X-PRESS PEARL නෞකාව දෙකඩ වුවහොත් "සමුද්‍ර දූෂණයක අවදානමක්"

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගමිනින් තිබෙන රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැගත් නෞකාව දෙකඩ වීමේ අවදානමක් ඇති බව නාවික විශේෂඥයෝ පවසති. එසේ වුවහොත් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වලක්වා ගැනීම සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබේ.
සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බව නාවික හමුදාව බීබීසී සිංහල සමග පැවසීය.

X-PRESS PEARL නෞකාව
- 2021 වර්ෂයේ නිපදවූවකි
- මීටර 186ක් දිගය
- බහාලුම් නෞකාවකි
- සිංගප්පුරු ධජය යටතේ දියත් වූ නෞකාවකි
මෙම නෞකාව ලෝකයේ ප්‍රධානතම පෝෂක ක්‍රියාකරු වන X-Press Feeders විසින් මෙහෙයවන ලද අතර එහි තෙල් ටොන් 3000ක් පමණ ඇති බව පැවසේ.
නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ අඟහරුවාදා (මැයි 25) උදෑසන නෞකාවේ පිපිරීමක් සිදුවූ අතර ඉන් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු තුවාල ලද බවය. අද උදැසන කළ මෙහෙයුමකින් කාර්යමණ්ඩලයේ 25 දෙනාම නෞකාවෙන් ඉවත් කළ බවත් තුවාල වූ දෙදෙනා රෝහල් ගත කළ බවත් ඔහු පැවසීය.
නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින් ගෙන් සමන්විත විණි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සමග පැවසුවේ නෞකාවේ ගින්නේ ස්වභාවය අනුව නැව කොටස් දෙකකට කැඩීයාමේ අනතුරක් ඇති අතර එසේ වුවහොත් අවට සමුද්‍රීය පරිසරට සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තීරණය කළ බවය.
"ගින්න තවමත් පැතිරෙමින් පවතිනවා. ගින්නේ ස්වභාවය නිසා අනෙකුත් ටග් බෝට්ටු එහෙම ලංවෙලා නෑ. ගින්න නිසා බහාලුම් මුහුදට වැටෙමින් තියෙනවා. උදේ වෙනකොට 10ක් විතර ගිනි ගැනීමෙන් වැටුණා. තවමත් ඒවා ඒ විදිහට වැටෙමින් පවතිනවා, නැවේ පිපිරීම් කිහිපයකුත් වාර්තා වුණා. ඒ නිසා නැවේ හිටපු නාවුකයන් කිහිප දෙනෙකු තුවාල වුණා. මේ නිසා නැවේ සියලුම දෙනාව ඉවත් කරන්න වුණා," යනුවෙන් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.
"මෙහිදී නැව නාවුක සැතපුම් 50ක් මුහුද දෙසට ඇදගෙන යන්න මේ වෙනකොට යෝජනා කරලා තියෙන්නේ." යැයිද ඔහු සඳහන් කළේය.

එහෙත් මුහුදේ රළු ස්වභාවය හා පවතින අධික වර්ෂාව නිසා එම කාර්යයට බාධා එල්ලවී ඇති බවද ඔහු කියා සිටියේය.
"තෙල් විසිරීමක් වෙන්න පුළුවන්, නැවේ ගින්න නිවීමට පාවිච්චි කරන ජලය නිසා රසායන ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් ජලය දුෂණය වෙනවා. දුම නිසා වායු දුෂණයක් වෙනවා ධීවර කර්මාන්තයට වන බලපෑම් තවම කියන්න බෑ ධීවර දෙපාර්තමේන්තුව එක්ක එය ඇගයීමට කටයුතු කරනවා," සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
එසේම අදාළ රක්ෂණ ආවරණ ලබාගැනීමට තම ආයතනය කටයුතු කරන බව ද ඔහු කීය.
ජනතාවට අවවාදයක්
මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම්වල අන්තරායකර රසායනික අඩංගු විය හැකි බැවින්, වෙරළට පාවී එන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළබඩ ජනතාවට උපදෙස් දෙයි.
ඉන්දියානු සහය
මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ (ICG) වෛභව් නෞකාව ICG ඩෝනියර් ගුවන්යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවූ බවය.










