ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී කලහකාරී සිදුවීම්: "සැලැස්මකට අනුව රට තුළ ආරක්ෂක කටයුතු සිදු වෙනවා"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වයඹ පළාතට මෙන්ම ගම්පහ පොලිස් බල ප්‍රදේශයට බදාදා (මැයි 15) රාත්‍රී 7.00 සිට හෙට අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය පනවන බව පොලිසිය නිවේදනය කළේය.
පසුගිය දෙදින තුළ හටගත් ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් 78 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම මාධ්‍ය හමුවට ත්‍රිවිධ හමුදා නියෝජිතයින් ද සහභාගි වී සිටියහ.
සැකකරුවන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ චෝදනා ගොනු කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ පොලිසියට නියෝග ලබා දී ඇති බව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පොලිසිය වෙත ලැබී ඇති වීඩියෝ දර්ශන පදනම් කරමින් මෙම සිද්ධීන්වලට සම්බන්ධ සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සැකකරුවන්ගෙන් බහුතරය රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සේවයේ නිරත පුද්ගලයින් බවත්, ආයතන මට්ටමින් ඔවුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම නිතිවිරෝධීව තම සන්තකයේ තබාගෙන සිටින පුපුරන ද්‍රව්‍ය භාරදීමට ලබාදී තිබූ සහන කාලය මැයි මස 20 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
එම කාලය අවසන් වූ පසුව දිවයින පුරා විශේෂ මෙහෙයුමක් දියත් කරන බව ද පොලිසිය පවසයි.
මේ අවස්ථාවට එක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවසුවේ ත්‍රස්තවාදීන් පසුගියදා දරුණු ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවේ ඔවුන්ගේ අනුගාමිකයින් රට තුළ බිහිකිරීමේ අරමුණ ඇතිව බවය.
කණ්ඩායම් වශයෙන් එක්ව නීතිය සහ සාමය කඩ කරමින් මෙන්ම තවත් ජන කොටසක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම සහ දේපළ හානි සිදුකිරීමෙන් ත්‍රස්තයින්ගේ එම බලාපොරොත්තුව ඉටු වන බවද නාවික හමුදාපතිවරයා පැහැදිළි කළේය.
එමෙන්ම සැලැස්මකට අනුව රට තුළ ආරක්ෂක කටයුතු සිදුවන බවත් බියෙන් තොරව තම දරුවන් පාසල් වෙත රැගෙන එන ලෙසත් නාවික හමුදාපතිවරයා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙක්"
තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී ප්‍රහාරවලට සහය දක්වන ආකාරයට හැසිරෙන පුද්ගලයකු ගැන ශ්‍රී ලංකා යුද හමුදාව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයා එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් පිළිබඳ අවධානය යොමුවී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.
"එම වීඩීයෝවේ ඇතුළත් ආරක්‍ෂක අංශ සාමාජිකයෙක් යැයි සැකකෙරෙන පුද්ගලයා හඳුනාගැනීමට යුද හමුදාව මහජන සහය පතන අතර, පරීක්‍ෂණවලින් පසුව අදාල පුද්ගලයා ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනිමට යුද්ධ හමුදාව කටයුතු කරනවා," යැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම සිදුවීම ගැන තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 0112514280 ට ඇමතුමක් ලබා දෙන ලෙස යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යුද හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී තුවක්කුවක් වැනි යමක් අත දරාගෙන සිටින මෙම පුද්ගලයා කඩාකප්පල්කාරී පිරිස් යම් ස්ථානයකට පහර දෙන විට එයට සහාය දක්වමින් බලා සිටින ආකාරය දැක්වෙන සිසිටීවී දර්ශන සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි.
පොලිසිය සහ ආරක්ෂක අංශ බලා සිටිය දී ඇතැම් ස්ථානවලට ප්‍රහාර එල්ල කළ බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කර සිටින අතර, ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳ වෙනම පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වේ.
දිවයින පුරා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය බදාදා උදෑසන 6.00 ට ඉවත් කෙරිණ.
මේ තොරතුරුද දැනගන්න:
මාරවිල අධිකරණය


මේ අතර මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට බදාදා පස්වරුවේ නොසන්සුන් තත්වයක් හටගත්තේය. ඒ නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ඇතුළු ප්‍රදේශ කීපයක පසුගියදා ඇතිවූ කලහකාරී තත්වයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් තිස් එක් දෙනෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.
හමුදාව, පොලිස් කැරලි මර්ධන නිලධාරීන් හා අමතර පොලිස් නිලධාරීන් මෙන්ම ජල විදින රථ ද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ස්ථානගත කර තිබිණි.
සැකකරුවන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු සිරිමෙවන් මහේන්ද්‍රරාජා නියෝග කිරීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණියේ පොලිසියට චෝදනා කරමිනි.
නීතිඥවරුන් හැට දෙනෙකු පමණ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි බව මාරවිල නීතිඥ සංගමයේ සභාපති ලලන්ත සරත්චන්ද්‍ර සඳහන් කළේය.
මේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් අඟහරුවාදා (මැයි 14) පස්වරුවේ කොස්වත්ත පොලිසිය වටකරමින් ගම්වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වූ අතර බදාදා දිනයේ ද තවත් පිරිසක් පැමිණ විරෝධතා දක්වමින් අහිංසක ජනතාව අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියහ.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි ජෞෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ සැකකරුවන් 31 දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හදිසි නීතිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බවය.
තම දරුවන් නිර්දෝෂී බව පවසන සැකකරුවන්ගේ ඥාතීහු, පොලිසිය නිවස වටකරන අවස්ථාවේ ඔවුන් දිව නොගියේ ඔවුන් වරදක් නොකළ නිසා බව ද කියා සිටියහ.
ජනාධිපතිගේ චීන සංචාරය
චීනයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර නිල හමුව ඊයේ (මැයි14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
ශ‍්‍රී ලංකාව තුළ ඇති වූ හදිසි තත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එමෙන්ම, ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු විවිධ පහසුකම් කිහිපයක් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.
මේ අතර, දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගිතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය.
පාස්කු ඉරිදා ප්‍රහාර සහ මෙන්ම ශ‍්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීන ජනාධිපති සමඟ විශේෂ කරුණු රැසක් සාකච්ඡා කර තිබේ.
දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීමද සාකච්ඡාවට බඳුන් කෙරිණි.
මුහුණු ආවරණ තහනම් කරන අති විශේෂ ගැසට් නිවේදනය
කිසියම් තැනැත්තෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයක දී ඒ තැනැත්තාගේ හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි පරිදි සම්පූර්ණ මුහුණ සඟවාලනු ලබන යම් ඇඟලුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය යුතු බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අදාළ ගැසට් පත්‍රයේ "සම්පූර්ණ මුහුණ" යන්න අර්ථ දක්වා ඇත්තේ "නළල මුදුනේ සිට නිකටේ අග දක්වා ද දෙකන් අතරද (එහෙත් දෙකන් නො ඇතුළත්ව)" යනුවෙනි.


තවත් තොරතුරු:








