ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 400 කට ආසන්න පිරිසක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/TASNIM NEWS AGENCY
ඉරානය සහ ඉරාකය අතර උතුරු දේශසීමා කළාපයේ හටගත් මැග්නිටියුඩ් ඒකකයෙන් 7.3 ක භූමිකම්පාවකින් අනතුරුව 396 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර, තවත් 7,000 කට වැඩි පිරිසකට තුවාල සිදු වී තිබේ.
භූමිකම්පාවෙන් අනතුරුව 70,000 ක පිරිසකට උන් හිටි තැන් අහිමි වී ඇති බව ඉරානයේ ආධාර ආයතනයක් පවසයි.
එය මේ වසර තුළ ලෝකයේ හටගත් බරපතලම භූමිකම්පාවය.
භූමිකම්පාවෙන් වැඩිම පිරිස මරුමුවට පත් වූ බටහිර ඉරානයේ කර්මන්ෂා (Kermanshah) ප්‍රාන්තයේ දැන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබේ. ඉරානයේ වෙනත් ප්‍රදේශවලදී තවත් හත්දෙනෙකු මියගොස් තිබේ.
භූමිකම්පාවත් සමගම ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ජනතාව වීදිවලට දිව ගිය අතර, එහිදී තවත් නවදෙනෙකු මියගොස් තිබේ.
අගනුවර පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ දේව යාතිකා විකාශනය කෙරෙමින් තිබිණ.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/TASNIM NEWS AGENCY

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty images
"මම දරුවෝ එක්ක රෑ කෑම ගනිමින් හිටියා. ඒ වෙලාවේ එකපාරටම අපේ ගොඩනැගිල්ල නටන්න පටන් ගත්තා," බැග්ඩෑඩ් නුවර වෙසෙන තිදරු මවක වන මජිඩා අමීර් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
"ඉස්සෙල්ලම මම හිතුවේ ඒක ලොකු බෝම්බයක් කියල. ඊට පස්සේ 'භූමිකම්පාවක්' කියල හැමෝම කෑගහනවා මට ඇහුන."
සබැඳි යොමු:
ඉරානයේ පමණක් 5,341 දෙනෙකු තුවාල ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් උපුටා දක්වමින් ඉස්නා (Isna) සහ කබාර් (Khabar) පුවත් ආයතන වාර්තා කරයි.
භූමිකම්පාවෙන් වැඩිම පිරිසකට හානි වී තිබෙන්නේ ඉරානයේ සර්පොල් ඒ සහාබ් (Sarpol-e Zahab) නගරයට බව බලධාරීහු පවසති.
නගරයේ ප්‍රධාන රෝහලට ද බරපතල හානි සිදු වී ඇති බැවින්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබේ.
එමෙන්ම කඳුකර ප්‍රදේශවල බොහෝ නිවාස තනා තිබෙන්නේ මඩවලින් බැවින් ඉරිදා (නොවැම්බර් 12) රාත්‍රියේ හටගත් භූමිකම්පාව වැනි බරපතල භූමිකම්පාවක් ඇතිවුවහොත් එම නිවාස සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය.
ඉරානයේ ගම්මාන අටක බරපතල හානි වාර්තා වී තිබෙන බව ඉරානයේ රතු අද සඳ සංවිධානයේ ප්‍රධානී මොර්ටෙසා සලීම් (Morteza Salim) ඉරාන රාජ්‍ය රූපවාහිනියට පැවසීය.
භූමිකම්පාව හේතුවෙන් ඉරාකයේ බරපතලම හානිය සිදු වී තිබෙන්නේ ඩර්බන්දිකාන් (Darbandikhan) නගරයටය.


ඡායාරූප මූලාශ්‍රය, REUTERS/TASNIM NEWS AGENCY
"තත්වය ඉතාමතම දරුණුයි," කුර්දිස්තානයේ සෞඛ්‍ය අමාත්‍ය රෙකව්ත් හමා රෂීඩ් (Rekawt Hama Rasheed) රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
ඉරාකයේ කුර්දිස්තාන ප්‍රදේශයේ 321 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔබ වාසය කරන්නේ භූමිකම්පාව හටගත් ප්‍රදේශයේ ද? නොඑසේනම් භූමිකම්පාවට මුහුණ දුන් පුද්ගලයන් ගැන ඔබ තොරතුරු දන්නවා ද?
අප අමතන්න :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න








