සිම්බාබ්වේ; මුගාබේ ඉක්මන් සමුගැනීමක් ප්‍රතික්ෂේප කරයි

දකුණු පස සිට; ජනරාල් ක්‍රිස්තියානෝ ගුවෙයා චිවෙන්ගා සහ ජනාධිපති මුගාබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP/ZBC

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු පස සිට; ජනරාල් ක්‍රිස්තියානෝ ගුවෙයා චිවෙන්ගා සහ ජනාධිපති මුගාබේ

ජනාධිපති මුගාබේ සමඟ පවත්වන සාකච්ඡා දිගටම පෙරට යමින් පවතින අතර ඔහුගේ පාලන තන්ත්‍රය මුදුනේ සිටි අපරාධකරුවන් අල්ලා ගැනීම අතින් 'සැලකිය යුතු ප්‍රගතියක්' ලබා ඇතැයි සිම්බාබ්වේ යුද හමුදාව පවසයි.

බ්‍රහස්පතින්දා (නොවැම්බර් 16) සිම්බාබ්වේ රාජ්‍ය මන්දිරයේ දී ජනාධිපති මුගාබේ සමඟ පැවැත්වුන සාකච්ඡාවන්ට එරට ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී ජනරාල් ක්‍රිස්තියානෝ ගුවෙයා චිවෙන්ගා සහභාගී විය.

එම අවස්ථාවට දකුණු අප්‍රිකාවේ ආරක්ෂක ඇමතිවරයා සහ එරට ජාතික ආරක්ෂක ඇමතිවරයාත් එක්ව ඇත.

සිම්බාබ්වේ ආරක්ෂක ඇමතිවරුන් ද සහභාගී වූ එම අවස්ථාවට ජනාධිපති මුගාබේ ගේ කිට්ටු මිතුරකු වන ෆිඩෙලිස් මුකොනොරි කතෝලික පූජකවරයාත් අතරමැදියකු මට්ටමින් එක්ව ඇත.

රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරන සිම්බාබ්වේ හමුදාව අදාළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලය හැකි ඉක්මනින් මහජනතාව ඉදිරියේ තබන බවත් කියා සිටියේය.

යුද හමුදාව රටේ පාලන බලය පවරා ගනු ලැබීමෙන් අනතුරුව පසුගිය බදාදා පටන් නිවාස අඩස්සියේ තබා සිටින අනූතුන් හැවිරිදි ජනාධිපති මුගාබේ පදවියෙන් ඉවත් වන්නේද? එය සිදු වන්නේ කවදාද? යන්න සම්බන්ධයෙන් බලවත් සැකයක් පැතිර යමින් ඇත.

මුගාබේ සිය නිලධාරීන් මුණ ගැසෙයි

ඡායාරූප මූලාශ්‍රය, ZIMBABWE HERALD

ඡායාරූප ශීර්ෂ වැකිය, මුගාබේ සිය නිලධාරීන් මුණ ගැසෙයි

ඇතැම් වාර්තා මගින් පැවසෙන ආකාරයට 'සිය ආරක්ෂාව සහතික කිරීමක් සහ ගෞරවාන්විත සමු ගැනීමක්' ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

කෙසේවුවද, ජනාධිපති රොබට් මුගාබේ වහාම පදවියෙන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙයි

"උද්ගතව පවතින තත්වය නිරාකරණය කෙරෙන්නේ කෙසේද? යන්න පිළිබඳව බොහෝ සිම්බාබ්වේ ජාතිකයන් විපරමින් සිටින අතර, අනිත් අතින් මුගාබේ පාලනය තුළ සිදු කෙරුණ දූෂණ අවසන් කිරීම සඳහා හොඳ අවස්ථාවක් දැන් රටට උදා වී ඇතැයි" විපක්ෂයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු වන එවන් මවරිරේ (Evan Mawarire) බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.

'නිසැකවම! අපි වෙනසක මාවතට අවතීර්ණව සිටිනවා. සිම්බාබ්වේ දැන් සිදු වෙමින් පවතින්නේ හිතාගන්නවත් බැරි දේවල්! මුගාබේ ගේ ෂානු-පීඑෆ් පක්ෂය තුළ මෙහෙම බෙදීමක් අපි කවදාවත් දැකල නැහැ. ඒ පක්ෂයේ සාමාජිකයෝ මහජනතාවගේ ආරක්ෂාවට ඉදිරිපත් වෙනවා අපි දැකල තිබුණේ නැහැ.ඔවුන් මේ විධියට සටනට බැහැල ඉන්නවා අපි දැකල නැහැ" එවාන් මවරිරේ පවසයි.

මේ අතර නිවේදනයක් කරන සිම්බාබ්වේ යුද හමුදාව ජනාධිපතිවරයා සමඟ සිටි 'අපරාධකරුවන්' අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව අනාවරණය කර ඇත.

සිම්බාබ්වේ පාලනයේ ඉහළ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් බදාදා අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔවුන්ගේ අනන්‍යතා හෙළිදරව් කොට නැත.

එහෙත් මුගාබේ අනුගාමිකයන් තවත් කණ්ඩායමක් තවමත් නිදැල්ලේ සිටින බවත් යුද හමුදාව පවසයි.

විපක්ෂ නායක මෝර්ගන් ස්වන්ගිරායි (Morgan Tsvangirai)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විපක්ෂ නායක මෝර්ගන් ස්වන්ගිරායි (Morgan Tsvangirai)

සිම්බාබ්වේ විපක්ෂ නායක මෝර්ගන් ස්වන්ගිරායි (Morgan Tsvangirai) මේ අතර ප්‍රකාශයක් කරමින් 'රොබට් මුගාබේ වහාම ජනාධිපති පදවියෙන් ඉවත් වීම රටේ මහජන අභිලාෂය' යයි කියා සිටියේය.

සබැඳි පුවත්;