සිම්බාබ්වේ: මුගාබේ පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටී

Mr Mugabe in wooden high-backed chair with microphone in front of him but above his mouth level

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මුගාබේ නිල් සහ කහ පැහැයෙන් යුත් ලෝගුවක් ඇඟලා උත්සවයට සහභාගී විය

යුද හමුදාව විසින් බදාදා (නොවැ 15) රටේ පාලනය බලය පවරා ගනු ලැබීමෙන් පසු සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

මුගාබේ හරාරේ අගනුවර උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වූ බව සිම්බාබ්වේ වාර්තා මගින් පැවසෙයි.

ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන් විය යුතුදැයි යන්න මුල් කර ගනිමින් මතු වූ බල අරගලයෙන් පසු සිම්බාබ්වේ හමුදාව විසින් එරට බලය පවරා ගනු ලැබීමත් සමඟ ජනාධිපති මුගාබේ දින කිහිපයක් නිවාස අඩස්සියේ තබා සිටියේය.

හමුදාව සිකුරාදා (නොවැ 17) කියා සිටියේ ජනාධිපති මුගාබේ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවය.

සාකච්ඡාවේ ප්‍රතිඵල සම්බන්ධයෙන් "හැකි ඉක්මනින්" ජනතාව දැනුවත් කරන බවත් හමුදාව සඳහන් කර තිබිණි.

ජනාධිපති මුගාබේ උපාධි ප්‍රදානෝත්සවයට අමතා අදහස් පළ කිරීමෙන් අනතුරුව ඊට සහභාගීවූවන් ප්‍රීතී ඝෝෂා කළ බව එහි සිටි තැනැත්තෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

සිම්බාබ්වේ උප ජනාධිපති එමර්සන් නන්ගාවා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මුගාබේ පසුගිය සතියේ පියවර ගත්තේය.

ඉන් අනතුරුව සානු-පීඑෆ් පක්ෂයේ නායකත්වය සහ ජනාධිපති ධුරය සිය භාර්යාව වන ග්‍රේස් මුගාබේ වෙත ලබා දීමට සහාය දක්වන බව ඇඟවීමත් සමග සිම්බාබ්වේ හමුදාව විසින් එරට බලය සියතට පවරා ගනු ලැබීය.

සබැඳි යොමු: