ශ්‍රී ලංකාවේ පිපිරීම්: වෙසක් උත්සවයේ ආමිෂ පූජා සීමා කිරීම 'වෙස්වළා ගත් ආශීර්වාදයක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආමිෂ පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් මෙවර වෙසක් උත්සවය සමරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය දෙන ලද උපදෙස් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව සතුටු විය යුතු බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පවසයි.
ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, "රටේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජය එම තීරණයට එළඹුණ ද එය බෞද්ධයින්ට වෙස්වළා ගත් ආශීර්වාදයක් බවට පත් කර ගත හැකි," බවය.
"තොරණ සහ සැණකෙළි එපා!"
මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවන්ට සීමා කරමින් තොරණ, සැණකෙළි හා උත්සවවලින් තොරව චාම් අන්දමින් පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අඟහරුවාදා (මැයි 08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk
එහිදී ඔහු ප්‍රකාශ කළේ, මෙවර වෙසක් උත්සවය මැයි 17 සහ 18 දින දෙකට පමණක් සීමා කරන බවය.
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව ද ඔහු සඳහන් කළේය.
ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ අනුමැතිය සහිතව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බව ද ඇමතිවරයා පැවසීය.
විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 17 වන දින තෙල්වත්ත, තොටගමුව රන්පත් රජමහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ නිමිත්තෙන් විශේෂ ප්‍රදර්ශන කුටි හා පෙරහැර නොපවත්වන බව ද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පැවසීය.
වෙසක් උත්සවය සමරන දිනවල සෑම විහාරස්ථානයකට ම හමුදා ආරක්ෂාව සැපයෙන යන අතර සිල් සමාදන් වීම ඇතුළු ආගමික වතාවත් සඳහා පැමිණෙන සැදැහැවතුන් දැඩි පරීක්ෂාවට භාජනය කරන බව රජය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, වෙසක් නිමිත්තෙන් උත්සව සැණකෙළි සංවිධානය නොකරන ලෙස අමාත්‍යංශය උපදෙස් දී ඇති අතර යම් හෙයකින් එම උපදෙස් නොපිළිපදින්නේ නම් එවැනි උත්සවවල ආරක්ෂාව පිළිබඳව එහි සංවිධායකින් වගකිව යුතු බවය.
"මල්වතු - අස්ගිරි මහ නා හිමිවරුනුත් ඉල්ලා තිබුණා වෙසක් උත්සවය ආමිෂ පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජා මත සමරන්න කියලා. ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට අරගෙන අපි මේ තීරණයට එළඹුණා," ඔහු සඳහන් කළේය.
ජනතා අදහස්
මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවලට ප්‍රමුඛත්වය දෙමින් සමරන ලෙස දී ඇති උපදෙස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, PAtali Champika Ranawaka/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Sandareka Wijendra/Facebook
"වෙස්වළා ගත් ආශීර්වාදයක්"
සංයුක්ත නිකායේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ අනු දැන වදාළ පූජාවන් කොටස් දෙකකි.
- ආමිෂ පූජා
- ප්‍රතිපත්ති (ධම්ම) පූජා
ආමිෂ පූජා යනු වෙසක් කූඩු, තොරණ ආදී ආලෝක පූජා, භක්ති ගීත ඇතුළු ශබ්ද පූජා ආදියයි. ප්‍රතිපත්ති පූජා යනු බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ධාර්මිකව ජීවත් වීමෙන් කරනු ලබන පූජාය.
"බුදු හාමුදුරුවෝ අගය කළේ ප්‍රතිපත්ති පූජාවයි. ප්‍රතිපත්ති පූජාව උන් වහන්සේ හැඳින්වූයේ ධම්ම පූජා කියලා. ආමිෂ පූජාවලින් සිද්ධ වෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙන එක විතරයි. ඒත් සතිය වඩන්න නම් ප්‍රතිපත්ති පූජාවලට යොමු විය යුතුයි," බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පෙන්වා දුන්නාය.

ඡායාරූප මූලාශ්‍රය, BPU
ඒ අනුව, මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් සැමරීමට ලැබී ඇති අවස්ථාවෙන් බෞද්ධ ජනතාව නිසි ලෙස ප්‍රයෝජන ගත යුතු බව ඇයගේ අදහසය.
"අපි වෙනත් අවුරුදුවල වෙසක් සමරනවා කියලා බොහෝ විට කළේ, තොරණ, වෙසක් කූඩු බලන්න ගිය එක. ඒත් මේ අවුරුද්දේ ඒ ආමිෂ පූජා පසුපස නොගිහින් ධර්මය මෙනෙහි කරන්න බෞද්ධ ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා."
"බෝම්බයට ගොදුරු වූවන් කළේ කැප කිරීමක්"
පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය, තුවාල ලැබූ සහ ඥාතීන් අහිමි වූවන් වෙනුවෙන් මෙවර වෙසක් උත්සවයේදී පින් අනුමෝදන් කර ඔවුන්ට ආශීර්වාද කළ යුතු බව ද ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පැවසීය.
"මගේ පෞද්ගලික හැඟීම තමයි මම ඇතුළු අපි සියලු දෙනා බෝම්බවලින් බේරුණේ ඒ බෝම්බවලට මුහුණ දුන් පිරිස නිසයි. ඔවුන් අප වෙනුවෙන් කළේ ජීවිත කැප කිරීමක්. ඒ ගැන අපි ඔවුන්ට පින් අනුමෝදන් කළ යුතුයි. ඒ වගේ ම සැමියා අහිමි වුණ පවුල්වලට, දෙමාපියන් අහිමි වූ දරුවන්ට භෞතිකව විතරක් නෙවේ මානසිකවත් අපි හැකි අයුරින් උපකාර කළ යුතුයි. එතකොටයි බුදුන් වහන්සේ අපේක්ෂා කළ නියම ප්‍රතිපත්ති පූජාව සම්පූර්ණ වෙන්නේ," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.








