කුමමොතෝ භූමිකම්පාව: ජපාන වැසියෝ ලාංකිකයන්ට තුති පුදති

ඡායාරූප මූලාශ්‍රය, Twitter
කුමමොතෝ ප්‍රදේශයේ පසුගියදා හටගත් භූමිකම්පාවෙන් තවමත් අවතැන්ව සිටින ජනතාවට ආහාර ආධාර ලබාදෙමින් එහි වෙසෙන ඉරාන ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් කරන සමාජ මෙහෙය පිළිබඳව ජපාන වැසියෝ සිය හද පිරි ස්තුතිය පුද කරති.
ඇතැම් ශ්‍රී ලාංකිකයන් ජපානයේ තෝකියෝ අගනුවර සිට කිලෝමීටර 1200 ක් පමණ දුර ගෙවා ආහාර ආධාරද රැගෙන කුමොතෝ ප්‍රදේශයට පැමිණෙන බව ඇතැම් අවතැන් වූවන් ට්විටර් ජාලය ඔස්සේ නිවේදනය කර තිබුණේ සිය කෘතවේදීත්වය පළ කරමින්.
"අද අපිට දවල් කෑමට ශ්‍රී ලාංකික කරි සුප් (curry soup) එකක්," එක් අවතැන් වූවෙක් ට්විටර් ජාලය ඔස්සේ ඡායාරූපද සමඟ පළ කර තිබුණේ අනෙක් අයටද එහි පැමිණ එය රස විඳින මෙන් ආරාධනා කරමින්.
ජපානවාසීන්ගේ ගෞරාවාදරයට පාත්‍ර වී සිටින හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ජේආර් ජයවර්ධනගේ ඡායාරූපයක්ද සහිත බැනරයක්ද සමගින් ශ්‍රී ලංකා-ඉරාන-ජපාන මිත්‍රත්ව සංගමය බස් රථ මගින් ආහාර රැගෙන එන ආකාරයද එම පණිවුඩවල දැක්විණ.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
පසුගිය අප්‍රේල් 13 වැනිදා කුමමොතෝ ප්‍රදේශයේ හටගත් භූමිකම්පාවෙන් අනතුරුව 10,000 කට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක් තවමත් පාසල්, නගර සභා ගොඩනැගිල්ල ඇතුළු ස්ථානවල පිහිටි තාවකාලික ලැගුම්හල්වල වෙසෙන බව එහි වෙසෙන ආපන ශාලා හිමිකරුවකු වන චම්පික වෛද්‍යරත්න බීබීසී සංදේශයට පැවසීය.
භූමිකම්පාවෙන් තමන්ට හානියක් නොවූ බැවින් කුමමොතෝ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතලොස්සද තමන්ට හැකි අවස්ථාවල 'කරි සුප්' පිස අවතැන්වූවන්ට බෙදා දෙන බවත් ඔහු කියා සිටියේය.
ජපානයේ අවතැන් ජනතාවට සාමාන්‍යයෙන් ලබා දෙන්නේ 'ඔනිගිරි' නම් බත් ගුලි හෝ ක්ෂණික නූඩ්ල්ස් වර්ග පමණක් බැවින් ශ්‍රී ලාංකිකයන් බෙදා දෙන ආහාරය ජපානවාසීන් ඉතා ආසාවෙන් භුක්ති විඳින බවත් චම්පික වෛද්‍යරත්න සඳහන් කළේය.
පළමු කම්පනයෙන් අනතුරුව මේ වනවිට කුමමොතෝ ප්‍රදේශයේ පසු කම්පන 1100 ක් පමණ හටගෙන තිබෙන බව සඳහන් කළ ඔහු, ජපාන ඉතිහාසයේ මෙතරම් පසු කම්පන හටගනු ලැබුවේ පළමු වතාවට බව වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
කුමමොතෝ වාසීන් ට්විටර් ජාලය ඔස්සේ පළ කරන කෘතවේදී පණිවුඩ දුටු ජපානයේ වෙනත් ප්‍රදේශයක වෙසෙන කඕරු සුරුමි නම් කාන්තාවක් ට්විටර් පණිවුඩයකින් බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ අමතමින් කියා සිටියේ, ජපානවාසී ශ්‍රී ලාංකිකයන්ගේ මේ මහඟු ක්‍රියාව පිළිබඳව සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙත කෘතඥතාවය පළ කිරීමට තමන්ට අවශ්‍ය බවයි.
තෝකියෝ අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කෘතඥතාවය පළ කිරීමට තමන්ට අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය.









