් අනූ තුන් හැවිරිදි රොබට් මුගාබේ එහි බලය හොබවයි. වෙනසක් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ මෑතක සිට සිම්බාබ්වෙන් අසන්නට ලැබිණි. මුගාබේ පැවති සුළුතර සුදු පාලනයට එරෙහිව සටන් කළ විප්ලවීය වීරයෙකු වශයෙන් සිම්බාබ්වේ තුළ මුලින් සැලකිණි.

නමුත් පාලන බලය සියතේ තබා ගැනීම සඳහා ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් ප්‍රචණ්ඩත්වයට යොමු වූ බව විවේචකයෝ පවසති.

Mugabe speaking to the press in 1998 about African prize for leadership he would go on to recieve

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ධනවාදයට සහ යටත් විජිතවාදයට එරෙහිව සටන් කරන බව ඔහුගේ පක්ෂය පවසයි. සිය "විප්ලවය" අවසන් වූ විට පමණක් තමන් ධුරයෙන් ඉවත්වන බව මුගාබේ නිතර කියා සිටියේය. මේ අතර තමන්ගෙන් පසු සිය පක්ෂයේ නායකත්වය සහ ජනාධිපති ධුරය සිය බිරිඳ වෙත ලබා දීමට ඔහු සහාය දෙන බවට ඉඟි පළ විය.

03. සිම්බාබ්වේ විපක්ෂය

1980 වසරේ අගමැති ධුරයට පත් වූ දා පටන් ඔහුගේ පාලනයට එරෙහිව විපක්ෂ කණ්ඩායම් ක්‍රියාත්මක විය. 1987 වසරේ දී ව්‍යවස්ථාව සංශෝධනය කළ ඔහු සිම්බාබ්වේහි ජනාධිපති ධුරයට පත්විය. 1999 වසරේ දී ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරය (MDC) නමින් වූ විපක්ෂ කණ්ඩායම පිහිටුවනු ලැබීය. ආර්ථිකය පිරිහීමත් සමග උද්ඝෝෂණ සහ වැඩවර්ජන නිතර දක්නට ලැබිණි.

Zimbabwe's Prime Minister Morgan Tsvangirai gestures during a media briefing in Harare August 3, 2013

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු අගමැති සහ දීර්ඝ කාලයක සිට විපක්ෂ නායක ධුරය හොබවන මෝර්ගන් ස්වාන්ගිරායි

සිය දේශපාලන ප්‍රතිවාදීන් මැඩපවත්වමින් සිය ප්‍රබල මිත්‍ර පාර්ශ්ව පසෙකට තල්ලු කරමින් බලයේ රැඳී සිටීමට ජනාධිපති මුගාබේ සමත් විය. සිය උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ එමර්සන් නන්ගාග්වා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මුගාබේ කටයුතු කළේය.

04. අලුත් නායකයෙකු පැමිණියත් විශාල වෙනසක් සිදුවේවිද?

හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගග්වා සිම්බාබ්වේ අන්තර්වාර ජනාධිපතිවරයා හැටියට පත්කරනු ලැබීමට ඉඩකඩ ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ අදහසයි.

එසේ වුවද ඔහු සම්බන්ධයෙන් පවතින විශ්වසනීයත්වය හා ජනාධිපති මුගාබේ සම්බන්ධයෙන් පවතින විශ්වසනීයත්වය අතර වැඩි වෙනසක් නොමැත.

මේ අතර පිළිකා රෝගයට ප්‍රතිකාර ලැබීම සඳහා විදේශගතව සිටි විපක්ෂයේ ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සඳහා වන ව්‍යාපාරයේ (MDC-T) ) නායක මෝර්ගන් ස්වාන්ගිරායි,'හරාරේ' නගරයට පැමිණීමත් සමඟ සිම්බාබ්වේ අර්බුදයට ඉක්මන් දේශපාලන විසඳුමක් ලබා ගැනීම අතින් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත.

05. මුගාබේ තවදුරටත් බලයේ සිටිනු ඇතිද?

යුද හමුදාව විසින් බදාදා (නොවැ 15) රටේ පාලනය බලය පවරා ගනු ලැබීමෙන් පසු සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සිම්බාබ්වේ හමුදාව කියා සිටියේ තමන් තාවකාලිකව රටේ පාලන බලය පවරා ගනු ලැබූ බවය.

එමෙන්ම ජනාධිපති මුගාබේ වටා සිටි "අපරාධකරුවන් පමණක් සිය ඉලක්කය" වනු ඇති බවත් හමුදාව සඳහන් කළේය.

Zimbabwe's President Robert Mugabe looks on during a rally marking Zimbabwe's 32nd independence anniversary celebrations in Harare, Zimbabwe in 2012

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෙම අර්බුදකාරී වාතාවරණය අවසානයේ ජනාධිපති මුගාබේට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය හැක. ඇතැම් විට හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගග්වා නැවත එම ධුරයට පත් කර ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇත. එසේත් නැති නම් ඔහු නාමික වශයෙන් ධුරයේ තබා සෙසු බලධාරීන්ට රටේ වැඩකටයුතු සඳහා සෘජු ලෙස මැදිහත්විය හැකි ආකාරයේ වාතාවරණයක් නිර්මාණය විය හැක.

සබැඳි යොමු: