ශ්‍රී ලංකාවේ ලුණු වලට X-PRESS PEARL නෞකාවේ උපද්‍රවකාරී විෂ අපද්‍රව්‍ය එකතු විය හැකිද ?

ශ්‍රී ලංකාව ලුණු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටකි. 2019 වසරේ වසරේ සිදු කළ ජාතික සමීක්ෂණයට අනුව ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3කි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ලුණු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටකි. 2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3කි.
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

කිසියම් ව්‍යසනයක් නිසා කිසිවක් නොලැබෙන තත්ත්වයක් උදා වුවහොත් ''ලුණුයි බතුයි තමයි කන්නයි වෙන්නේ'' යනුවෙන් ගැමියන් අතර කතාවක් තිබේ. එහෙත් දැන් ලුණු ද අහිමිවන තත්ත්වයක් ගැන බොහෝ දෙනා කතා කරති.

ඊට නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ X-PRESS PEARL නෞකාවේ තිබූ උපද්‍රවකාරී විෂ අපද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීම ය.

මේ වන විට වෙළෙඳසල්වල ඇති ලුණු පාරිභෝගිකයන් විසින් තොග වශයෙන් රැගෙන යනු ලැබේ. එබැවින් වෙළෙඳපොළේ ලුණු හිඟයක් නිර්මාණය වී ඇති අතර ලුණු පැටවීම සඳහා ද හම්බන්තොට ලේවායට ලොරි විශාල සංඛ්‍යාවක් පැමිණි බව ලංකා ලුණු සංස්ථාවේ සභාපති, නීතිඥ නිශාන්ත සඳබරණ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

''ඇත්තම කතාව කඩවල්වල ලුණු නෑනේ. වෙනදට එක පැකට් එකක් ගන්න ගෙදරට ලුණු පැකට් දහය දහය අරගෙන ගිහිල්ලනේ. මේ පටවන ලොරි ටික අද උදේ ඉඳලා රට වටේ යයි.'' යනුවෙන් ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා අඟහරුවාදා (ජුනි 01) පැවසුවේය.

ශ්‍රී ලංකාව ලුණු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටකි. 2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3කි.

''ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වෙන්නේ එක් පුද්ගලයෙකුගේ දිනක ලුණු අවශ්‍යතාව ග්‍රෑම් පහක් කියලයි. නමුත් අපේ රටේ ලුණු භාවිතය අනුමත ප්‍රමාණයට වැඩ දෙගුණයකටත් වැඩියි.'' යනුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 125,000 - 150,000 ත් අතර අගයක් ගනී.

''ලුණු ඉවර වෙනවලු. මම කඩේ යනවා. ඔයාලටත් ඕනද ?''

කළුතර වෙසෙන ටී.කේ නදීකා ද අද ලුණු සොයා ගිය කාන්තාවකි. ලුණු හිඟයක් ඇති වෙන බවට අසල්වාසියෙකුගෙන් දැන ගැනීම නිසා උදෑසනින්ම ඇය ලුණු සොයාගෙන නිවසින් පිටත් වූවාය.

ඒ යන අතර මග ඇය යාබද නිවැසියන් ද දැනුවත් කළා ය.

''ලුණු ඉවර වෙනවලු. ඔයාලට තියෙනවා ද? මම කඩේ යනවා. ඔයාලටත් ඕනද ?'' යනුවෙන් ඇය අසල්වාසීන්ගෙන් විමසා සිටියා ය.

ජයන්ති විජේතුංගට ඇය දිනපතා භාණ්ඩ මිලදී ගැනීමට යන වෙළෙඳසලේ හිමිකරුගෙන් මෙලෙස දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

''ලුණු ඉවරවී ගෙන යනවා. අක්කාට ලුණු පැකට් කීයක් අරන් තියන්න ද ?'' යනුවෙන් එහිදී විමසා තිබුණි.

''මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලික තාවයට බලපෑමක් කරන්න බෑ.''

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ''මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ.''

''නයිට්‍රික් අම්ල ටොන් 25කින් මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ''

X-PRESS PEARL නෞකාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යවලින් ලුණු නිෂ්පාදනයට බලපෑමක් සිදුවිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට විස්තර කළේය.

''මේක අද මුහුදු වතුර අරගෙන හෙට ලුණු හදන ක්‍රියාවලියක් නෙමේ. අපි ලුණු නිෂ්පාදනයේදී කරන්නේ වාෂ්පිකරණයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර කර ගන්න එක. එතැනදී යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙනවා. ඊට පස්සේ ලුණු ටික පොල් අතු වලින් වහලා කාලයක් තියෙනකොට ඒ අපද්‍රව්‍ය ඉවත් වෙනවා. නයිට්‍රික් අම්ලය තනුක වෙලා කොහෙත්ම යන්නේ නෑ හම්බන්තොටට සහ පුත්තලමට. ඒ වගේම නැවේ තිබුණයි කියන මාධ්‍යයෙන් දැකපු දේවල් වලින් නම් කිසිම ප්‍රශ්නයක් නෑ.''

''මගේ අදහස නම් මෙය එතරම් විශාල නොවන කුඩා ප්‍රමාණයේ පරිසර විනාසයක්. බොහෝ දෙනා කියනවා නැවේ තිබුණු නයිට්‍රික් අම්ල ටොන් 25 නිසා මුහුදේ ආම්ලිකතාව ඉහළ ගොස් මුහුදු ජීවීන්ට, කොරල් පර වලට දැඩි හානියක් සිදුවන බව. ඒ වගේම අම්ල වැස්සක් ඇතිවන බව. නැවේ තිබුණු නයිට්‍රික් අම්ල ප්‍රමාණයෙන් ඔය දෙකම ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලිකතාවට බලපෑමක් කරන්න බෑ.'' යනුවෙන් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක වැඩිදුරත් පැවසුවේය.

''වැරදි වැටහීමක්, බොහෝ දෙනෙක් බියවෙලා''

හම්බන්තොට සහ පුත්තලම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ලුණු නිෂ්පාදනය දීර්ඝ කාලින ක්‍රියාවලියකි. ලංකා ලුණු සංස්ථාවේ සභාපති, නීතිඥ නිශාන්ත සඳබරණ පවසන්නේ මීට මාස දෙකකට පමණ පෙර ගබඩා කළ ජලයෙන් මේ දිනවල හම්බන්තොට ලුණු නිෂ්පාදනය කෙරෙන බවය.

''අපි හදන ලුණුවල ප්‍රමිතිය නිතරම චෙක් කරනවා. ඒවායේ වසවිස නෑ කියලා ජනතාවට සහතික වෙන්න පුළුවන්.''

ඡායාරූප මූලාශ්‍රය, FB/Lanka Salt Limited

ඡායාරූප ශීර්ෂ වැකිය, ''අපි හදන ලුණුවල ප්‍රමිතිය නිතරම චෙක් කරනවා. ඒවායේ වසවිස නෑ කියලා ජනතාවට සහතික වෙන්න පුළුවන්.''

''වැරදි වැටහීමක් මත දැන් බොහෝ දෙනෙක් බියට පත්වෙලා ඉන්නේ. අපි හදන ලුණුවල ප්‍රමිතිය නිතරම චෙක් කරනවා. ඒවායේ වසවිස නෑ කියලා ජනතාවට සහතික වෙන්න පුළුවන්. තව මාස ගණනාවකට ලුණු හදන්න අපි මුහුදු වතුර ගබඩා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අලුතෙන් වතුර පිරවීමේ අවශ්‍යතාවයකුත් නෑ.'' යනුවෙන් ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේය.

පුත්තලම ලුණු සංස්ථාව වෙනුවෙන් අදහස් දැක්වූ එහි මානව සම්පත් කළමනාකරු සුගත් ජයන්ත බීබීසී සිංහල සේවයට පැවසූ පරිදි ඔවුන් ගබඩා කර ඇති ජලය ලබා ගෙන ඇත්තේ 2020 අගෝස්තු සහ සැප්තැම්බර් කාලයේදී ය.

''අපේ ලේවායට වතුර ගන්නේ පුත්තලම කලපුවෙන්. ගන්න වතුරේ අයන වර්ග ගොඩක් තියෙනවා. මාස 06ක පමණ ක්‍රියාවලියකින් තමයි අන්තිමට අපි ලුණු කියලා හඳුන්වන සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) වෙන්කරලා ගන්නේ. ලේවායට වතුර ගන්න තැන ඉදලා හැම එකක්ම චෙක් කරනවා. ඒ නිසා ජනතාවට බිය වෙන්න අවශ්‍ය නෑ.'' යනුවෙන් ඔහු වැඩිදුරත් කියා සිටියේය.

තවත් තොරතුරු;

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව; සාගර දුෂණයට එරෙහිම සටන් කරන 'ශ්‍රී ලංකාවේ ලාබාලතම කිමිදුම්කාරිය'